Print this Article


වැරැදි දෙය නිවැරැදි ලෙස දකිනවාද? අමිහිරි ආදීනව විඳින්නට සිදුවෙයි

වැරැදි දෙය නිවැරැදි ලෙස දකිනවාද? අමිහිරි ආදීනව විඳින්නට සිදුවෙයි

අවජ්ජේ වජ්ජමතිනො
වජ්ජේ චාවජ්ජ දස්සිනො
මිච්ඡා දිට්ඨි සමාදානා
සතතා ගච්ඡන්ති දුග්ගතිං

නිවැරැදි දේ වැරැදි ලෙසත් වැරැදි දේ නිවැරැදි යහපත් ලෙසත් ගත්තෝ අපාගාමී වෙති.

සැවැත්නුවර වැසි ජනයා අතර ඇතැම් පිරිසක් තුනුරුවන් කෙරෙහි සැදැහැති ව ජීවත් වූහ. තවත් පිරිසක් නිවටුන්ගේ දහම අදහමින් කාලය ගත කළහ. මෙම දෙපාර්ශවයේ ම ළමයි පිරිස කිසිදු භේදයකින් තොරව එකට එක්ව කෙළි සෙල්ලම්වල යෙදෙමින් තම දවස ගත කරන්නට විය.

කෙළි සෙල්ලමේ යෙදෙන ඇතැම් අවස්ථාවන්හි තෙරුවන් කෙරෙහි සැදැහැයෙන් කටයුතු කරන වැසියන්ගේ දරු පිරිස තමාට යම් පිපාසයක් දැනෙන අවස්ථාවන්හි තම පිපාසය සංසිඳුවා ගැනීම පිණිස වෙහෙරට ගොඩවෙයි. නිවටුන්ගේ දහම අදහන අයගේ ළමා පිරිස කිසිදු හේතුවක් නිසා හෝ වෙහෙරට නොයයි. ඊට බලවත් හේතුව වූයේ තම වැඩිහිටියන් විසින් වෙහෙරට යාම ඔවුන්ට තහනම් කරනු ලැබ තිබීමයි.

එක්තරා දවසක ළමයි පිරිස කෙළි සෙල්ලමේ යෙදෙන අවස්ථාවක ඔවුන්ට පිපාසයක් ඇති විය. ඒ මොහොතේ තෙරුවන් කෙරෙහි සැදැහැයෙන් කටයුතු කරන වැසියන්ගේ දරු පිරිස වෙහෙරට ගොඩ වී පිපාසය සංසිඳුවා ගනිමු'යි යෝජනා කළහ. එහිදී නිවටුන්ගේ දහම අදහන පිරිසගේ එක් දරුවෙක් සඳහන් කරන්නට වූයේ අපට වෙහෙරට යාම තහනම් කොට ඇති බැවින් වෙහෙරට නොයාහැකි බවත්, ඔබලා වෙහෙරට ගොස් ප්‍රමාණවත් තරම් පැන් පානය කොට පිපාසය සංසිඳුවා අපට ද පැන් ස්වල්පයක් රැගෙන එන ලෙසත් ය.

ඒ අනුව සම්දිටු ළමුන් පිරිස වෙහෙරට ගොඩ වී තම පිපාසය සංසිඳුවා ගත්හ. ඉන්පසු තම මිතුරන් වෙනුවෙන් ද පැන් ස්වල්පයක් රැගෙන යන්නට විය. එම අවස්ථාවේ බුදුරදුන් එම ස්ථානයට වැඩමවා පැන් ගෙන යන ළමයින් අමතා දේශනා කර සිටියේ ඔබලාගේ මිතුරන්ට පිපාසය සංසිඳුවා ගැනීමට අවැසි නම් වෙහෙරට අවුත් පැන් බොන ලෙස ය.

මෙහිදී මිසදිටු අදහස් ගත් වැඩිහිටියන්ගේ ළමයි පිරිස ද වෙහෙරට විත් තමන්ගේ පිපාසය සංසිඳවීමට තරම් ප්‍රමාණවත් පැන් බී බුදුරදුන් හමුවට ගියහ. එහිදී මෙම ළමුන් කෙරෙහි තිබුණු පෙර පින් ඇති බව දැන ගත් බුදුරදුන් ඒ ළමයින්ට ඉහත සඳහන් ගාථා ධර්මය මාතෘකා කරමින් ධර්ම දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයේ ළමයින් සෝවාන් ඵලයට පත්විය.

ඉහත කතා පුවත මගින් බෞද්ධයන් වන අපට ගත හැකි ආදර්ශ අපමණ බව සිතනු මනා ය. බෞද්ධයා යන ශබ්දයේ අරුත නම් බුද්ධිමතා යන්නයි. බෞද්ධයා සැම විටම යම් කරුණක් පිළිබඳව තොරතුරු පිළිගැනීමේ දී විචාරශීලී ව, බුද්ධිමත් ව කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

බෞද්ධ දර්ශනය යනු සෑම විටම තමන් විසින්ම විමසා බලා අවබෝධ කරගත යුතු දහමකි. ධර්ම රත්නයේ ගුණ සඳහන් කරන අවස්ථාවේ දී ධර්මය සතු ෂට් ගුණාංගයන් අතරින් එකක් වශයෙන් ඒහිපස්සික යන්න හඳුන්වයි. මෙහි අරුත නම් එව බලව යන්නයි.

මෙමඟින් අපට පැහැදිලි වන්නේ බුදු දහම අප අනුගමනය කළ යුත්තේ යම් කෙනකුගේ පෙළඹවීමක්, අණ කිරීමක් හෝ වෙනයම් හෝ කිසිදු කරුණක් නිසා නොව තම තමා විසින් විමසා බලා කටයුතු කිරීමෙන් යන්නයි.

ආගම කිසිලෙසකත් පරම්පරාවෙන් පරම්පරාවට හෝ අනෙකකුගේ යම් බලපෑක් මත අරමුණු වන කරුණක් නොවේ. ඕනෑම අයකුට ඕනෑම ආගමක් දහමක් ඇදහීමේ, අනුගමනය කිරීමේ පූර්ණ නිදහස හිමිවිය යුතු ය. මෙම කථා පුවතේ දැක්වෙන අයුරින් ද මිසදිටු අදහස් ගත් ළමයින් මින් පෙර කිසිදිනෙක වෙහෙරට නොගියේ තම වැඩිහිටියන්ගේ වාරණය හේතුවෙනි.

එහෙත් බෞද්ධ දර්ශනය ආගමික නිදහස සම්බන්ධයෙන් අපමණ වූ නිදහසක් දී තිබෙන දර්ශනයකි. බුදුරදුන් වීමංසක සූත්‍රය තුළ තම ශ්‍රාවකයා අරභයා දේශනා කරන්නේ ශාස්තෘන් වහන්සේ සම්බන්ධයෙන් පවා යම් සැකයක් වේ නම් එය ද විමසා කටයුතු කරන ලෙස ය.

මීට අමතරව බුදුරදුන්ගේ කාලාම සූත්‍රය වැනි ප්‍රසිද්ධ සූත්‍ර දේශනා මඟින් ද දක්වන්නේ බෞද්ධයා සෑමවිටම තම තම නැණ පමණින් දහම අවබෝධ කරගත යුතු බවයි. අප සිදුකරන සෑම කටයුත්තකම වගකීම අප සතු වන අතර, සිදු කරන සෑම දෙයක් ම විමසා බලා කටයුතු කළ යුතු ය. වර්තමාන සමාජයේ ඇතැම් විට විවිධ පුද්ගලයන් බුදු දහමේ ඇති ආගමික නිදහස අවභාවිත කරමින් තමාගේ පටු අරමුණු ඉටුකර ගැනීමට උත්සුක වේ. තමා සිදුකරන දේ වැරැදි බව දැන දැනත් ඒ තුළින් ලැබෙන ලාභ ප්‍රයෝජන පිළිබඳ සිතමින් වැරැදි දේ නිවැරැදි ලෙසත් , නිවැරැදි දේ වැරැදි ලෙසත් ගෙන කටයුතු කිරීමට පෙළඹී තිබේ.

මේ තුළින් සිදුවන්නේ එක් පැත්තකින් තමාගේ පරිහානියත්, පොදු වශයෙන් සමාජ පරිහානියත් ය. අප සැම විටම සිතට ගත යුත්තේ අපට මෙවැනි උතුම් වූ මිනිස් දිවියක් ලැබී ඇත්තේ පෙර පින් මහිමය හේතුවෙන් බවයි. දුල්ලභංව මනුස්සත්තං යන බුදු වදන පරිදි ඉතා දුෂ්කර ව, අපහසුවෙන් අත් කරගත් මනුෂ්‍ය ජීවිතය මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්තව ගත කරන්නේ නම්, එය මහත් අපරාධයකි.

මීට සමීප දිනයක පුවත් පතක පළවූ එක්තරා පුවතක් මීට නිදසුනක් වශයෙන් දැක්වීමට අදහස් කරමි. තරමක් රෝගාතුරව පසු වූ තම දරුවාට ප්‍රතිකාර ලබාදීම වෙනුවට එම දරුවාගේ මව්පියන් විසින් විවිධ මිථ්‍යා දෘෂ්ටික අදහස් පසුපස හඹායෑම හේතුවෙන් ජීවිතය අහිමි වූ දරුවකු පිළිබඳව ය. මෙවැනි කරුණු තුළින් අපට දක්නට වන්නේ මිසදිටු බවේ ඇති ආදීනවයයි. මේ අනුව බුදුරදුන් අවධාරණය කරන්නට වන්නේ යම් අයෙක් සම්මා දිට්ඨිය පෙනි පෙනී මිථ්‍යා දිට්ඨියෙන් කල් ගෙවන්නේ නම් ඔහු මෙලොව දී ම විවිධ කටුක අත්දැකීම්වලට මුහුණ දෙනවා මෙන් ම ඒකාන්තයෙන් පරලොව දී දුගතිගාමී වන බවයි. එලෙස දුගතිගාමි නොවී කටයුතු කිරීමට අවැසි නම් හැකි සෑම විටම වැරැදි දේ වැරැදි ලෙසත් , නිවැරැදි දේ නිවැරැදි ලෙසත් දැන, දැක කටයුතු කිරීම වඩා යහපත් ය. එබඳු පුද්ගලයන් හට සසර තුළ දුගතිගාමී නොවී සුගතිගාමී වීමේ හැකියාව පවති.