Print this Article


ලක්දිව සංඝරාජ පදවිය - 15: මුල්කිරිගල රාජමහා විහාරාධිපති පදවිය

ලක්දිව සංඝරාජ පදවිය - 15:

මුල්කිරිගල රාජමහා විහාරාධිපති පදවිය

දකුණු පළාතේ නූතන හම්බන්තොට දිස්ත්‍රික් සීමාවට අයත් පැරැණි බෙදීම් අනුව ගිරුවා පත්තුවට අයත් වූ ප්‍රදේශයේ පිහිටි මුල්කිරිගල රාජමහා විහාරය අනුරාධපුර යුගයේ ආරම්භ කළ විහාරස්ථානයකි.

මෙරට විහාරස්ථානයක විහාරාධිපති පදවිය පිරිනැමීමේ සාමාන්‍ය ක්‍රමයෙන් බැහැර වූ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබන අවස්ථා තුනක් වශයෙන් අටමස්ථානාධිපති පදවිය, ශ්‍රීපාදස්ථානාධිපති පදවිය සහ මුල්කිරිගල රාජමහා විහාරාධිපති පදවිය පිරිනැමීමේ අවස්ථාවන් හඳුනා ගත හැකි ය.

දකුණු පළාතේ නූතන හම්බන්තොට දිස්ත්‍රික් සීමාවට අයත් පැරැණි බෙදීම් අනුව ගිරුවා පත්තුවට අයත් වූ ප්‍රදේශයේ පිහිටි මුල්කිරිගල රාජමහා විහාරය අනුරාධපුර යුගයේ ආරම්භ කළ විහාරස්ථානයකි.

කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් මුල්කිරිගල විහාරයට පුනර්ජීවනය සලසන ලද්දේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ වටරග්ගොඩ ධම්මපාල මාහිමිපාණන් වහන්සේ විසිනි. වටරග්ගොඩ ධම්මපාල මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර මූලගිරි සඟ පරපුර වශයෙන් හඳුන්වනු ලබන අතර එම පරපුරට අයත් විහාරස්ථාන සිය ගණනක් මෙරට සහ විදේශයන්හි පැතිරී ඇත.

පහතරට ධර්ම ශාස්ත්‍රෝද්දීපනියෙහි සුවිශේෂී කාර්යභාරයක් මූලගිරි සඟ පරපුර වෙතින් ඉටු වී ඇත.

මූලගිරි සඟ පරපුරෙහි මූලස්ථානය වන මුල්කිරිගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පදවිය වටරග්ගොඩ ධම්මපාල මාහිමි, ගංගොඩගම දේවරක්ඛිත හිමි, බෙලිගල්ලේ ධම්මජෝති හිමි, කටුවන අත්ථදස්සි මහානාම හිමි, බැදිගම ධම්මරක්ඛිත හිමි, වල්පිට මේධංකර හිමි, කටුවන පියදස්සි හිමි, තලාවේ සෝභිත හිමි, බැදිගම බූකන්දයායේ මේධංකර හිමි, අතපත්තුකන්දේ සෝභිත හිමි, බෙලිගල්ලේ සිද්ධාර්ථ හිමි, හීල්ලේ සුමන හිමි, මෝදරවානේ සෝමානන්ද හිමි, ඕකන්දයායේ වංගීස හිමි, හීන්බුන්නේ පුඤ්ඤසිරි නාහිමි යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා හෙබ වූ පසු වර්තමානයේ දී බෙලිගල්ලේ සරණපාල හිමියන් විසින් හොබවනු ලබයි.

මෙම විහාරාධිපති පදවිය වෙනුවෙන් අර්බුද ඇති වූ අවස්ථාවන්හි දී අධිකරණයේ විභාග වූ නඩු සඳහා ලැබුණු තීන්දු ප්‍රකාර ව විහාරාධිපති පදවිය සඳහා හිමිනමක පත් කරනු ලැබෙයි. විහාරාධිපති හිමි නමක පත් කිරීම සඳහා සුදුසුකම් ලත් සංඝ සභාවක් කැඳවීමට බලය ඇත්තේ මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව වෙත ය. මල්වතු පාර්ශ්වයේ කාරක සභාවෙහි අවසරය පරිදි රැස්වීම කැඳවීම සහ රැස්වීමෙහි මුලසුන ගැනීම දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන් විසින් සිදු කරනු ලබයි.

මෙම සංඝ සභාව සඳහා සහභාගීවනු ලබන්නේ මූලගිරි සංඝ සභාවට අයත් හිමිවරුන්වීම විශේෂත්වයකි. මූලගිරි පරපුරට අයත් සියලු හිමිවරුන් හට ඊට සහභාගී වීම සඳහා අවකාශ තිබේ. මෙම සංඝසභාව විසින් මූලගිරි සඟ පරපුරෙහි ස්වාමින්ද්‍රයන් වහන්සේලා අතුරින් සුදුසු හිමිනමක විහාරාධිපති වශයෙන් තෝරා පත් කරනු ලැබෙයි. එම පත් වන හිමියන් අපවත් වූ නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වීම අවශ්‍ය නොවන නමුත් මූලගිරි පරපුරෙහි හිමිනමක වීම අවශ්‍ය වෙයි.

මෙම තෝරා ගැනීම පිළිබඳ මල්වතු මහා විහාරය වෙත දැන්වීමෙන් පසු යෝග්‍යතාව පරීක්ෂා කොට මල්වතු විහාරයේ කාරක සංඝ සභාව විසින් එම පත්වීම අනුමත කරනු ලබයි. ඉන්පසු මහානායක හිමිපාණන් වහන්සේ විසින් සන්නස්පත්‍ර පිරිනමා පදවිය නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරේ.