Print this Article


බොදු සංස්කෘතියේ අභිමානවත් පෙළහර: කොළඹ නවම් මහා පෙරහර

බොදු සංස්කෘතියේ අභිමානවත් පෙළහර: කොළඹ නවම් මහා පෙරහර


ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ

නවම් මගේ උදාවත් සමඟ අපගේ මතකයට නැඟෙන එක් සුවිශේෂ කරුණක් වේ. ඒ කොළඹ නගරයට ආලෝකයක්, අභිමානයක් ගෙන එමින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන කොළඹ නවම් මහා පෙරහර පිළිබඳව යි.

කොළඹ ගංගාරාම විහාරය මඟින් සංවිධානය කරනු ලබන කොළඹ නවම් මහ පෙරහර මේ මස 15 සහ 16 දිනයන්හි රාත්‍රී 7.00 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එය 43 වැනි වරට මෙවර ද සියලු සෞඛ්‍ය ආරක්ෂක විධි විධානයන්ට අනුකූලව මහජන සහභාගිත්වයෙන් තොරව වීදි සංචාරය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹ ගංගාරාමය කී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ද, උන්වහන්සේගේ නම කී පමණින් ගංගාරාමය ද සමඟ නවම් මහා පෙරහර ද දෙස් විදෙස් සැදැහැවතුන්ට අමතක කළ නොහැකි ය. ගංගාරාමයේ නවම් මහ පෙරහර කොළොම්තොටට අලංකාරයක් එක්කරන මහා සංස්කෘතික දායාදයකි. අතීතයට, වර්තමානයට සේ ම අනාගත පරපුරට ද ඒ වටිනාකම්වල අගය මිල කළ නොහැකි ය.

ගංගාරාමයේ නවම් මහා පෙරහරේ නිර්මාතෘන් වහන්සේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ය. ඒ ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ ය. ගංගාරාමය යම් අභිවෘද්ධියක් දියුණුවක් ලබා ඇතිනම් ඒ පොඩි හාමුදුරුවන්ගේ උත්සාහ ය, කැපකිරීම මෙන්ම අධිෂ්ඨානශීලිබවේ ප්‍රතිඵලයකි. උන්වහන්සේගේ මනසෙහි ඇඳි මෙම උදාර අදහස මල්පල ගැන්වෙමින් කොළඹ නවම් මහා පෙරහර ආරම්භ විය.

කොළඹ නවම් මහා පෙරහර තුනුරුවන් උදෙසා පවත්වනු ලබන පූජෝපහාරයක් වේ. මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව වැඩම කරවීමත්, බුදුරජාණන් වහන්සේ ගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය සිහිකොට සදහම් පුස්තක වැඩම කරවීමත් සුවිශේෂි කරුණු අතර වේ.

පෙරහර නරඹන්නන්ගේ නෙත් සිත් පහන් කරවීම පෙරහර පුරාම සිදුවන්නකි. එමෙන්ම පෙරහර පැවැත්වීම දේශීය පෙරහර සංස්කෘතිය, කලාව, සංවර්ධනයට හා පෝෂණයට මහත් උපකාරයක් වේ. අපගේ අතීත සංස්කෘතික අනන්‍යතාවය මෙය යැයි ලොවට විදහා දැක්වීමට ද මේ සුවිශේෂි අවස්ථාවකි.

උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායයන්ට අයත් විවිධ සංස්කෘතිකාංග විවිධ නර්තන සම්ප්‍රදායන්ට අයත් කලාකරුවන් දහස් ගණන් සහභාගීත්වයෙන් අලි ඇතුන් විශාල පිරිසක් සමඟ පැවැත්වෙන කොළඹ නවම් මහ පෙරහර කොළඹ නගරයට පමණක් නොව අපේ මුළු රටට ම ආශිර්වාදයකි.

ලෝකයේ පවතින වසංගත තත්ත්වය හමුවේ අප රටද නොයෙක් සීමා පනවා ඇති කාලයක දී පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරමින් සිරිත් විරිත් මතු අනාගතයට උරුමකර දීම උදෙසා ජනතා සහභාගිත්වයෙන් තොරව වුවද ඉතාමත් අලංකාරව, විචිත්‍රව, ගෞරවණීය ආකාරයට මෙවර ද පෙරහර පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර තිබීම ආඩම්බරයට කරුණකි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව පැවැත්වෙන පෙරහර ඔබටත් නිවසේ සිට සජිවීව රූපවාහිනිය ඔස්සේ නැරඹීමට අවස්ථාව උදාකර ඇත. සියලු ජාතීන් සහ ආගමිකයින් එකට එක්ව නරඹන අගනුවර පෙරහරක පෙළහර වූ නවම් මහා පෙරහරට අප ද ශුභාශිංසන එක් කරමු.

එසේම නවම් මහා පෙරහරට අමතරව ගංගාරාමයේ සුවිසල් මෙහෙවර විවිධ අංශ වෙත ව්‍යාප්ත කොට ඇත. ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේගේ උත්සාහය, කැපවීම හා අප්‍රතිහත ධෛර්යය නිසාය. නිහඩව නමුත් ඉතාමත් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටු කරනු ලැබූ ගංගාරමයේ පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක්, නිරෝගී චිරජීවනය ලැබේවා'යි ප්‍රාර්ථනා කිරීමට ද මේ පින්බර මොහොත වෙසෙස් අවස්ථාවක් කර ගනිමු.