Print this Article


අපවත්වී වදාළ උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ

අපවත්වී වදාළ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ සිව්වැනි මහානායක ධුරන්ධර සද්ධර්ම වාගීශ්වර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී රතනසාරාභිධාන මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ

උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ

ලංකා ශාසනම්භරය ආලෝකවත් කළ ගිහි පැවිදි උභය පාර්ශ්වයේ ම සම්භාවනාවට පාත්‍ර වූ ධර්මධර, විනයධර, ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමක් වූ මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවකි.

අපවත්වී වදාළ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ සිව්වැනි මහානායක ධුරන්ධර සද්ධර්මවාගීශ්වර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී රතනසාරභිධාන මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කළ සුපේශල ශික්ෂාකාමී අර්ථ චර්යාවෙහි පිළිපන් ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේ නමකි.

ලංකා ශාසනම්භරය ආලෝකවත් කළ ගිහි පැවිදි උභය පාර්ශ්වයේම සම්භාවනාවට පාත්‍ර වූ ධර්මධර, විනයධර, ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමක් වූ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවකි.

මාවැල්ල කංකානම්ගේ නිකුලස් මහෝපාසකතුමා සහ වල්පිටිගොඩ ගමගේ කතිරිනාහාමි මහෝපාසිකා මාතාව යන ශ්‍රද්ධා බුද්ධිසම්පන්න මව්පිය දෙපළගේ පුණ්‍යවන්ත පුත්‍ර රත්නයක් වශයෙන් 1929 වර්ෂයේ මැයි මස 16 වැනි දින ජන්ම ලාභය ලැබූහ.

පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන වූ පින්වත් කුමරු 1941 වර්ෂයේ දී ජනවාරි 21 වැනි දින කොට්ටාව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී කෝට්ටාව ශ්‍රී සුමනාරාමාධිපති මාබොටුවන රතනසාර නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගාල්ල කොටුව සුධර්මාලය විහාරාධිපති හල්පාතොට පුඤ්ඤරතන නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් ප්‍රවෘජ්‍යා භාවයට පත්වූහ. අනතුරුව ගෝනගල සුධර්මාකර පිරිවෙනෙහි වැඩ සිටි වියත් ඇදුරු මඬුල්ලක් හමුවේ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත් මහානායක මාහිමිපාණන් වහන්සේ නිසි වයස් සම්පූර්ණවීමත් සමඟ 1949 වර්ෂයේ මැයි මස 12 වැනි දින මාබොටුවන රතනසාර මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයීය රාජපූජිත මංගල උපෝෂථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත සුපරිසුද්ධෝප සම්පාදාවට පත්වීමට තරම් පූර්වෝචිත පුණ්‍ය ශක්තිය බලවත් විය.

1957 වර්ෂයේ දී විහාරාධිකාරී ධූරයට පත් වූ මාහිමිපාණන් වහන්සේ 1961 වර්ෂයේ දී විහාරාධිපතිධූරයට පත්ව විශාල ශාසනික මෙහෙවරක් ඉටුකළහ. 1975 වර්ෂයේ සිට 1991 වර්ෂය දක්වා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයටත්,1991 වර්ෂයේ දී යක්කලමුල්ල සමථමූල මණ්ඩලයටත් තේරී පත් වූ උන්වහන්සේ විහාරස්ථානයේ පිහිටුවා ඇති දායක සභා සමිති සමාගම්වල ප්‍රධාන අනුශාසක හා සභාපති තනතුරුවලින් පිදුම් ලබා ග්‍රාමීය ප්‍රජාවගේ මූලික සංවර්ධන අවශ්‍යතා පදනම් කරගත් ජාතික තලයේ විවිධ ප්‍රජා ව්‍යාපාර සහ සමාජ සංවිධාන සමඟ ජාතික සේවාවේ නියැළුණහ. ගිහිපැවිදි සබඳතා වැඩිදියුණු කිරීම උදෙසා වන සිවිල් සමාජ වැඩිදියුණු කිරීමේ වැඩසටහන්වල පුරෝගාමී නායකත්වය ලබා දුන් උන්වහන්සේ අන්තර් සමාජ සංවිධාන සමඟ නිරතුරුවම ප්‍රජාව අතර ක්‍රියාකාරීව දැඩි කැපවීමෙන් අමිල ශාසනික මෙහෙවරක් ඉටු කළහ. ප්‍රථිබල සම්පන්න ව්‍යක්ත විශාරද යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේ සිදුකළ ජාතික, ආගමික, ශාසනික මෙහෙවර ඇගයීමට පාත්‍ර කරමින් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව වෙතින් 1990 වර්ෂයේ දී ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය සහිතව විනය කීර්ති ශ්‍රී රතනසාරාභිධාන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ. පූර්වෝක්ත උතුම් ගුණයෙන් සමුපලක්ෂිත යතිරුවනක් වශයෙන් ශාසනානුලෝමී හැඟීමෙන් තවදුරටත් කටයුතු කළ උන්වහන්සේ 1992 වර්ෂයේ දී ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක කාරක සභික ධූරයෙන් පිදුම් ලබා 2004 වර්ෂයේ දී ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහෝපාධ්‍යාය ධූරයෙන් සම්භාවනාවට පාත්‍ර වූහ. පාණ්ඩිත්‍යයෙන් අත්දැකීම්වලින් පිරිපුන් පරිණත විචක්ෂණ බුද්ධිමත් පඬිරුවනක් වශයෙන් ශික්ෂාකාමී සඟ පරපුරක් සසුනට දායාද කළ මහානායක මාහිමිපාණන් වහන්සේ 2011 වර්ෂයේ දී සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ධූරයට පත්වූහ. 2015 වර්ෂයේ දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ධූරයෙන් පිදුම් ලැබූ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සංඝ සෝභන ගුණාංගයන්ගෙන් මෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපදාවන්ගෙන්ද උපලක්ෂිතව රට, දැය සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළහ.

අපවත් වී වදාළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක ධුරන්දර සද්ධර්මවාගීශ්වර ත්‍රිපිටක විශාරද විනය කීර්ති ශ්‍රී රතනසාරාභිධාන මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ අමාමහ නිවන් සුවය ම ලබත්වා.