Print this Article


සප්ත පුත්‍ර ඛාදක ප්‍රේත වස්තුව

සප්ත පුත්‍ර ඛාදක ප්‍රේත වස්තුව

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි දරුවන් හත් දෙනකු ආහාරයට ගන්නා ප්‍රේතියක අරභයා මේ ප්‍රේත වස්තුව දේශනා කළ සේක.

සැවැත්නුවර එක්තරා ගමක ගෘහපතියකුට දරුවන් දෙදෙනෙක් විය. එකී දරුවන් දෙදෙනා මාගේ දරුවන් දෙදෙනා කියමින් තම ස්වාමියාට අවලාද කරමින් ඇය උඩඟු වී සිටියා ය. බිරිඳ ගැන කළකිරීමට පත් වූ ස්වාමි පුරුෂයා වෙනත් බිරිඳක් ගෙනාවා ය.

ටික කලකින් දෙවැනි වර ගෙන ආ බිරිඳට දරු ගැබක් ඇති විය. පළමු බිරිඳ ඒ දරු ගැබ විනාශ කළා ය. පළමු බිරිඳ ගැන සැක සිතූ නෑදෑයන් විසින් තී දරු ගැබ විනාශ කළා නොවේදැයි ඇසූ විට එසේ නොකළේ නම් දිවුරා සිටින ලෙස ඥාතීහු පැවසූහ.

දරු ගැබ විනාශ කළ ඒ ස්ත්‍රිය මා විසින් දරු ගැබ විනාශ කළේ වී නම් මතු පරලොව උදේ කාලයට දරුවන් හත් දෙනකු බිහි කොට සවස් කාලයට දරුවන් හත් දෙනකු බිහි කර ඒ දරුවන් මරා මස් කන්නියක් ම වේවායි කීය. ඒ ස්ත්‍රිය මිය පරලොව ගොස් ප්‍රේත ලෝකයෙහි ඉපදුණි. උදේට දරුවන් සත් දෙනෙක්, සවසට දරුවන් සත් දෙනෙක් වදා මරා කෑවා ය. දිනපතා ම එසේ ම ය. පෙර අත් බවේ දී බොරුවට දිව්රා තමා කී දේ එසේම සිදු විය. කෙතරම් නම් ඛේදනීය ද?

මෙම සිදුවීම භික්ෂූන් වහන්සේලා සිය ඇසින් ම දුටහ. විමසූහ. ප්‍රේතිය සියලු විස්තර කියා පෑවා ය. තමා විඳින දුකින් නිදහස් කර ගන්නා ලෙස ඇයැද සිටියා ය. කාරුණික වූ භික්ෂූහු ඈ ගැන සානුකම්පිත වූහ. භික්ෂූන් වහන්සේලා ඇය ජීවත් වූ පෙර භවයේ ඇගේ ස්වාමිපුරුෂයා වෙත ගොස් දක්ෂිණා පිරිනමා ප්‍රේත ස්ත්‍රියට පින් දිය යුතු බව දන්වා සිටියහ.

පෙර අත් බවේ ස්වාමි පුරුෂයා ද එසේම කළේ ය. පින් අනුමෝදන් වූ ඇය ප්‍රේත ආත්ම භාවයෙන් මුදා ගැන්මට සමත් විය.

භික්ෂූන් වහන්සේලා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට මෙම පුවත සැළකොට සිටියහ. බුදුරජාණන් වහන්සේ එම කතාව මුල් කර ගෙන දහම් දෙසූහ.රැස්ව සිටි විශාල පිරිසකට ප්‍රයෝජනවත් විය. විමුක්ති සුඛයෙන් සැනසුණහ.

මේ කතා ප්‍රවෘත්තියෙන් බොරුකීමේ සහ ප්‍රාණඝාත අකුසල කර්මයේ විපාක අවබෝධ කටයුතු ය.