Print this Article


ලේඛන කලාවත් මුද්‍රණ කලාවත් රැක ගැනීම සමාජ වගකීමක්

ලේඛන කලාවත් මුද්‍රණ කලාවත් රැක ගැනීම සමාජ වගකීමක්

දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා

සිරිසුමන ගොඩගේ ඔහුගේ සම්පූර්ණ නමයි. 1936 මැයි මාසයේ මෙලොව එළිය දුටු මේ පින්වත් දරුවා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව කියන ගමේ හැදී වැඩුණා.

සාමාන්‍ය පවුලක උපන් ඔහු සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියා යි. මේ මුළු පවුල ම ජීවත් කිරීමට පියා කළේ අඳ ගොවිතැන යි. ගමේ ද්විතීයික පාසලක් වූ පාලටුවේ ගුණරතන මහා විදුහලෙන් තම අධ්‍යාපනය සම්පූර්ණ කළා. ඔහු තම පියාගේ ආර්ථික ප්‍රශ්න මැනවින් වටහාගෙනයි සිටියේ.

ආර්ථීක ප්‍රශ්න කරපින්නාගෙන තවදුරටත් අධ්‍යාපනය හැදෑරීමට ඔහු මැළිවූ නිසා තවත් මිතුරන් කිහිප දෙනකු සමඟ ආර්ථික ප්‍රශ්නවලින් බේරෙන්න ක්‍රමයක් සිතන්නට වුණා. අනාගතය සාර්ථක කර ගන්නට කොළඹට යමුයි එක් මිතුරෙක් යෝජනා කළා. මව්පියන්ට රහසේ පාලටුව ගම අතහැරලා ඔවුන් කොළඹ බලා පිටත් වුණා. එවිට ගොඩගේ දරුවාගේ වයස අවුරුදු 15 ක් වූවා පමණ යි. එදා ඔවුන් කොළඹට නෑවිත් කළුතර නතර වූවා.

ගොඩගේ තරුණයා මුල් ම රැකියාව සඳහා බත් කඩයක අත්උදව්කරුවකු ලෙස සේවයට බැඳුණා. මුළු දවසේ ම වැඩ කරන්නට සිදු වූ නිසා ඔහු බොහෝ වෙහෙසට පත් වුණා. මාසයකට පසුව නැවත ඔහු පාලටුව ගමට ගියා. ටික කලක් නිවසේ සිටියත් ඔහුට එය අසීරු කරුණක් වුණා. මව්පියන්ට බරක් වීමට නොසිතූ මේ තරුණයා නැවත වරක් ගමෙන් පිටත් ව කොළඹ රැකියාවක් සොයා පැමිණියා.

ඒ වනවිට දෛවය ඔහුට නිසි මඟ පෙන්වමින් තිබුණා. ඔහු පිළියන්දල පදිංචිව සිටි තම බාප්පා බැලීමට ගිය දිනෙක බාප්පා ඔහුව කුරේ සමාගමට හඳුන්වා දුන්නා. එහිදී මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළ බොහෝ දේ ඉගෙනගැනීමට අවස්ථාව ලැබුණා. කාලයක් ගත වෙද්දී ඔහු පොත් බඳින්නකු ලෙස සේවය කළත් හදිසියේ ඔහුට රැකියාව අහිමි වුණා.

ඉන්පසු 1957 දී තවත් අයකු සමඟ ගොඩගේ තරුණයා හවුල් ව්‍යාපාරයක් ඇරැඹුවා. කුඩා කඩයක් කුලියට ගෙන ව්‍යාපාරය කරගෙන ගියා. ව්‍යාපාරය අසල පිහිටි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් පොත්පත් ගෙනැවිත් බැඳීමට පටන් ගත්තා. ටිකෙන් ටික එම ව්‍යාපාරය සාර්ථක වුණා. මාළිගාකන්ද නායක හාමුදුරුවන්ගේ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ ආශ්‍රය නිසා ගොඩගේ තරුණයා බුදුදහම වෙත සමීප වූවා.

ව්‍යාපාරය සාර්ථක වෙද්දී තවත් තිදෙනෙක් සේවයට බඳවා ගත්තා. ඔහු ඒ වන විට පොත් බැඳීමටත්, පොත් විකිණීමටත් , පුස්තකාලවලට පොත් සැපයීමත් සිදු කළා. 1970 වර්ෂයේ දී ගොඩගේ මහතා මරදානට ආවා. අදටත් ඔහු තම ව්‍යාපාරය කරන්නේ ඒ ස්ථානයේ යි. ඒ වන විට පොත් ඉල්ලුම වැඩි වූ නිසා ඔහු පොත් ප්‍රකාශනය ආරම්භ කළා.

ඔහු මුලින්ම මුද්‍රණය කළේ ළමා පොතක්. පසුව ඔහු විවිධ ලේඛකයින්ගේ අත් පිටපත් ලබාගෙන පොත් මුද්‍රණය ඇරඹූ අතර , මේ වන විට එම සමාගම විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ පොත් මුද්‍රණකරුවන් අතර සිරිසුමන ගොඩගේ මහතා ඉදිරියෙන් සිටිනවා. මේ වන විට ජීවිතයේ සැඳෑ සමය සුවසේ ගෙවන ඒ මහතා තවමත් මරදානේ පොත් මැදුරේ පියගැට පෙළ නඟින්නට පියවර තබනවා.

රාජ්‍ය සම්මාන ඉතිහාසයේ විශේෂ වාර්තාවක් පිහිටුවීමට ගොඩගේ ආයතනයට මේ වන විට හැකි වී තිබෙනවා. ප්‍රකාශන ආයතනයක් ලෙස අවුරුදු 38 තිස්සේ අඛණ්ඩව ම ඔවුන් මෙම සම්මාන දිනාගෙන තිබෙනවා. 2022 වර්ෂයේ පැවති රාජ්‍ය සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී ගොඩගේ ආයතනය සම්මාන පහකින් පිදුම් ලැබුවා. ලංකාව තුළ භාෂා තුනෙන් ම කෘති ප්‍රකාශයට පත්කරන ආයතනයක් ලෙස ගොඩගේ පොත් මැදුර ඉදිරියෙන් සිටිනවා. එමෙන් ම දෙමළ සහ ඉංගී‍්‍රසි බසින් මුද්‍රිත කෘති සඳහා ද එම ආයතනය රාජ්‍ය සම්මාන ලබා තිබෙනවා.

වසර 23 ක් අඛණ්ඩව ජාතික සාහිත්‍ය සම්මාන උළෙලක් හඳුන්වා දුන් ඔවුන් අත්පිටපත් තරගයක් පවත්වනු ලබනවා. එය 08 වැනි වතාවට මෙම වසරේ පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ .

ඒ සඳහා ලංකාවේ විසිරී සිටින සියලුම ආධුනික ලේඛකයන් සහ ප්‍රවීණත්වයට පත් වෙමින් සිටින පිරිස පිටපත් ඉදිරිපත් කරනු ලබන අතර, මෙම වර්ෂයේදීත් එය ක්‍රියාත්මක වීමට නියමිත යි.

සිංහල සාහිත්‍යය සහ ගොඩගේ ආයතනය එකට බද්ධ වී ඇති බව ඔවුන්ගේ අදහස යි. සාහිත්‍ය හා විමර්ශන කෘති රැකගැනීම උදෙසා මූල්‍යමය වාසියක් ගැන නොසිතා කටයුතු කිරීමට ගොඩගේ ආයතනය කටයුතු කරනු ලබනවා. එනිසා සාහිත්‍ය ප්‍රවර්ධනයට පමණක් නොව අධ්‍යාපනික කාර්යයන් සඳහා වටිනා කෘති ඉදිරිපත් කිරීමට ද ඔවුන් උත්සුක වෙනවා. ගොඩගේ මැදුරේ සියලුම ආකාරයේ පොතපත පාඨකයාට ලබා ගැනීමට ඉඩ හසර සලසා තිබෙන අතර ලංකාවේ සම්මානයට පාත්‍රවන බොහෝ කෘති ගොඩගේ ආයතනයෙන් ලබාගත හැකි බව ඔවුන් පවසන්නේ නිහතමානී ආඩම්බරයකින්.

එමෙන්ම බෞද්ධ පොතපත සංරක්ෂණයට ඔවුන් තුළ තිබෙන්නේ දැඩි කැමැත්තක්. ලංකාවේ වියත් යතිවරයන් වහන්සේලා විසින් රචිත බෞද්ධ ධර්ම ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මෙම ආයතනයෙන් ද ලබා ගැනීමට හැකි අතර, මතු පරපුරට එවැනි පොත් දායාද කිරීම සිදු කරනු ලබනවා. ඒවගේම කිසිදු ලාභාපේක්ෂාවක් රහිතව ගොඩගේ ආයතනය විසින් කළ මැදිහත්වීමක් ලෙස ඔවුන් හඳුන්වනු ලබන්නේ පැරැණි සිංහල බෞද්ධ පොතපත යළිත් මුද්‍රණය කිරීම යි. එය විශාල ව්‍යාපෘතියක්. වෙනත් ප්‍රකාශකයෙක් විසින් ප්‍රකාශයට පත් නොකළ ග්‍රන්ථ සහ පුස්කොළ පොත්වලින් ගත් කරුණු නැවත සංරක්ෂණය වන පරිදි මුද්‍රණය කරනු ලැබීම සමාජ වගකීමක් ඉටු කිරීම සඳහා ඔවුන් ගත් වෑයමක් බවයි සඳහන් කරන්නේ.