Print this Article


සිතිවිලි රැකගෙන පරිසරය රැකගන්න

සිතිවිලි රැකගෙන පරිසරය රැකගන්න

පින්වත් දුවේ පුතේ, අප ජීවත්වන පරිසරය හා බැඳුණ මේ ලෝකය ගැන කතා කරන විට බුදු හාමුදුරුවෝ ලෝකය දෙයාකාරයකින් විස්තර කොට තිබෙනවා.

ඉන් පළමුවැන්න නම් අපට පෙනෙන, අප විසින් ලෝකය ලෙස හඳුන්වන සම්මුති ලෝකයයි. බුදු හාමුදුරුවෝ බෝහෝ අවස්ථාවල අපගේ ශරීරයත් ලෝකය ලෙස හඳුන්වා තිබෙනවා. දුවේ පුතේ, මදක් සිතා බලන්න. මේ විශ්වය ම හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතවලින්. ඒ කියන්නේ වර්ග සතරකින්. අප ශරීරය නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ සතර මහාභූත කොටස්වලින් මයි.

පඨවි ධාතුව යනුවෙන් හඳුන්වන්නේ තද ගතියෙන් යුතු කොටස්. ශරීරයේ නම් දත්, නිය, ඇටකටු ආදියයි. පරිසරයේ නම් ගස්, ගල් පර්වත ආදියයි.

ආපෝ යනු වැගිරෙන ගතියෙන් යුතු දේයි. ශරීරයේ නම් සෙම්, සොටු, ලේ, සැරව ආදියයි. පරිසරයේ නම් ජලය, මැලියම්, පැණි යනාදිය ගත හැකි යි.

තේජෝ ධාතුව ලෙස හඳුන්වන්නේ ශරීරයේ නම් උණුසුම් හා සීතල ගතියයි. අපගේ ශරීරයේ උෂ්ණ ස්වභාවය හා සීතල ස්වභාවය වගේ ම පරිසරයේත් උණුසුම් ස්වභාවය සීතල ස්වභාවය අපට විඳීය හැකි යි. හිරු එළිය නිසා මෙන් ම ගින්දර, කර්මාන්ත ශාලා, වන විනාශය ආදිය නිසා පරිසරය උණුසුම් වනවා. එසේ ම වැස්ස, හිම පතනය මෙන් ම රුක් රෝපණාදිය නිසා පරිසරය සිසිල් වෙනවා.

වායෝ යනු වායු ධාතුවයි. අප ලබා ගන්නා හුස්ම, අප පිටකරන හුස්ම මෙන් ම අප ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා ද වායෝ ධාතුව බලපානවා. පරිසරයේ සෑම තැනක ම මෙම වායෝ ධාතුව පවතින අතර සුළග හැමීමේ දී වායෝ ධාතුව ඇති බව අපට දැක ගැනීමට හැකිවෙනවා.

ඉහත කරුණු අනුව විමසා බැලීමේ දී පරිසරයත් මමත් යනු වෙන් ව ගත නොහැකි බවත්, එක ම ලෝකයක කොටස් බවත් පැහැදිලි වෙනවා. එනිසා මිනිසා හා ලෝකය ලෙස අප සම්මුති වශයෙන් කතා කළත් සැබැවින් ම මිනිසා යනු පරිසරයේ ම කොටසකි.

මිනිසා පරිසරයේ කොටස් කරුවකු වුවත් පරිසරය විනාශ කිරීමේ පුරෝගාමියා මිනිසා වීම කනගාටුදායක යි. අප පරිසරය ගැන කතා කිරීමේ දී පරිසරය ද කොටස් දෙකකට වර්ග කර කතා කළ හැකි යි. ඒ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය යනුවෙනි. අභ්‍යන්තර පරිසරය යනුවෙන් මිනිසා සතු, මිනිසාගේ අභ්‍යන්තරයේ පවතින පරිසරය හඳුන්වා දිය හැකි ය.

බාහිර පරිසරය යනුවෙන් අපට පේන මෙන් ම නොපෙනෙන අප අවට ඇති ලෝකය හඳුන්වා දිය හැකි යි.

බාහිර පරිසරයේ විනාශය සඳහා මූලිකව ම බලපාන්නේ අභ්‍යන්තර පරිසරය දූෂණය කරගත් අය බව අප අමතක නොකළ යුතු යි. එනිසා බාහිර පරිසරයේ ආරක්‍ෂාව ගැන කතා කිරීමේ දී මිනිසාගේ අභ්‍යන්තර පරිසරය සැකසීම අනිවාර්යයෙන් කළ යුතු වනවා.

දුවේ, පුතේ අපගේ අභ්‍යන්තර පරිසරය නම් මනස පිරිසුදුව තබා ගැනීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිසාගේ සිත ස්වභාවයෙන් ම පිරිසුදු බවයි. “පහස්සරමිදං භික්ඛවේ චිත්තං” යනුවෙන් සිත ස්වභාවයෙන් ම පිරිසුදු බව දේශනා කළ සේක. එහෙත් “ආගන්තුකේහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං” ආගන්තුකව නොහොත් පිටින් එන කෙලෙස් දහම් නිසා සිත අපිරිසුදු වන බව පෙන්වා දුන් සේක.

අපගේ සිත දූෂණය වන්නේ පරිසරයේ බලපෑම නිසයි. අපේ ඇසට පෙනෙන දේ, අපේ කනට ඇසෙන දේ, අපේ නාසයට දැනෙන දේ, අපේ දිවට දැනෙන රස දේ මෙන් ම අපේ ශරීරයට දැනෙන පහස නිසා අපේ අභ්‍යන්තර පරිසරය විනාශ වී යයි. සිත දූෂණය වෙයි. එනිසා මිනිසා ඒ දූෂිත සිතින් ආපසු සමාජයට හානිකර දේ මෙන් ම පරිසරයට හානිකර දේ සිදු කරයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පළමුව කළ යුත්තේ අභ්‍යන්තර පරිසරය පිරිසුදු කිරීම කළ යුතු බවයි.

මිනිසාගේ සිත්තුළ ඇති ලෝභ, දෝෂ, මෝහ, ආත්මාර්ථය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහ, වෛරය යනාදි අපිරිසුදු කෙලෙස් දූවිලි නැති කළ යුතු ය.

ආදරය, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, පරිත්‍යාගශීලීබව, සමානාත්මතාව, පරිසර හිතකාමීබව ආදි යහපත් ගුණාංග ඇත්නම් ඒවා ආරක්‍ෂා කිරීමටත්, එම ගුණාංග නොමැති නම් ඇති කිරීමටත් ක්‍රියා කළ යුතු යි. එවිට අපේ අභ්‍යන්තර පරිසරයත් බාහිර පරිසරයත්, යන දෙක ම දූෂණය වීම වළක්වා ගත හැකි යි.