Print this Article


හොඳ ගුරුවරයකු වීමට ශිෂ්‍යයා හඳුනා ගන්න

හොඳ ගුරුවරයකු වීමට ශිෂ්‍යයා හඳුනා ගන්න

බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ගත් ශ්‍රාවකයන් වහන්සේලා ගම් නියම්ගම් වෙත වැඩම කරමින් චතුරාර්ය සත්‍ය දේශනා කිරීමේ නිරත වුණා.

දඹදිව පුරා ධර්මයේ ප්‍රතිරාව පැතිරෙන්න පටන් ගත්තා. සැදැහැති බුද්ධිමතුන් ධර්මය අධ්‍යයනයටත්, ශ්‍රවණයටත් පෙළඹුණා.

සැවැත් නුවර වාසය කළ රන්කරුවෙක් දවසක හුදකලාවේ වාසය කරමින් ‘’කාම ලෝකයේ සැප සම්පත් තාවකාලිකයි, දුක් සහිතයි, නිසරුයි. මේ දුක් අවසන් කිරීමට පැවිදි විය යුතුයි” යනුවෙන් කල්පනා කළා. තීරණය දැඩි කරගත්තා.

වෙනස්වීමට ඉඩ දුන්නේ ම නෑ. ඒ නිසාම දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ වෙත එළැඹ පැවිද්ද ඉල්ලා සිටියා. ඔහු තරුණ වයසේ සිටි රූමත් තරුණයෙක්. තෙරුන් වහන්සේ ඔහුගේ මව්පියන් ගෙන්වා කැමැත්ත ගෙන පැවිදි කළා. නොබෝ දවසකින් ගුරුවරයා වෙත එළැඹ

‘’ස්වාමිනි, මම ගිහි කල රන්කරුවෙක්. වස්තු සම්පත්වලින්, මිල මුදල්වලින් අඩුවක් තිබුණේ නෑ. තථාගතයන් වහන්සේගේ ධර්මය අසා මම පැහැදීමට පත් වුණා. දැන් මට ඕන ඉක්මනින්ම සසර දුක් නිවා දැමීමටයි. ඒ නිසා ස්වාමිනි මට සුදුසු කමටහනක් ලබා දෙන්න. මම සිත සංසිඳෙන තැනකට ගොස් භාවනා කරන්නම්. අර්හත් භාවය ලබා ගන්නම්”

යැයි පවසා සිටියා. සැරියුත් මහ රහතන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග තනතුරු ලැබූ තෙරණුවෝ යි.

උන්වහන්සේ නවක භික්ෂුවගේ වදන් අසා දින කිහිපයකට පෙර පැවිදි වූ, මොහුගේ යාම්-ඊම්, රුචි-අරුචිකම් ආදීයවත් තවම අවබෝධ කර ගන්න බැරි වුණා. එහෙත් පිට පෙදෙසකට යාමට අවසර ඉල්ලා සිටිනවා. සසර දුක හොඳින් අවබෝධ වී ඇති බවක් පෙනෙනවා. ඒ නිසා අවසර ලබා දීම කළ යුතු යි”යැයි සිතුවා.

කම් සැප ගැන කලකිරීම් ඇති මේ තරුණයාට රාග චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත යනාදී චරිත හයෙන් රාග චරිතයට අදාළ කමටහන් ලබා දුනහොත් ඉක්මනින්ම අර්හත් භාවය ලබා ගනීවි යැයි සිතා ඊට අදාළව කමටහන් ලබා දී භාවනාවට සුදුසු තැනකට වැඩම කිරීමට අවසර දුන්නා.

තරුණ භික්ෂූන් වහන්සේත් ආරණ්‍යයකට වැඩම කර තුන් මසක් මුළුල්ලේ භාවනා කළා. එහෙත් මොහොතකුදු තමන්ගේ සිත එකඟ කර ගැනීමට අපොහොසත් වුණා. සැරියුත් තෙරුන් වහන්සේ වෙත පැමිණ ඒ බව දන්වා සිටියා.

තෙරුන් වහන්සේ අවවාද කරමින් ‘’මහණ ඉතා ටික කලකින් අර්හත් භාවය ලබා ගැනීමට නො හැකියි. තවදුරටත් භාවනා කරන්න, පසුබට නොවන්න, උත්සාහවත් වන්න, ඔබට ජය ගත හැකියි” යැයි ප්‍රකාශ කරමින් උනන්දුව වර්ධනය කළා.

ඒ කමටහනම වඩාත් හොදට පැහැදිලි කර දුන්නා. තම ගුරුවරයාගේ අනුශාසනා පිළිගත් තරුණ භික්ෂූන් වහන්සේ නැවතත් වැඩ සිටි ස්ථානයට ම වැඩම කර භාවනා කරන්න පටන් ගත්තා.

මාස තුනක්ම ඉක්ම ගියා. එහෙත් පෙර වතාවේ මෙන් සිත මොහොතකටවත් එකඟ කර ගන්න බැරි වුණා. ගුරු තෙරුන් වහන්සේ වෙත නැවතත් පැමිණ ඒ බව දන්වා සිටියා. එම අවස්ථාවේදීත් සැරියුත් මහ රහතන් වහන්සේ ‘’මේ භික්ෂුවට මා ලබා දුන් කමටහන්වල අර්ථය නිසි සේ අවබෝධ වී නෑ.

උපමා රූපක භාවිත කරමින් සහ තවත් ධර්ම කරුණු දක්වමින් කමටහන් පැහැදිලි කර දිය යුතු ය”යි සිතා තෙවැනි වතාවේදීත් වඩාත් සරලව ම කමටහන් පැහැදිලි කර දී නැවතත් භාවනා කිරීමට පිටත් කළා.

තෙවැනි වතාවටත් නවක භික්ෂුව ආරණ්‍යයට වැඩම කර භාවනා කළත් පෙර වතාවල දී මෙන් ම ප්‍රයෝජන රහිත වුණා. වහාම තෙරුන් වහන්සේ වෙත නැවත පැමිණ ඒ බව දන්වා සිටියා. සැරියුත් මහරහතන් වහන්සේට මෙය අදහාගත නො හැකියි. ‘’කිසිම දවසක මෙවැනි දෙයක් සිදු වී නෑ.

මා ලබා දෙන කමටහන්වලින් නොබෝ දවසකින් ම අර්හත් භාවය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගැන බුදුරජාණන් වහන්සේට සැළ කර කරුණු විමසිය යුතු ය”යැයි සිතා නවක භික්ෂුවත් සමග බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කර සිදු වූ සියල්ල පිළිවෙළින් දන්වා සිටියා.

බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ කමටහන් වැරදීමට හේතුව නුවණින් විමසා බැලුවා. ‘’පින්වත් සාරිපුත්‍රයෙනි, ඔබ කමටහන් දී වෙහෙසට පත් කළ මේ භික්ෂුවට වරුවකින් මා අර්හත් භාවය ලබා දෙමි. ඔබ දැන් කුටියට වඩින්න”යි

වදාරා සැරියුත් මහරහතන් වහන්සේ පිටත් කර හැර නවක භික්ෂුවගේ අතීත භවයන් නුවණින් තවදුරටත් විමසා බලා ආත්ම පන්සියයක්ම ඔහු රන්කරුවකු වී ඉපිද සිටි බව දැන ඔහු වැඩි වශයෙන් පි‍්‍රය කරන්නේ ලස්සන සිත ඇදී යන රමණීය දෙයට බවත්, ඔහුට අසුභ දෑ හෝ වෙනත් කිසිම කමටහනකින් අර්හත්වය ලබා ගැනීමට උපකාර නො වන බවත් අවබෝධ කර ගත්තා.

සැරියුත් තෙරුන් වහන්සේට අතීත භවයන් විමසා බලා දැන ගන්නා නුවණ නැති නිසා ලබා දුන් කමටහන් නිශ්ප්‍රයෝජන වී තිබුණා. දැන් කළ යුතු වන්නේ රමණීය වස්තුවක් ආධාර කර ගනිමින් කමටහන් ලබා දීම යැයි තීරණය කර කරත්ත රෝදයක් තරම් විශාල නෙළුම් මලක් මවා එහි පෙතිවලින් සහ නටුවෙන් දිය බිංදුව බැගින් ක්‍රමයෙන් පිළිවෙලකට වැටීමට සලස්වා තෙරුන් වහන්සේට ලබා දී ‘’පින්වත් මහණ, මේ නෙළුම් මල රැගෙන ඔබ පෙර වැඩ සිටි ආරාමයට වැඩම කරන්න.

නෙළුම් මල වැලි ගොඩක් මත සිටුවා ‘රතය, රතය’ කියමින් භාවනා කරන්න”යි කමටහන් ලබා දුන්නා. ඒ භික්ෂුවත් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුව කටයුතු කරන්න පටන් ගත්තා.

හෙතෙම රමණීය වූ නෙළුම් මලට දැඩිව ඇලුම් කළා. එය තමන්ගේ සිත සතුටට පත් කළා. ඒ දෙස බලමින් මෙතරම් විශාල මලක් මා පෙර දැක නැත. මෙතරම් සුවඳක් වෙන කිසිදු දවසක විඳ නැත. මෙතරම් ලස්සන නෙළුම් මලක් ද මාගේ දිවියෙහි දුටුවේ අදමයි”යි යනාදී ලෙසින් කල්පනා කළා. ‘රතය, රතය’ යන පද සජ්ඣායනා කරමින් නෙළුම් මල ඉදිරියේ කාලය ගත කරන්න පටන් ගත්තා.

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් දිය බිඳු වැටෙමින්, ලස්සනට තිබුණු, සුවඳ හැමූ මල ක්‍රමයෙන් දිය බිඳු නැතිවීමටත්, සුවඳ මොහොතින් මොහොත අඩුවීමටත්, ලස්සන නැතීවීමටත්, පරවී යාමටත්, දැඩි සේ වියළී යාමටත් පටන් ගත්තා.

තෙරුන් වහන්සේ ඒ දෙස බලාගෙන ජීවිතයත් මෙසේ ම වන්නේ යැයි නුවණින් අවබෝධ කරගෙන එදින උදෑසන සමය නිම වෙනවාත් සමඟ උතුම් අර්හත්භාවය ලබා ගත්තා.

ගුරුවරයා ශිෂ්‍යයාට ඉගැන්වීමේදීත්, දෙමාපියන් දරුවන්ව අවබෝධ කර ගැනීමේදීත්, නායකයින් සේවකයින්ව වටහා ගැනීමේදීත් ඔවුන්ගේ හැකියාව කෙරෙහි මෙන්ම ඔවුන්ගේ රුචි අරුචිකම් සහ පුරුදු කෙරෙහිත් අවධානය යොමු කිරීම වැදගත්. එවිට කිසිදු වෙහෙසකින්, අමතර කැප කිරීමකින් තොරව සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

බුදු දහම පරලොවට පමණක් උපදෙස් දෙන දහමක් නොවන බවත්,උභය ලෝකයම සාර්ථක කර ගැනීමට ධර්මානුශාසනා සපයන්නක් බවත්, ධර්මය අවබෝධ කර ගැනීමෙන් පැහැදිලි වෙනවා.එවිට එතරම් සුවයක්, ශාන්තියක් මිහි පිට තවත් නොමැති බව වැටහේවි.