Print this Article


ශ්‍රද්ධාවන්ත සිත ප්‍රසන්නය කැලඹීම් රහිත ය

ශ්‍රද්ධාවන්ත සිත ප්‍රසන්නය කැලඹීම් රහිත ය

බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව යනු ගිහි– පැවිදි ශ්‍රාවකයන් විසින් ඇති කරගත යුතු උතුම් සම්පත්තියකි. සප්ත ආර්ය ධනයට අයත් මුල්ම ආර්ය ධනය ද ශ්‍රද්ධාව යි. එමෙන්ම පිහිටා සිටින දේ අතර අග්‍ර වන්නේ ද ශ්‍රද්ධාවේ පිහිටා සිටීම බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. සසර සැඩ පහරින් එතෙර වන්නේ ශ්‍රද්ධාව නිසා බව ආළවක සූත්‍රයේ දී වදාළ සේක. නගරූපම නම් සූත්‍ර දේශනාවේ දී, ධර්ම රාජ්‍යයක් ගොඩනඟා ගන්නා ශ්‍රාවකයා ශ්‍රද්ධාව මනාකොට තමා තුළ පිහිටුවා ගත යුතු බව පෙන්වා දුන් සේක. එවිට අකුසල් දුරුකොට, කුසල් වඩමින් පිරිසුදු ජීවිතයක් ගත කළ හැකි බව තවදුරටත් පහදා දුන් සේක. ශ්‍රද්ධාව සේඛ බලයක් මෙන් ම ඉන්ද්‍රිය ධර්මයක් ද වේ.

ශ්‍රද්ධාව යනු කුමක් ද?

ශ්‍රද්ධාව යනු කුමක්දැයි භාග්‍යවතුන් වහන්සේ විසින්ම මෙසේ පැහැදිලි කළ සේක. ශ්‍රද්ධාව යනු භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවබෝධය ගැන සිත පහදවා ගැනීම හෙවත් සම්බුදු ගුණ අදහා ගැනීමයි. (සද්ධෝ හෝති, සද්දහති තථාගතස්ස බෝධි)

* භාග්‍යවතුන් වහන්සේ රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කොට නිකෙලෙස් හද මඬලක් දරා වැඩිසිටි හෙයින් අරහං වන සේක.

* ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ වන සේක.

* උතුම් අවබෝධයට අනුව ම හැසිරෙන, විද්‍යාවන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන් යුක්ත වන නිසා විජ්ජාචරණ සම්පන්න වන සේක.

* සුන්දර නිවන් මඟ වැඩමකොට පරම සුන්දර වූ නිවන සාක්ෂාත් කළ නිසා සුගත වන සේක.

* සියලු ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ නිසා ලෝකවිදූ වන සේක.

* දෙවි මිනිසුන් දහමට කීකරු කරවන අමා නිවනට පමුණුවාලීමේ හැකියාවෙන් අග්‍ර නිසා අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක.

* දෙවි මිනිසුන්ට නිවන් මඟ පෙන්වා දෙන එකම ශාස්තෘන් වහන්සේ වන නිසා සත්ථා - දේවමනුස්සානං වන සේක.

* චතුරාර්ය සත්‍යය ධර්මය අන් අයට ද අවබෝධවීම පිණිස මනාකොට පෙන්වා දෙන හෙයින් බුද්ධ වන සේක.

* මේ සියලු සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත නිසා භගවා වන සේක,

යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවබෝධය ගැන ගුණ වශයෙන් හඳුනාගෙන ඇතිකර ගන්නා චිත්තප්‍රසාදය ශ්‍රද්ධාව යි.

එම ශ්‍රද්ධා ලාභය කෙනකුගේ ජීවිතයට ලැබෙන දේ් අතර අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ ලාභය බව අනුත්තරීය සූත්‍රයේ සඳහන් වෙනවා. යම් කෙනකු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, අග්‍ර වූ උත්තමයාටයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු අයට අග්‍ර වූ විපාක ලැබෙනවා. (ඒ භික්ඛවේ බුද්ධේ පසන්නං අග්ගේ තේ පසන්නං අග්ගේ ඛෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති)

ශ්‍රද්ධාව ගැන විවරණයක්

ශ්‍රද්ධාව ගැන සුන්දර විවරණයක් නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රජතුමාට මෙසේ පහදා දී තිබේ.

මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, පැහැදීමෙන් යුතුව ධර්මය ගැන උනන්දු වන ශ්‍රද්ධාව ඇති වන්නේ කෙසේද?”

‘එම්බා මිත්‍රය, පැන් අරගෙන එන්න. පානය කරන්නෙමි’යි කියයි, සක්විති රජතුමා ළඟ ඇති උදකප්‍රසාද මාණික්‍යය දෙනු ඇත. ඉක්බිති ඒ මිනිස්සු ‘එසේය දේවයනි, කියා සක්විති රජුට පිළිතුරු දී අර උදකප්‍රසාද මාණික්‍ය ජලයේ දමති. එය දියෙහි දැමූ සැණින් ජලයේ තිබූ දිය සෙවෙල ආදිය බැහැර වෙයි. මඩ ආදිය යටට බසියි. වතුර ටික ඉතා යහපත් ව, ප්‍රසන්න ව , නොකැළඹී පවතී. සක්විති රජුට එයින් පැන් රැගෙන ගොස්, ‘දේවයන් වහන්ස, පැන් වළඳන්න’ කියා දෙති.

මහ රජාණෙනි, යම් සේ ජලය ඇද්ද, ඒ අයුරින් සිත ගැන දැනගත යුත්තේ ය. යම් සේ ඒ මිනිස්සු සිටිත් ද, ඒ අයුරින් යෝගාවචරයා ගැන දැනගත යුත්තේ ය. දිය සෙවෙල, මඩ ආදිය ඇද්ද, කෙලෙස් ගැන දැන ගත යුත්තේ එලෙසින් ය. උදකප්‍රසාද මාණික්‍යය යම් සේ ද, ශ්‍රද්ධාව දත යුත්තේ එසේ ය. උදකප්‍රසාද මාණික්‍යය ජලයෙහි දැමූ විට දිය සෙවෙල් ආදිය පහව යන්නේ යම් සේ ද, මඩ යටට බසින්නේ යම් සේ ද, වතුර ටික ඉතා යහපත් ව, ප්‍රසන්න ව, නොකැළඹී තිබෙන්නේ යම් සේ ද, මහරජාණෙනි, ඒ අයුරින් ම ශ්‍රද්ධාව උපදිනවිට නීවරණ යටපත් වෙයි. නීවරණ රහිත සිත ඉතා යහපත් ය. ඉතා ප්‍රසන්න ය. කැළඹීම් රහිත ය. මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත ශ්‍රද්ධාව දත යුත්තේ ඔය අයුරිනි.

“මහරජාණෙනි, යෝගාවචර තෙමේ අන්‍ය වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සේවාන්, සකෘදාගාමී , අනාගාමී, අරහත් ආදි ඵලයන්ට පත්ව කෙලෙසුන්ගෙන් නිදහස් වූ සිතින් සිටිනු දැක ධර්මයේ හැසිරෙන්නට උනන්දු වෙයි. නොපැමිණි අවබෝධයන්ට පැමිණීම පිණිසත්, නොලත් අධිගමයන් ලැබීම පිණිසත්, සාක්ෂාත් නොකළ මඟඵල සාක්ෂාත් කිරීම පිණිසත් විරිය වඩයි. මහරජාණෙනි, පැහැදීමෙන් යුතුව ධර්මය ගැන උනන්දු වන ශ්‍රද්ධාව යනු මෙයයි.”

සැඩපහරින් එතෙරවීම

“මහරජාණෙනි, කඳු මුදුනට ධාරාණිපාත වර්ෂාවක් වසියි. ඒ වැටෙන ජල කඳ බෑවුම් ඔස්සේ ගලා එමින් කන්දේ දිය ඇලි, උල්පත්, ජල මාර්ග පිරෙමින් ඇවිත් නදිය පිරෙයි. ඒ ජලය නදියේ ඉවුරු දෙපස පිරෙමින් ගලා බසියි. එවිට මහජනයා පැමිණ වේගයෙන් ගැඹුරට ගලා බසින ජලයට බියපත් ව, එතෙර වනු නොහැකි ව ගං ඉවුරට ඈතින් බලා සිටිති. ඔය අතරේ එක්තරා පුරුෂයකු පැමිණෙයි. ඔහු ධෛර්ය සම්පන්න කෙනෙකි. බලසම්පන්න කෙනෙකි. තමන් හොඳින් වටපිට බලා කැහැපොට ගසා දැඩිකොට බැස නදිය තරණය කරයි.

ඔහු තරණය කළ අයුරු දැක මහජනයාත් බියෙන් තොරව එතෙර වෙති.

මහරජාණෙනි, ඔය අයුරුම යි. ධර්මයේ හැසිරෙන කෙනා සෝවාන්, සකදාගාමී , අනාගාමී, අරහත් ආදි මඟඵලයන්ට පත්වූ උතුමන් කෙලෙසුන්ගෙන් නිදහස් වූ සිතින් වසන අයුරු දැක පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරීමට බලවත්ව උනන්දු වෙයි. නොලැබූ මඟඵල ලබා ගැනීම පිණිසත්, නොලත් අධිගම ලැබීම පිණිසත්, අත්නොදුටු නිවන අත්දැකීම පිණිසත් විරිය වඩයි.

මහරජාණෙනි, පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරෙන්නට ඇතිවන උනන්දුව වනාහී ශ්‍රද්ධාවයි. මහරජාණෙනි , අප භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය වදාළ තැනක් උතුම් සංයුත්ත නිකායෙහි තිබේ.

සද්ධායං කරති ඕඝං
අප්පමාදේන අණ්ණවං
විරියේන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති

සසර සැඩපහරින් එතෙර වන්නේ ශ්‍රද්ධාව නිසා ය. සසර සයුර තරණය කරන්නේ අප්‍රමාදීව කටයුතු කිරීම නිසා ය. දුක ඉක්මවා යන්නේ විරිය නිසා ය. පාරිශුද්ධත්වයට පත්වන්නේ ප්‍රඥාව නිසා ය.