Print this Article


සෙන් කතා ගති සොබා

සෙන් කතා

ගති සොබා

එක් දිනක් සෙන් භික්ෂූන් වහන්සේලා දෙනමක් ගංගාවකට බැස තම පාත්තර සෝදමින් සිටියහ. ගැඹුරු ගං දියට වැටී ගිලෙන්නට ආසන්න වූ ගෝනුස්සකු සිටිනු ඔවුහු දුටුවහ. එක් භික්ෂුවක් වහාම ක්‍රියාත්මක වී දියට පහත් වී ගෝනුස්සා රැගෙන ගං ඉවුරෙන් තැබුවේ ය. එවිට කිපුණු ගෝනුස්සා‍ එම භික්ෂුවගේ අතට දෂ්ට කළේ ය. එය නොතැකූ එම භික්ෂුව නැවතත් තම පාත්තරය සේදීම සඳහා ගං දියට බැස්සේ ය. ටික වේලාවකින් ගෝනුස්සා නැවතත් ගං දියට වැටී දියෙහි ගිලෙන්නට විය. එම භික්ෂුව නැවතත් ගෝනුස්සා රැගෙන ගං ඉවුරෙහි තැබුවේ ය. පෙර පරිදිම ගෝනුස්සා භික්ෂුවගේ අතට දෂ්ට කළේ ය. මේ දෙස බලා සිටි අනෙක් භික්ෂුව මෙසේ ඇසුවේ ය.

"ඔබ වහන්සේ ඇයි මේ නපුරු ගෝනුස්සාගේ ගති සොබා වැටහිලත් ආයෙමත් ගෝනුස්සාගේ ජීවිතය බේරුවේ? බලන්න මේ කළගුණ නොදත් ගෝනුස්සා ඔබ වහන්සේට දෙවතාවක්ම දෂ්ට කළා නේද?"

එවිට පළමු භික්ෂුව සිනා සී මෙසේ පිළිතුරු දුන්නේ ය.

"එයට හේතුව තමයි එම සතාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීම මගේ සොබාවය වීම"