Print this Article


අපාය ද? සුගතිය ද? තීරණය තමන් වෙත ම ය

අපාය ද? සුගතිය ද? තීරණය තමන් වෙත ම ය

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයෙකි. දිනක් තමන් වහන්සේගේ නිය මතට පස් ස්වල්පයක් ගෙන උන්වහන්සේ අබියස වැඩ සිටි භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළ සේක.

“මහණෙනි“,මාගේ මේ නිය මත තිබෙන පස් ස්වල්පය ද වැඩි, මහ පොළොවේ තිබෙන පස් ද වැඩි යනුවෙනි. එවිට භික්ෂූන් වහන්සේ සඳහන් කළේ මහ පොළවේ පස් බොහොමයි යනුවෙනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, යම් කෙනෙක් මරණින් මතු මනුෂ්‍යයෙක් ලෙස උපදින්නේ නම්, ඒ ඉතාම අල්පයි. ඒ වගේ ම යම් කෙනෙක් මිනිස් ලොවින් වෙනත් තැනක උපදිනවා නම් ඒ සත්වයෝ ඉතාම වැඩි බවයි.

මේ උපමාව ඉතාම සරලයි. ඔබත්, අපත් මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජිවිතය පිළිබඳව කුමන ආකාරයකින් සිහිපත් කළ යුතු ද කියා නුවණින් විමසා බලමු.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ, මේ නියමතට හසු වූ තරම් පස් ප්‍රමාණයක තරමක් තමා මනුෂ්‍යයන් ව උපදින්නේ. මනුෂ්‍යයන් නොවී අන් තැනක උපදින සත්වයෝ මේ මහ පොළොව හා සමානයි. එසේ නම් අන් තැනක උපදින සත්වයෝ මේ මහ පොළොව හා සමානයි. එසේ නම් අන් තැනක උපදින සත්වයෝ බ්‍රහ්ම ලෝක විස්ස, දිව්‍ය ලෝක හය, මනුෂ්‍ය ලෝකය හැරුණා ම වඩාත් ම ප්‍රමාණයක් උපත ලබන්නේ සතර අපායන්හිය.

කෙළවරක් දකින්නට නැති, ආරම්භයක් නොපෙනෙන මේ සංසාර ගමනේ අවිද්‍යාව නිසා, ඇලීම සහ ගැටීම ඇති කරගෙන අකුසල කර්ම වඩාත් රැස්වෙනවා. තෘෂ්ණාවේ බැඳෙනවා. දුවගෙන යනවා. ඇවිදගෙන යනවා. ඒ කියන්නේ මේ සංසාර චක්‍රය තුළ දුක් විඳීමින් ගමන් කරනවා යන අදහසයි. ඉපදෙමින්, මරණයට පත්වෙමින්, ගමන් කරනවා යන්නයි.

තියුණු ලෙස දුක් වින්දා. ඒ වගේ ම මහත් වූ ව්‍යසනයන්ට හසුවුණා. මේ මහ පොළොවේ සෑම බිම් අඟලක් ම සුසානයක් වෙලා තියෙනවා. මනුෂ්‍ය ලෝකය ඇතුළුව, සතර අපාය බව පැහැදිලියි.

මේ සතර අපාය මුල්කරගෙන විඳීන්නට තිබෙන දුක පිළිබඳව තේරුම් ගන්න උත්සාහ කරන්න.

සෑම කෙනෙක් ම දීර්ඝ කාලයක් මේ සංසාර ගමනේ දුක් වින්දා. මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා අවිද්‍යාවට හසුවෙලා බොහෝ දුක් වින්දා. හේතූ ප්‍රත්‍ය කරගෙන සකස්වන යමක් වේ ද ඒ හේතූන්ගේ විසිර යෑමෙන් මේ සියලු සංස්කාර ධර්මයෝ වහා නැසී යන්නේ ය.

අවිද්‍යාව නිසා මනුෂ්‍ය ලෝකයේ ඉපදී මව වෙනුවෙන් වැගුරූ කදුළු, පියා වෙනුවෙන්, පුතා වෙනුවෙන්, තම සොහොයුරා වෙනුවෙන්, සොයුරිය වෙනුවෙන් හැම ඥාතීන් වෙනුවෙන්, භෝග ව්‍යසනයේ දී, ලෙඩ දුක් ඉදිරියේ දී වැගුරූ කදුළු සිවු මහා සාගරයේ ජල කඳට වඩා වැඩියි.

මනාපයන්ගෙන් වෙන් වන විට, අමනාපයන් සමඟ එකතු වන විට මේ දෙකම එකතැන සකස් වෙනවා. මනාපයන්ගෙන් වෙන් වනවා යැයි, අකැමති දෙයක් සිද්ධ වෙනවා කියන අදහසයි. එනම් අමනාප සිතිවිලිවලට මුහුණ දෙනවා යන්නයි. මනාපයන්ගෙන් වෙන් වන විට , අමනාපයන් හා එක්වන විට වැගුරූ කදුළු සිවුමහා සාගරයේ ජල කඳට වඩා වැඩි බව දැක්වූහ. එසේ නම් මොන තරම් දුකක් ද යන්න පැහැදිලියි. මේ ආකාරයෙන් පැහැදිලි කළේ මනුෂ්‍ය ලෝකයේ ස්වභාවයයි.

නරකයේ කොටස් එකසිය තිස් හයක් තිබෙනවා. අවීචිය වගේ තැනක ඉපදුණොත් අඩුම තරමේ කල්පයක් තරම් දුකක් විඳීන්න සිදුවන බව නුවණින් දැකිය යුතු ය. ඔබත් මමත් ඇතුළු ව මනුෂ්‍ය ලෝකයේ ජිවත්වෙනවා යැයි පවසන කෝටි හත්සියයකට ස්වල්පයකට වැඩි සියලු මනුෂ්‍යයෝත්, සදෙව් ලොව, බ්‍රහ්ම ලෝකයන්හි වාසය කරන දෙවියන් බඹුන් ඇතුළු මේ කාමාවචර බ්‍රහ්ම ලෝක වගේ ම රූපාවචර, අරූපාවචර, සියලු ම ලෝකවල සියලු ම සත්වයෝ අවීචියේ ඉපිද සංසාර ගමනේ අප්‍රමාණ දුක් විඳලා ඇති.

දුර්ලභව ලබා ගත් මනුෂ්‍ය ජීවිතයේ පරමාර්ථ ධර්මය අවබෝධ කර ගන්න. ඒ සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනත්ත ත්‍රිලක්ඛණ ධර්මයට යටත් කොට දැක සම්මුතියට මම, මගේ යැයි පරිහරණය කළත්, පරමාර්ථ වශයෙන් කර්ම සකස් නොවන තැනකට සිත සිහිය පිහිටුවා ගන්න, අපහසු වුණොත් කර්ම රැස්වීම දුර්වල වන, අඩුවන ආකාරයට සිහිය පිහිටුවා ගන්න. එයත් අපහසු වුණොත් එහි දී කර්ම විඤ්ඤාණය වැඩෙනවා. කර්ම භවය, උත්පත්තිභවය සකස් වෙනවා යැයි සඳහන් කළේ එයයි. මේ ස්වභාවයට පත් නොවී කර්ම ක්ෂය කොට දුකින් නිදහස් වීමට මේ ලබා ගත් මනුෂ්‍ය ජීවිතය අපට ඉතාම හොඳ අවස්ථාවක් වෙනවා.

“දුල්ලභංච මනුස්සත්තං“ - මනුෂ්‍ය ජිවිතය දුර්ලභය , “සුඛො බුද්ධානං උප්පාදො“ - තථාගත බුදුරජාණන් වහන්සේලාගේ උපත සුවයකි. ඒ බුද්ධෝත්පාද කාලයේ දී යි අප මේ ජිවිතය පවත්වන්නේ, එයින් ප්‍රයෝජනයක් ගත යුතුයි යන අදහස දැකිය යුතුයි. එසේ නොවන, මේ ධර්ම මනසිකාරය නොපවත්වන වැඩි පිරිසක් මොන තරම් කරුණාවෙන් පෙන්වා දුන්නත් ලබාගත් මනුෂ්‍ය ජිවිතය මොනතරම් වටිනව ද යන්න අමතක කොට දුෂ්‍ය වූ සිත්වලින් හැසිරෙනවා. සතර අපායෙන් ඔබට පෙනෙන තිරිසන් ලෝකය ගැනවත් අඩුම තරමේ දකින්න.

මනුෂ්‍ය ලෝකයේ ජනගහණය කෝටි හත්සියයකට ටිකක් වැඩි වුණත් එක කූඹි ගුලක කූඹි ප්‍රමාණය මොන තරම් ද කියා සිතා බලන්න පුළුවනි.

මනුෂ්‍යයින්ගේ ආහාර පිණිස, එළුවන්, බැටළුවන්, කුකුළන් ගවයන් වැනි මරණ සත්වයන්, ස්වභාවික ව මැරෙන සත්වයන් මොන තරම් ද? මෙය දහමත් සමඟ ගලපා, බුදුරජාණන් වහන්සේ සරණ යනවා යැයි“ බුද්ධං සරණං ගච්ඡාමි“

යනුවෙන් වචනයකට සීමා නොකොට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න.

අපට පෙනෙන මේ තිරිසන් සත්ව ලෝකයෙහි ම අපත් සංසාර ගමනේ ඉපදී දුක් විඳ, ගෙල කැපී මොනතරම් දුක් විඳීන්න ඇති ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එවැනි සතුන් බවට පත් වී ගෙල කැපෙන විට ගලා ගිය රුධිරය, සිවු මහා සාගරයේ ජල කඳට වඩා වැඩි බවයි.

උපරිම වසර සියය එකසිය විස්ස ඇතුළත සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජිවිතය කෙළවර වෙයි. එහෙත් පටිසන්ධි විඤ්ඤාණය සකස් වූ මව් කුසේ සිට වැඩෙන දස මසක කාලයේ ඕනෑ ම මොහොතක මරණය සිදුවිය හැකියි. ඕනෑම රාත්‍රියක් අවසන් රාත්‍රිය කරගෙනයි ජීවිතය පවත්වන්නේ. ඕනෑ ම හිරු උදාවක් ඕනෑම මධ්‍යහ්නයක්, ඕනෑම සන්ධ්‍යාවක් ජීවිතයේ අවසන් හුස්ම පොදට අවස්ථාවක් කරගෙන නොවේ ද මේ ජිවිතය පවත්වන්නේ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මියැදෙන මනුෂ්‍යයින්ගෙන් නැවතත් මනුෂ්‍යයන් බවට පත්වන්නේ ඉතා ම අඩු පිරිසක් බවයි. වැඩිම පිරිසක් මනුෂ්‍යයන් නොවන වෙනත් ස්ථානයන්හි වෙනත් අවස්ථාවන්හි උප්පත්තිය ලබන බවයි.

අප්‍රමාණ කාලයක් දුක් විඳලා සම්මතයේ අවුරුදු සියයක් ආයුෂ තිබෙනවා කියා සිතාගෙන හිටියත් වැඩි පිරිසක් වසර සියයක් ආයු නොලබා ජිවිතය අවසන් කර ඇති බව සිහිපත් කරන්න. එසේ සිහිපත් කරමින් මේ ජීවිතය පවත්වන අප වහ වහා ධර්ම මාර්ගයට ළංවිය යුතු ව ඇත.