Print this Article


පහන් සිතක කවි

ඔබයි අපේ අම්මා

හිරු කිරණින් දැවෙනා විට
තුරු ගොමුවක් සේ පවන සිසිල දෙන
දරු සෙනෙහසකට දිවිය පුදන ලද
ඔබයි අපේ අම්මා..........

ජීවිතයේ දුක් කඳුළු දරාගෙන
අඳුර තිිමිර බිඳ දිවිය එළිය කර
මගේ ලොවේ මහ පහන් ටැඹක් විය
ඔබයි අපේ අම්මා.........

සඳමඬලක් සේ මගේ ලොවට ආ
ශිල්ප ලබා ඒ ලොව දකිනාවිට
ඔබේ පැතුම් ලොව මගේ පැතුම විය
ඔබයි අපේ අම්මා.......

****

දායිකාවක දුටු ශ්‍රමණ ගුණ

අනේ පිඬු සිටුතුමාගේ
දියණිය චූළ සුබද්දා
මයිලණුවන් ඉදිරියේ
ගයයි බුදුපුත් ගුණ මේ ලෙසේ

සන්සුන් ය ඒ හිමිවරුන්
පසිඳුරන්ගෙන් මනා සේ
මනස සන්සුන් වේ
ගමන සංවර වේ උතුම්

කාය කර්මය පිරිසුදුයි
වාග් කර්මය ද එසේමැයි
මනෝ කර්මය නිර්මලයි
එසේ වේ මා ශ්‍රමණ උතුමන්

සක් සුදක් සේ පිවිතුරුයි
මුතු කැටයක් සේ නිර්මලයි
ශ්‍රද්ධා ගුණයෙන් සපිරුණි
ශ්‍රමණ උතුමන් එසේ වේ

ලාබයෙන් ලොව උඩඟු වේ
අලාබය දැක නිවට වේ
එසේ නොව මා හිමිවරුන්
අකම්පිත වී වැඩ හිඳී

පිරිවර සම්පතින්
ලෝකවාසී උඩඟු වේ
නොමැති විට එය නිවට වේ
එසේ නොව මා හිමිවරුන්
අකම්පිත වී වැඩ හිඳී

****

සුමධුර බණ පද

සම්බුදු සමිඳුන් අතිශය කුළුණි න්
සව්සත බිහිසුණු දුක්බර සසරි න්
එතෙරට ගන්නට පින්බර වදනි න්
බණපද දෙසුවේ සුමධුර හඬකි න්

රජ මැති ඇමතින් හා සිටු කුමරු න්
රජ බිසවරු සහ සිටු දූ දරුව න්
අඩු කුල ඉපදුණු අසරණ දරුව න්
ගොඩගත් හැටි නම් පුුදුමයි පුදු මෙ න්

කෙලෙසුන් පුරවන් යන භව ගම නේ
මරණෙන් ජීවිතෙ අවසන් වෙන් නේ
නුවණින් බුදුබණ වැටහුණු සැණි නේ
සිටු දියණිගෙ දරු සොව පහ වෙන් නේ

කළකම් අනුවම ඉපදුම වෙනවා
පව්කම් වෙනුවෙන් දුක් හිමි වෙනවා
පස්කම් රසයෙන් ඔබ පරදිනවා
සරුදම් ඔබහට සරුපල දෙනවා

****

සමනල සිරිපා වැඳුම

සිරිපා සමයට – සමනල්
පෙරහර යනවා

කහ පාටට – අහස පුරා
රංචු ඇදෙනවා
මේ විදියට –සමනලයන්
කොහේද යනවා
සමනල කන්දට සිරිපා
වඳින්න යනවා
කවදාවත් දැක නෑ උන්
ආපසු එනවා

සමනලයන් බුදුන් වැඳල
නිවන් දකිනවා.

****

නෑ සසරෙ වෙන මඟක්

නෑ සසරෙ වෙන මඟක් නිවෙනතුරු දම් පැනින්
පැවිදි වී සැනසෙන්න සොයා මඟ අම නිවන්
මටයි මව් තුමියටයි අහන්නට බුදු වදන්
වරක් වත් වැඩම කර දෙසනු මැන බණ දහම්

දුබල විය මගේ ගත භව සසරෙ වෙහෙසිලා
කොතෙක් දුර යයි ද තව මැරි මැරී ඉපැදිලා
බාල වියෙදිම පුතුට සසරෙ දුක වැටහිලා
සන්සුන්ව වඩින රුව දකිමි ඇස් පියදලා