Print this Article


පැරැණි රජ කල ශ්‍රී පාද පද්මය රැකගත් හැටි

පැරැණි රජ කල ශ්‍රී පාද පද්මය රැකගත් හැටි

සුමන සමන් දෙව් රදුන්ගේ ආරාධනයෙන් බුදුපියාණන් සමනොළ කඳු සිරසෙහි ඉන්ද්‍රනීල මාණික්‍යය මත්තෙහි තමන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළ සේක. ඒ උතුම් අවස්ථාවේ ලෝකයම කම්පාවී මැණික් වර්ෂාවක් ඇද හැළුණ බව ජන වහරේ සඳහන් ව ඇත.

සබරගමුව දිස්ත්‍රික්කය පුරා අද ද මැණික් දකින්නට ඇත්තේ එදා ඒ වට වැස්සේ මැණික් යැයි ද විශ්වාස කෙරේ. සමනල කඳු සිරසේ ශී‍්‍රපාද පද්මය පිහිටුවීමෙන් පසු ඒ කඳු පන්තියේ ඇති බෑණ සමනොළ, කළුදිය පර්වතය , ගවරවිල ආදි වූ සප්ත කඳු ද, මලින් බර වූ තුරු ලතාවන් ද සමනල කන්ද දෙසට නැමුණු බව සඳහන් වේ.

සමනල කන්ද හාත්පස වනස්පතීන් ද මීදුමෙන් වැසී ගිය සියලු පරිවාර කඳු පන්තිය ද ශ්‍රී පාද පද්මයට නමස්කාර කරන්නා සේ සමන්ගිර දෙසට නැමී තිබීම අත්භූතජනක, ආශ්චර්යවත් දර්ශනයක් ලෙසින් සඳහන් වේ.

ශ්‍රී පාද පද්මය පිහිටු වූ ඉඳුනිල් මාණික්‍යයේ ආලෝකය චමත්කාරජනක ලෙසින් සමනල කන්ද පුරා විහිදෙන්නට වූ බව ද කියැවේ. මේ ආලෝකය බුදුරැස් විහිදෙන ආකාරයෙන් නිතර විහිදෙන්නට වීම ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාවට බාධාවක් විය හැකි යැයි සිතූ එකල රට පාලනය කළ රජවරු වරින් වර කළුගල් යොදා ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාව උදෙසා ආවරණය කළ බව ද සඳහන් ය.

මේ ආකාරයෙන් ශ්‍රීපාද පද්මය ආවරණය කළ ද බොහෝ කලක් යනතුරු සමනොළ කඳු මුදුනේ සිට ශ්‍රී පාද පද්මය නැරඹීමට කුඩා කපොල්ලක් හා සමාන වූ සිදුරක් තිබූ බව ද සඳහන් වේ.

සමනොළ කඳු මුදුනේ බෑවුම් අද්දරින් කපා දෙබරු මතුවන ඇතැම් සිදුරු තුළින් බැලූ විට නීල වර්ණ රශ්මි ධාරා විහිද යන්නා වූ ආලෝකයක් දැක ගන්නට ලැබුණු බව ජනවහරේ සඳහන් වේ.

මීට පෙර සම්බුදු පදවි ලද කකුසඳ,කෝණාගම, කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා ද මෙම සමනල කඳු මුදුනට වැඩම කර ඇති බව සඳහන් වේ. ඒ අනුව සමනොළ කන්ද, කකුසඳ බුදුරදුන් සමයේ දේවකූඨ නාමයෙන් ද, කාශ්‍යප බුදුරදුන් සමයේ සුභකූඨ නමින් ද ව්‍යවහාර වී ඇති බව ද කියැවේ.

ශ්‍රී පාද පද්මය වන්දනාවට සැදැහැති දනන් පමණක් නොව රෑන් රෑන් සමනලුන් ද පැමිණෙන බව නොරහසකි. මෑත අතීතයේ පවා කහ සහ සුදු පැහැති සමනලුන් මේ ආකාරයෙන් සිරිපාද පද්මය දෙසට පියාඹන සැටි අපි දැක ඇත්තෙමු. සිරිපා වන්දනා සමයේ දී සමනලුන් බටහිර දිශාවේ සිට නැඟෙනහිර පිපි වන මලින් මල් පැණි බී මත්ව පර්වතයන් හි ගැටෙන බව සබරගමුවේ ජන කතාවක් ද වේ. සිරිපා කඳු මුදුනට සමනල කන්ද යන නාමය ලැබී ඇත්තේ ද මේ ආකාරයෙන් සමනලුන් පැමිණෙන නිසා බව ද පැවසේ.