Print this Article


දිනුම පැරදුම උත්සාහයේ තරමටය

දිනුම පැරදුම උත්සාහයේ තරමටයි

වාසනාව ඇත්තෝ දිනති. අවාසනාවන්තයෝ පරදිති. බොහෝ දෙනෙක් එලෙස සිතති. දිනුම – පැරදුම වාසනාව හෝ අවාසනාව මත සිදුවේ යැයි සිතන්නේ ම අලසයන් ය. දියුණුවට ජයග්‍රහණයට අවැසි වන්නේ උත්සාහය ම ය. කුසීතයකුට එය ලද නොහැකි ය.

දක්ෂවීම, අලස නොවීම, තැනට සුදුසු නුවණ, සුදුසු දේ කිරීම, මනාව සංවිධානය වීම ආදී ගුණාංග උත්සාහවන්තයා සතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. එවැනි කෙනකුට මෙලොව ලද නොහැකි ජයග්‍රහණයක් නොවන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

සැරියුත් හාමුදුරුවන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කොට වදාළේ කම්මැළියකු දැකීමට පවා අකැමැති බව ය. ඒ උත්සාහයෙන් තොර දෙලොව දියුණුවක් නොමැති බැවිනි.

අවස්ථාවට අනුව තීරණ ගන්නට නුවණ නොවේ නම් එය පරාජයේ ලකුණකි. කලණ මිතුරු ඇසුර, බහුශ්‍රැත බව, ජීවන ගමනේ දී තමන් මුහුණ දෙන සිදුවීම් හා අවස්ථා ගැන හොඳ අවබෝධයක් වේ නම් තැනට සුදුසු නුවණ දියුණු කර ගැන්ම අසීරු නොවන්නේ ය.

ඍජු තීරණ ගත යුතු තැන පසුබට නොවීම වැදගත් ය. ඉහිරුණු කිරට හඬා පලක් නොවන හෙයිනි.

මෘදු ගති පෙන්විය යුතු තැන මෘදු විය යුතුම ය.

උපායශීලී ව, අවස්ථාවෝචිත ව කටයුතු කිරීම දක්ෂයාගේ ස්වභාවයයි. හරි දේ හරි ලෙසත්, වැරැදි දේ වැරැදි ලෙසත් නොදැකීම පැරදුමේ මඟකි. සරු නිසරු බව තීරණය වන්නේ එයින් වන ආනිශංස හා විපාක අනුව ය.

අනලස් පුද්ගලයාගේ තවත් සුවිශේෂී බවක් වන්නේ මනා සංවිධානයයි. සෑම අංශයකම දියුණුව, පලදායීබව ඇති වන්නේ සංවිධානශීලි බව ඇති තරමට ය.

මේ අංගයන්ගෙන් පරිපූර්ණ වන්නට කෙනෙක් උත්සාහ කරනවා නම්, ඔහුගේ හෝ ඇයගේ හෝ අනාගතය වාසනාවට බාර දිය යුතු නැත. ජයග්‍රහණය තමන් ඉදිරියේ ම වන බැවිනි.