Print this Article


පහන් සිතක කවි

 

අම්මා නමින් සුදුඅරලිය සුපිපෙනවා

සාම මාතු පෝසක බඳු කතා කියා
මා සැතපුවා බුදුගුණ මුසු ගීත ගයා
එනමුදු අම්ම මා තනිකර නික්ම ගියා
බව දුක් නැසේවා සසරෙහි දිගට නොයා

හදවතින් මා පොහොසතෙක් කළ
ඉසිකෝ මාන පුහු දේ බව පසක් කළ
රට දැය සමයෙ වටිනාකම මතක් කළ
අම්මේ ඔබයි මා දුටු සුදු නෙළුම් මල

මුහුණට වඩා හද පිවිතුරු කර ගන්න
මෙත් කරුණා දයාභරණින් සැරසෙන්න
සම්බුදු දහම අනුවම ජීවත් වන්න
අම්මා පෙන්නුවා ලොවැ හරියට ඉන්න

පෙව් කිරි රසය තාමත් මතකයි අම්මේ
ගුණ දම් සුවඳ හදවත රැව්දෙයි අම්මේ
ඔවදන් ඔබේ රන් මිණි පරදයි අම්මේ
නිවනින් සැනසෙන්න පින්වත් බුදු අම්මේ

ඉපදුණු දා පටන් සෙනෙහෙන් අමතනවා
ඇගෙ ගත සවිය රන් ලෙය මට කිරි වෙනවා
හැරදා ගියත් ගුණ ගඟ සිහියට එනවා
අම්මා නමින් සුදු අරලිය සුපිපෙනවා

මගෙ උපතේ පටන් අපමණ දුක් විඳලා
මා දිවි රැක්කෙ ඇගෙ සුව පහසුව නොබලා
මිනිසත් දහමෙ කිරියෙන් හදවත හදලා
කළ මෙහෙ සිහිකරමි මව් පායුග වැඳලා


නොනිමි ගමන

තණ්හා පොදි උර දරා
සංසාර මාවතේ
මිනිසත් අම්බලමේ
නැවතී සිට
යළි අරඹමි ගමන්
ඉමක් කොනක් නොදැක
මං මුලාවූවකු ලෙසින්
රුදුරු ගිරිදුර්ග සරා
සිනහව කඳුළ
වැළඳ ගනිමින්


අප්පච්චිගේ සුදු දෝණී

එයා දන්නෙ නෑ තවමත්
ඔබ නිදනා වග සුසානේ
මතකද එහෙ මෙහෙ දුවලා
නොපෙනී සෙල්ලම් ගෙට වැහිලා

අඬවලා හිනහුණු තාලේ
එනවද අද සැන්ඳෑවේ
අහනවා නිතරම වාගේ
ඔබ ගැන සුදු නංගි අනේ

පින් මදි වී ගිය නිසා ද
යන්න ගියේ අප හැරදා
එළිය දෙන්න අඳුරු ලොවට
එන්නකො හෙට අප්පච්චී

සුදු දෝණිගේ අප්පච්චි
අම්මත් ලෙඩ ඇඳේ තවම
දෑස් රැඳෙයි කඳුළු පිරිලා
හරියට නැහැ ලොව පෙනෙන්නෙ

විගස එන්න අපව සොයා
දිය බිඳුවක් පොවල යන්න
අම්මත් සුවපත් වේවි
සුදු දෝණිගේ අප්පච්චි.......

කොවිඩ් මරුවා උදුරාගෙන
අරගෙන ගිය දා පටන්ම
අඬන කඳුළු අම්මාගේ
නෙත් සඟලින් කඩා හැලෙන

කඳුළු ගඟක් වෙලා ගලන
අඬනවා මහ සයුර තවම......
අප්පච්චි අප්පච්චී
ඔයා එන්න හෙට හවසට

රසට අරන් සුදු දෝණිට
වැට අයිනට මම එන්නම්
සුදු නංගිගේ අත අල්ලන්
සිනාසීලා අප්පච්චී

නැවත යන්නෙ නෑ කියලා
ගන්නකො ළංවී දෝතට
අප්පච්චිගේ සුදු දෝණී
අප්පච්චිගේ සුදු දෝණී......


මරණය දුටුවෙමි

දුන්නා දන් මහා සඟරුවනට
මහලු විය නොදැනිම ගතට
දැනුනා සිසිල දෙතොලට
පිරිත් පැන් බිඳකින්
සැතපුණා විල්ලුද ඇතිරූ පෙට්ටියක
ඇසුනා හඬන හඬ කාගෙත්
කරමතින් පාවඩ පිට යන මා හට
ඉසිනවා මල් දහසක් සිරුරට
පැමිණියේ පාළු සොහොන් බිමට
මා වළදමා තනිකර ගියේ සැම


රැක ගනු මැනවි සිත

ඇතුළත පිටත රැකවල් කර තම නුවර
රකිනා රජකු මෙන් රැක ගනු සිත පවර
දුලභ උතුම් මිනිසත් බව ලද මොහොත
නොම රැකුණොත් නියතයි දුගතියෙ උපත


පොහොය වරුණ

සය අවුරුදු දුක්විඳ මහ කැළය මැද
කය වැහැරුණ ද ලොව්තුරු බුදු පදවි ලද
පය දුරගමන් හිමි මිගදා වැඩිය සඳ
ජය ගති තවුස් පෙළ අසමින් දහම් පද

උරුවෙල් ජනපදයෙ සිටි තුන්බෑ ජටිල
දුරුකොට වැරැදි මත හුරුකොට දහම් පෙළ
තුරු මත පිපි කුසුම් සේ ලැබ නිවන් ඵල
හිරුමෙන් වැඩි සේක හිමි ලක් පොළෝ තල

ලද අත කේෂධාතුන් බුදු හිමි පිදුව
හද පිරි බැතින් දෙවිඳුන් සෑයකි හැදුව
තෙද බල අසිරි පෑ මියුගුණ සෑ රදුව
අද පොහො දිනේ සමරමු සැදැහෙන් යුතුව