Print this Article


අභිනව නා හිමි නැණ ගුණ වරුණ

අභිනව නා හිමි නැණ ගුණ වරුණ

සම්බුදු සසුන කවදත් ආලෝකවත් වූයේ ව්‍යක්ත විනීත බහුශ්‍රැත ධර්මානුධර්ම ප්‍රතිපන්න මහ තෙරවරුන්ගෙන් ය. එවැනි මාහැඟි ගුණයන්ගෙන් හා නුවණින් උපලක්ෂිත වූ මහා ස්ථවිර නමක් වශයෙන් මාතලේ මාදියාපොල මහ වැහර පුරාණ විහාරය සහ පොතුහැර දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති, ශාස්ත්‍රපති මාබෝපිටියේ විමලඤාණාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇගයුමට ලක් වේ.

වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ හයක් වූ නිකිණි මස හය වැනි දින මාතලේ මාදිපොල මහ වැහැර එකල පුරාණ විහාරාධිපති වූ සද්ධර්මාචාර්ය මහෝපාධ්‍ය වැහැර විමලසාරාභිධාන හිමිපාණන් වහන්සේ හා තත් විහාරාධිකාරි වූ පාඨශාලාචාර්ය ශාස්ත්‍රවේදී නාරංපනාවේ පඤ්ඤාසාර නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මාබෝපිටියේ විමලඤාණ යන නම ග්‍රහණයෙන් උතුම් වූ පැවිදි භූමියට ඇතුළත් කරන ලදී.

ගුරු සිත් දිනාගෙන විනයානුකූලව සංඝ ශෝභන ගුණයන්ගෙන් උපලක්ෂිතව හැදුණු වැඩුණු අප හිමියෝ ඉදිරිපත් වූ රජයේ විභාගවලින් එකවර සමත්වීමට තරම් නැණසර වූහ. ප්‍රාචීණ මධ්‍යම විභාගයෙන් ද අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ද සමත් වූ අප හිමියෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලදහ.

ඒ අනුව තත් සාමණේර හිමියන් වසර එක්දහස් නවසිය අසූහතරක් වූ ජුනි මස හය වැනි දින මහනුවර අස්ගිරි මහාවිහාරීය මංගල උපෝෂථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටු වනු ලැබූහ.

ගරුතර ගුරුදේවෝත්තම නාහිමිපාණන් වහන්සේලාගේ අපවත්වීමෙන් අනතුරුව අප විමලනැණ හිමියෝ මාතලේ මාදිපොල මහා වැහැර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත් වූහ. ඒ 2017 වසරේ දී ය. තත් විහාරස්ථානයේ භෞතික සංවර්ධනය සඳහා ද සතරපේරුවේ දායක දායිකාවන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා ද කැපවීමෙන් ක්‍රියා කරති. එයට අමතර 2010 වසරේ සිට පොතුහැර දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ භාරකාරිත්වය හා විහාරාධිපතිධුරය ද උන්වහන්සේට හිමිවිය.

එම දෙගල්ලස්සේගෙදර විහාරස්ථානයේ ආධිපත්‍යයට විමලනැණ හිමියන් පත්වීමත් සමඟ දසකයක් වැනි කාල පරිච්ඡේදයක් තුළ සුවිශේෂ භෞතික දියුණුවක්, ආශ්චර්යවත් සංවර්ධනයක් සිදුවි ඇති බව තවදුරටත් සිදුවෙමින් පවතින බව මනාව ප්‍රකට ය. අප නාහිමියන්ගේ සුවිශේෂ නිර්මාණශීලිත්වය හා දායකයන්ගේ මෙන්ම බාහිර පරිත්‍යාගශීලින්ගේ ද ආධාර ලබාගෙන කි‍්‍රයාකිරීමේ ශූරත්වය මොනවට පැහැදිලි වේ.

මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ උදාරවූ ශාසනික සේවාව පිළිබඳ ප්‍රසාදයට පත් සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක හිමිපාණන් වහන්සේලා වර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් උන්වහන්සේට දඹදෙණි හත්පත්තුවේ ද්විතීය සංඝනායක සද්ධර්මකීර්ති ශ්‍රී විමලසාර යන ගෞරව නාමය සහිත පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය මහනුවර හයගිරි මංගල උපෝසථාගාරයේ දී මේ මස 19 සෙනසුරාදා ප.ව. 2.30 ට සිදුකෙරෙන අතර උන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය විසිවෙන ඉරු දින පොතුහැර දෙගල්ලස්සේගෙදර සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ දී සිදුකිරීමට කටයුතු සම්පාදනය කර ඇත.