Print this Article


අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

කොළඹ හැව්ලොක් සිටි සාමවිහාරය, හක්මණ දෙණගම මුණසිංහාරාමය, බේරුවේවෙල සෞගතාරාම පුරාණ විහාරය, ඇල්ලේවෙල අස්සත්ථාරාම පුරාණ විහාරය යන සිව් මහා විහාරාධිපති, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති අතපත්තුකන්දේ නාහිමිපාණන් වෙත මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝසභාව මගින් සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස යන ගෞරව නාමය සහිතව දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදින් ඒ පිළිබඳ ශි‍්‍ර සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු 06 වැනි දින මහනුවර මල්වතු මහාවිහාරයේ දී පවත්වන ලද අතර අභිනන්දනෝත්සවය ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මාර්තු මස 20 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා පසුව ආයුර්වේද ශාස්ත්‍රී විභාග සම්පූර්ණ කොට දේශීය වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචි වූහ.

අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ මිත්‍රශීලි, පරෝපකාරයට හිතැති මහෝත්තමයාණන් වහන්සේ නමකි. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ, ගරුතර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජාතික හා ජාත්‍යන්තර කටයුතු සමඟ කාර්යබහුල වීම නිසා විහාරස්ථානය හා බැඳුණු කර්තව්‍යයන් බොහෝ විට ඉටු කිරීමට එම නාහිමිපාණන් වහන්සේලා ආනන්ද හිමියන් වෙත භාර කළේ නිස්සරණාධ්‍යාෂීව එම කටයුතුවල නිරත වෙමින් ආනන්ද හිමියන් ගොඩනඟා ගත් විශ්වාසය නිසාවෙනි.

මූලගිරි සඟ පරපුරට අයත් සම්භාවනීය යතිවරයාණන් වහන්සේ නමක වන අතපත්තුකන්දේ ආනන්ද අභිනව නාහිමිපාණන් වහන්සේ හට ශත වර්ෂාධික කාලයක් ලෝක ශාසන සංග්‍රහය පිණිස ආයු ආරෝග්‍යාදි සම්පත් ප්‍රාර්ථනා කොට සිටිමු.

****

ධර්ම ශාස්ත්‍රීය උන්නතිය උදෙසා කළ සේවය ප්‍රශංසනීයයි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි

තෙමේත් සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඤාණදස්සන සම්පන්න වුයේ අන්‍යයන් ද එකී ධර්මයන්හි සමාදන් කරවීමත්, ගෘහස්ථ - ප්‍රව්‍රජිතාදි සියල්ලන්ගේ අර්ථ සිද්ධිය උදෙසා නායකත්වය ගෙන සදුපදේශය සැපයීමත් භික්ෂුව සතු කාර්යභාරය යි.

නිස්සරණ ප්‍රතිපදාවෙහි භාවිත චිත්තයෙන් ලෝකාර්ථචර්යාවෙහි යෙදෙමින් ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ගේ චිර ප්‍රවර්තනයෙහිලා කටයුතු කිරීම තුළින් සිය සාසන බ්‍රහ්මචර්යාවෙහි අරමුණු මුදුන් පත් කර ගැනීම භික්ෂුව සතු කාර්යභාරයයි.

මෙකී ඓතිහාසික භික්ෂු භූමිකාවෙහි මනාව පිහිටා කටයුතු කරන අතපත්තුකන්දේ ආනන්ද නායක ස්ථවිරපාදයන් වහන්සේ සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස නාමධෙයොපලක්ෂිතව දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට අප විසින් පත්කරන්නට යෙදුණි.

අතපත්තුකන්දේ ආනන්ද නායක ස්ථවිරයන් වහන්සේ ශ්‍රී ලංකාවේ කීර්තිධර බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකු හා සහකාර විදුහල්පතිවරයකු ලෙස ධර්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා සිදුකොට ඇති සේවය ප්‍රශංසනීය ය. ධර්ම ග්‍රන්ථ සම්පාදනයෙන් මෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙසත්, ආදර්ශ සම්පන්න සේවයක් සලසන අතපත්තුකන්දේ ආනන්ද නායක ස්ථවිරයන් වහන්සේ ශාසනෝන්නතිය උදෙසා ප්‍රතිබල සම්පන්න ශිෂ්‍ය පිරිසක් ද සසුනට දායාද කොට ඇත.

අතපත්තුකන්දේ ආනන්ද නායක ස්ථවිරපාදයන් හට ඉදිරියටත් උදාර ලෝක ශාසනික චර්යාවෙහි නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.

****

ආදර්ශවත් භික්ෂු ජීවිතයක් ගතකරන වියත් තෙරනමකි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිමි

බුදුරදුන් ජීවමාන අවධියේ පවා විවිධ කුසලතා ඇති තම ශ්‍රාවකයින් වහන්සේලා උදෙසා තනතුරු පිරිනැමූ ආකාරය පෙල භාවිතයේ දක්නට ලැබෙන අතර, එම පූර්වාදර්ශය මත ලාංකිය ශාසන ඉතිහාසය තුළ පොළොන්නරු රජ සමයේ දිඹුලාගල කාශ්‍යප මහ තෙරුන් වෙත ප්‍රථම සංඝරාජ තනතුර පිරිනැමීම සිදුවිය.

මෙසේ ආරම්භ වු ශාසනික, තානාන්තර පිරිනැමීම අතීතයේ රජ දරුවන් අතින් සිදු කළත් මහනුවර රාජ සමයෙන් අනතුරුව අස්ගිරි මල්වතු උභය මහා විහාරයේ කාරක මහා සංඝ සභාවන් මඟින් ප්‍රාදේශීය සංඝයා වහන්සේගේ පහසුව උදෙසා මෙලෙස පළාත්, දිසා, පත්තු, කෝරළ ආදි ප්‍රාදේශීය සංඝනායක පදවි පත්කිරීම සිදු කරගෙන යනු ලැබේ. එයින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ඉතා සුවිශේෂී ප්‍රාදේශීය සංඝනායක පදවියක් බව මෙහිලා වෙසෙසින් ම සිහිපත් කළ යුතු ව ඇත.

අභිනව පදවිප්‍රාප්ත අතපත්තු කන්දේ ආනන්ද නායක ස්ථවිරපාදයන් වහන්සේ උපතින් වසර හැත්තෑවක් සහ පැවිද්දෙන් වසර හැටක් පමණ සපුරන ලද මහා ස්ථවිර නමකි.

බෙල්ලන්විල රාජමහා විහාරයේ බෝධිරාජ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස වසර 25කට වැඩි කලක් සිදුකළ සේවාව කාගේත් පැසසුමට හේතු විය. පොතපත සඟරා ආදියට මෙන්ම ජාතික පුවත්පත්වලට නිරතුරුව ධර්ම ශාස්ත්‍රිය ලිපි සැපයීමෙන් මෙරට පාඨක පිරිස අතර ද කීර්තියක් ලබා ඇති අභිනව නායක ස්ථවිරපාදයන් වහන්සේ විචිත්‍ර ධර්ම කථික හිමිනමක් ද වෙති. වත්තානුවත්ත පටිපන්න ආදර්ශවත් භික්ෂු ජීවිතයක් ගතකරන මුන්වහන්සේ වැනි වියත් තෙර නමකට මෙවන් ශාසනික තානාන්තරය පිරිනැමීම තුළින් තවදුරටත් ජාතික, ආගමික හා ශාසනික සේවාවන් රැසක් සිදුකිරීමට එය මහඟු පිටුබලයක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ පදවියෙන් පිදුම් ලද අතපත්තුකන්දේ ශ්‍රී ආනන්ද්‍යාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේට රත්නත්‍රයානුභාවයෙන් හා උතුම් දළදා සමිඳු පිහිටෙන් නිදුක් නීරෝගි සම්පත්තිය හා දීර්ඝායු ශ්‍රී සම්පත්තිය සැලසේවා'යි සුභාශිංසනය කරම්හ.

****

තථාගත වචනය අර්ථවත් කරන ධර්මධර භික්ෂූන් වහන්සේ නමකි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නාහිමි

පූජ්‍ය නාරන්දෙනියේ ධම්මරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්ජා භූමියටපත් අතපත්තුකන්දේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ මාතර ශ්‍රී සුදර්ශී විද්‍යායතනය, ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතනය සහ පැපිළියානේ සුනේත්‍රාදේවි විද්‍යායතනය ආදියෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාවත් හදාරා ඇත.

“වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සංඝං සොහෙන්ති” යන තථාගත වචනය අර්ථවත් කරමින් ධර්ම විනයෙහි සුශික්ෂිත, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත ධර්මධර භික්ෂුවක් වශයෙන් ක්‍රියාකරන ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද නායක ස්ථවිරයන් වහන්සේට මෙම නායක පදවිය ද ශක්තියක් කොට ගනිමින් ආගමික, සමාජික, ශාසනික හා අධ්‍යාපනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා'යි ප්‍රාර්ථනා කරම්හ.

****

දූ දරුවන් ධර්ම ඥානයෙන් පෝෂණය කිරීමට කළ සේවය උදාරයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර විමල මහා නාහිමි

අපේ ආනන්ද නායක ස්ථවිරපාදයන් වහන්සේ පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් 1983 වර්ෂයේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙන් තම අධ්‍යාපන සේවය ආරම්භ කොට පසුව රජයේ ගුරු සේවයට එක්වී ඇහැළියගොඩ, තලාවිටිය, විමලසාර විද්‍යාලයේ වර්ෂ පහක් පමණ සේවා කාලයකින් පසු මේ රටේ කීර්තිමත් විද්‍යාලයක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු වශයෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන් කළ විශිෂ්ට සේවය සදා අනුස්මරණීය ව පවතිනු ඇත. ආනන්ද විද්‍යාලයෙහි සහකාර විදුහල්පතිවරයකු වශයෙන් ද වසර 23 ක පමණ කාලයක් විද්‍යාලයේ සියලු කටයුතු වෙනුවෙන් මහත් කැපවීමකින් යුතුව තම සේවය ලබා දුන් ආදර්ශවත් ආචාර්යයන් වහන්සේ නමක් වශයෙන් ඉතිහාසයට එක්වි ඇත.

විවිධ සමාජ සුභසාධන සංවිධාන ආරම්භ කරමින් සමාජ ක්‍රියාකාරකම් රැසකට දායකවූ උන්වහන්සේ පෙර /අපර දෙදිග රටවල් රාශියක සංචාරය කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගත් සංඝ නේතෘන්වරයන් වහන්සේ නමකි.

පූජ්‍යපාද අතපත්තුකන්දේ ආනන්ද නායක මහා ස්ථවිරපාදයන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් ව නීරෝගීව තව බොහෝ කලක් සසුන් කෙත සරු කිරීමට ශක්තිය, ධෛර්යය වාසනාව ලැබේවා’යි අප මේ අවස්ථාවේ ඉත සිතින් ආශිර්වාද කරම්හ.

සුඛී දීඝායුකෝ භව !

****

ලොව පුරා බෞද්ධ ජනතාවගේ ගෞරවාදරය දිනූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

තථාගත ශ්‍රී සද්ධර්මය සරණ කැමති සියලු දෙනාගේ ධර්මාවබෝධයට හේතු වන භික්ෂු සංඝයා කෙරෙහි පැහැදීම, දැකීම සහ ඇසුර, කුසල් ඉපදවීමට හේතුවකි.

පූජ්‍යපාද අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ ඉහත අදහසෙහි ප්‍රායෝගික ස්වාමින් වහන්සේ නමකි. ශාසන උන්නතියෙහි මෙන්ම ගිහි සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් අප නායක ස්වාමින් වහන්සේගේ මෙහෙවර ඇරඹෙන්නේ තරුණ භික්ෂුවක් වශයෙන් සිටියදී ම ය.

බෙල්ලන්විල රාජමහා විහාරය මූලික කර ගනිමින් නේවාසිකව වැඩසිටි අවධිය දශක තුනකට අධික ය. එයින් වසර විසි පහක්ම එම විහාරස්ථානයේ ප්‍රධානාචාර්යයන් වහන්සේ ලෙස දරුවන් දහස් ගණනකගේ ජීවිතාවබෝධයට ධර්මය, ශික්ෂණය, පුහුණු කිරීමෙහිලා ප්‍රමුඛතම කාර්ය භාරයක් ඉටු කිරීම අතිශයින්ම ප්‍රශංසනීය ය.

උන්වහන්සේ සිංහල භාෂා විෂයෙහි ප්‍රාමාණික ය, පරිපාලනයෙහි ඵලදායී ය. ලේඛනයෙහි නිපුණ ය. දේශනයෙහි ව්‍යක්ත ය. සංවිධානයෙහි විධිමත් ය. ආශ්‍රයෙහි ආදර්ශ ය. සමාජ සේවයෙහි පි‍්‍රය ය. එ බැවින් අතිපූජනීය මල්වතු මහා විහාර සංඝ සභාව විසින් උන්වහන්සේ ඇගයීම ප්‍රශංසා කටයුතු ය.

උන්වහන්සේ මෙතෙක් ඉටු කළ ධර්ම ශාස්ත්‍රීය, සමාජ මෙහෙවර අගයනු වස් ප්‍රදානය කළ, “සද්ධම්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස” ගෞරව නාමය සහිත “දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක” ධූරය තවත් දීර්ඝ කාලයක් උභය ලෝකාර්ථයට ශක්තියක් වනු ඇතැයි විශ්වාස කරමි.

අභිනව ධුරයට පත් ශාස්ත්‍රපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද නාහිමිපාණන් වහන්සේට ශාසනික , සමාජයීය සේවා පවත්වාගෙන යාමට නීරෝගී සුවය, චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

****

සංඝ පීතෘවරයකු ලෙස ඉටුකළ ලෝක ශාසනික සේවාව ආදර්ශ සම්පන්නයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස යන ගෞරව නාමය සහිතව

දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් සහකාර විදුහල්පති, ශාස්ත්‍රපති

අතපත්තුකන්දේ ආනන්ද නාහිමි

ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවඅභිනන්දන උත්සවය මාර්තු 20 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

වසර 70 ක තම දිවි මගේ වසර 58 ක් සම්බුදු සසුනේ, සිල්වත්, ගුණවත් සංඝ පීතෘවරයකු ලෙස ඉටු කළ ලෝක ශාසනික සේවාව බෙහෙවින් ආදර්ශ සම්පන්න වේ.

ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි ලබා අප නායක ස්වාමීන් වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළේ අනභිබවනීය මෙහෙවරකි.

රජයේ විද්‍යාල කිහිපයකත්, විශේෂයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේත්, ධර්මාචාර්යවරයකු ලෙස, සේවය කළ නායක ස්වාමීන් වහන්සේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකයේ ව්‍යාපෘති නිලධාරියකු ලෙස ද ඉටු කළේ අමිල මෙහෙවරකි.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ වසර 25 ට වැඩි කාලයක් ප්‍රධානාචාර්ය ධුරය හොබවමින්, දරුවන්ගේ සාරධර්ම අධ්‍යාපන සංවර්ධනයට කළ කැපවීම කිසිසේත් අමතක කළ නොහැකි ය.

අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල ධර්මදූත මෙහෙවරෙහි නිරත වූ නායක ස්වාමින් වහන්සේ, ඉටු කළ මෙබදු උතුම් ජාතික, ආගමික හා ශාසනික මෙහෙවර නිසාම, මල්වතු මහා විහාරය මඟින් උන්වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශි‍්‍ර ධම්මරතන ප්‍රඥාතිස්සාභිධාන යන ගෞරව නාම සම්මුතිය සහිිත, දක්ෂිණ ලංකාවේ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයට තෝරා පත්කරලීම ඉටු කළ කාලෝචිත ක්‍රියාවකි.

මෙම අභිනව තනතුරත් සමඟ නායක ස්වාමීන් වහන්සේට, තම සේවා ඉතා ශක්තිමත්ව ඉටු කරලීමට මං පෙත් විවරවන බව මාගේ විශ්වාසය යි.

මා සමඟ දිගුකලක සිට ඉතා සුහදශීලිව සහ හිතවත්ව කටයුතු කරන, ශාස්ත්‍රපති, අතපත්තු කන්දේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේට, තිසරණ සරණින් නිදුක් නිරෝගී භාවයත්,චිර ජීවිනයත් ලැබේවා’යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.