Print this Article


පරිසරය රැකගෙන ජීවිතය රැකගන්න

පරිසරය රැකගෙන ජීවිතය රැකගන්න

පින්වත් දුවේ පුතේ, අපිත් පරිසරයේ ම කොටස් කරුවෝ වෙමු. පරිසර ජීවීන් වෙමු. මිනිසා හා පරිසරය දෙකක් ලෙස නොව එකක් ලෙස සිතිය යුතු ය. ගසට පොත්තත් , පොත්තට ගසත් එකට බැඳී පවතී. ගසට පොත්ත නැතිව පැවැතිය නොහැකි ය. පොත්ත නැති විට ගස මැරී යයි. එසේ ම පොත්තට ගස නැතිව පැවතිය නොහැකි ය. එසේ ම අපට පරිසරය නොමැතිව ජීවත් විය නොහැකි ය.

පරිසරය පිළිබඳ ව කතා කිරීමේ දී බුදු හාමුදුරුවෝ අපට කුමක් ද දේශනා කොට තිබෙන්නේ? බුදුරජාණන් වහන්සේ තරම් පරිසරයත් එහි ඇති වැදගත්කමත් , එය සුරැකීමත් පිළිබඳව, ලොවට කරුණු පහදා දෙමින් ක්‍රියා කළ, වෙනත් ආගමික නායකයෙකු ලොව පහළ වී නැත.

අප බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය ද පරිසරය හා බැඳීි පවතී. උන්වහන්සේ ගසක් යට ඉපිද, ගසක් යට දී ලොව්තුරා සම්බුද්ධත්වයට පත් ව, ගසක් යට දී පිරිනිවන් පෑහ. බුද්ධ තෙමඟුල සිදු වුයේ ස්වභාවික පරිසරය ඇසුරු කරමිනි. උන්වහන්සේ තුරු ලිය, වන පෙත්, ඇළ දොළ ගංගා, මහ මුහුද, අව්ව, වැස්ස, සුළඟ, ගම්, නියම්ගම් ආදී පාරිසරික අංග ඇසුරු කරමින් ජීවිතය ගෙවූහ.

අපගේ උත්පත්තිය සාමාන්‍යයෙන් සිදු වන්නේ අප විසින් ඉදි කරන ලද රෝහලක හෝ නිවසක යන ස්ථානයක ය. සොබා සෞන්දර්යයෙන් අනූන පරිසරයක දරු උපතක් සිදු වීම හෝ එවන් තත්ත්වයක් යටතේ දරුවකුගේ උපත සිදු වීම ඉතා විරල ය. සිදුහත් කුමරුගේ උත්පත්තියත් එවන් විරල වැදගත්කමක් සහිත එකකි. මහාමායා දේවිය තම කුළුඳුල් දරු උපත සඳහා කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවරට යන ගමනේ දී වෙහෙස නිවා ගැනීමටත්, පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමටත් ලුම්බිණි සල් උයනේ මොහොතක් නතර වූ අවස්ථාවේ සිදුහත් කුමරුගේ උපත සිදු විය. කුරුලු කූජනයෙන් දෙසවන් පිනවන, මල් සුගන්ධයෙන් වෑහුණු, සුපිරිසුදු සුළං ධාරාවන්ගෙන් පිරී ගිය සොබා ශ්‍රීයෙන් අනූන ලුම්බිණි සල් උයනේ දී වෙසක් පුර පසළොස්වක පොහොය දිනක උත්පත්තිය ලැබීමට තරම් සිදුහත් කුමරා වාසනාවන්ත විය.

කුමාර අවධියේ සිට ගිහිගෙය අතහැර යෑම තෙක් ගත කළ ජීවිතය ද පරිසරය සහ සතා සීපාවා ආශ්‍රයේ ඔවුනට ආදරයෙන් ගත කොට ඇති බව සිදුහත් චරිතය පිළිබඳව හැදෑරීමේ දී පෙනී යයි. සිද්ධාර්ථ කුමාරයාට ක්‍රීඩා කිරීම සඳහා ගස් වැල්වලින් සහ වන සතුන්ගෙන් පිරි උද්‍යාන තිබී ඇත. සිදුහත් කුමාරයා කුඩා කල පටන් ම සතුන්ට ආදරය කළේ ය. දිනක් සිසුන් සමඟ ක්‍රිඩා පිටියේ දුනු විදීිම පුහුණු වෙමින් සිටින අතර දේවදත්ත කුමාරයා අහසේ ඉගිලෙන හංසයකුට ඊතලයකින් විද්දේ ය. ඊතලය වැදුණු හංසයා කෑගසාගෙන බිම වැටෙන විට දිව ගිය සිදුහත් කුමරු හංසයා රැගෙන ඊතලය ඉවත් කර බෙහෙත් දමා සුවපත් කිරීමට උත්සාහ දැරීය. මෙහි දී දෙව්දත් කුමාරයා හංසයා අයිති තමාට යැයි කියා රණ්ඩු කළේ ය. අවසානයේ දී දෙදෙනා මෙම රණ්ඩුව විසඳා ගැනීම සඳහා ගුරුවරයා වෙත ගිය හ.

එහි දී දෙව්දත් කුමාරයා ප්‍රකාශ කළේ අහසේ ඉගිලෙන හංසයා ඊතලයෙන් විද්දේ තමා නිසා හංසයා තමාට අයිති බවයි. එහෙත් සිදුහත් කුමාරයා ප්‍රකාශ කර සිටියේ මිය යෑමට සිටි හංසයාව බෙහෙත් දමා සුවපත් කර ජීවිතය බේරා ගත්තේ තමා නිසා තමාට හංසයා අයිති බවයි.

අවසානයේ දී ගුරුවරයා ප්‍රකාශ කර සිටියේ හංසයා අයිති විය යුත්තේ මැරීමට තැත්කළ කෙනාට නොව අහිංසක සත්ත්වයාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට කටයුතු කළ තැනැත්තාට බවයි. ඒ අනුව සිදුහත් කුමරුට හංසයා හිමි විය. එයින් පෙනී යන්නේ ද අප හා අවට සිටින සතුන්ට හිංසා කිරීමට හෝ එම සතුන්ගේ ජීවිත විනාශ කිරීමට අපට අයිතියක් නැත. අප කළ යුත්තේ සතා සිව්පාවා ආරක්‍ෂා කිරීමයි.

වයස අවුරුදු විසි නවයේ දී රම්‍ය, සුරම්‍ය, සුබ යන වටිනා මාළිගා හැර දමා අභිණිෂ්ක්‍රමණය කළ සිදුහත් රජතුමා නේරංජනා ගංගාවෙන් එතරව වසර තිස් පහ වන තෙක් පරිසරය ඇසුරුකරමින් වනගත ව භාවනානුයෝගීව ජීවිතය ගත කළ හ. මේ කාලය පුරාවට ගස්වලින් ලැබුණු පලවැල ආහාරයට ගෙන ස්වභාවික පරිසරයේ පහස විඳීමින් ගස් යට සැතැපෙමින් ජීවිකාව ගෙවූ හ. බුද්ධගයාවේ දී ඇසතු බෝධි මූලයේ දී සම්බුදු පදවිය ලැබූ උන්වහන්සේ කොතරම් වෙහෙර විහාර තිබුණත් බොහෝවිට පරිසරය ඇසුරු කරමින් කටයුතු කළ බව බුද්ධ චරිතය පිළිබඳ විමසීමේ දී පෙනී යයි.

බුදුරජාණන් වහන්සේ තම ජීවිතය අවසාන කිරීමට තෝරාගන්නේ ද සල් උයනකි. ඒ ලිච්ඡවි රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනයි. රහතන් වහන්සේලාට භාවනා කිරීමට උපදෙස් දුන්නේ ද “අරඤ්ඤගතො වා, රුක්ඛ මූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝ වා” යනුවෙනි. භාවනා කරන භික්‍ෂූන් වහන්සේ තෝරාගත යුතු ස්ථාන තුනකි. එනම් කැලයක්, ගසක් මුල හෝ හිස් ගෙයක් යන ස්ථාන තුනයි. ඒ අපගේ හිත එකඟ කර ගැනීමට වඩාත් ම පහසු ස්ථාන නිසයි. භාවනා කරන අයට මෙන් ම පාඩම් කරන දුවල පුතාලට වුව ද ඝෝෂාකාරී පරිසරයක හිත එකඟ කරගෙන සිය කටයුතු සිදු කිරීමට හැකියාවක් නැත. මතක හිටින්නේ ද නැත. ඝෝෂාකාරී පරිසරයක අධ්‍යාපන කටයුතු මනාව සිදුකළ නොහැකි ය. එනිසා ඝෝෂාකාරී පරිසරයෙන් ඈත්වීමට උත්සාහ ගන්නවා සේ ම පරිසරයේ ඝෝෂාකාරීත්වය නැති කිරීම පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතු ය. මන් ද? පරිසරයේ ඝෝෂාකාරීත්වය ඇති කරන්නේ ද අප විසින් ම ය.