Print this Article


‘‘පැන් තලියක් ගෙන එන්න මැණික ගෙනැවිත් දෙන්නම්”

‘‘පැන් තලියක් ගෙන එන්න මැණික ගෙනැවිත් දෙන්නම්”

මියුලු නුවර රාජ්‍ය ශ්‍රී විඳින වේදේහ රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට පණ්ඩිතවරු හතර දෙනෙක් හිටියා.

සේනක නම් පණ්ඩිතයා රජතුමාගේ අග්‍ර පුරෝහිත යි. ඔහුගේ සහායට පුක්කුසල, කාවින්ද, දේවින්ද නමින් තවත් පණ්ඩිතවරු තිදෙනෙක් හිටියා.

දිනක් රාජ උද්‍යානයේ උයන්පල්ලා රජු වෙත පැමිණ "ස්වාමිනි, අද උදේ උද්‍යානයේ රාජකීය පොකුණ පිරිසුදු කිරීමට ගියා. පොකුණේ නිල්වන් මැණිකක් තියනවා දුටුවා. ඒක ගැනීමට නම් නොහැකි යි. ස්වාමිනි ඔබ වහන්සේ එහි වැඩම කර අවශ්‍ය කටයුතු යොදා එය ගන්නේ නම් මැනවැ”යි සේවකයා යටහත් පහත් ලෙස රජුට ප්‍රකාශ කළා. රජතුමාට කිසියම් පැනයක් ඇති වූ විට වැඩිමහල් පිළිවෙළින් පණ්ඩිතවරුන්ට ප්‍රශ්නය යොමු කිරීම සිරිතක්.

සේනක පණ්ඩිතයන් වෙතට හැරී " සේනක පණ්ඩිතයෙනි, උද්‍යානයේ පොකුණේ මැණිකක් තිබෙන්නේලු. එය ගැනීමට හැකිදැ"යි විමසා සිටියා.

එකල්හි රජතුමාට පිළිතුරු දෙමින් සේනක පණ්ඩිතයෝ " එසේය ස්වාමිනි, නොපමාව එය ඔබ වහන්සේගේ සුරතට ලැබීමට සලස්වන්නෙමි”යි කියා පොකුණ වෙත ගොස් මැණික දැක සේවකයන් ලවා පොකුණේ ජලය ඉවත් කළා. එහෙත් මැණික හමුවුණේ නෑ.

පොකුණේ පස් යට සැඟව ගියේ යැයි සිතා මඩ ආදියත් ඉවත් කළා. එහෙත් හමුවුණේ නෑ. තවදුරටත් සේවකයන් ලවා පොකුණේ පස් ඉවත් කර ගැඹුරට හාරා බැලුවා. එසේ වුවත් මැණික සොයා ගැනීමට නොහැකි වුණා. පොකුණට ජලය පිරුණු ගමන් නැවතත් මැණික පෙනෙන්න පටන් ගත්තා. රජතුමාටත් සේනකයන් කළ කී දෑ ආරංචි වුණා.

වැඩිටිහියාගේ ප්‍රඥාවට සහ ඔහුගේ තනතුරට ගරු කිරීමක් වශයෙන් කටයුත්ත බාර දුන්නත්, ඔහුට තම කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වී තිබුණා.

මෙ සමයේ රජතුමාට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන වයසින් බාලම පණ්ඩිත රත්නය වුණේ අප බෝසතාණන් වහන්සේ යි. උන්වහන්සේ වේදේහ රජතුමාට සේවය සැලසුවේ මහෞෂධ පණ්ඩිත නමින්.

රජතුමා ඔහු කැඳවා‘පණ්ඩිතයෙනි, රාජකීය උද්‍යානයේ පොකුණේ මැණිකක් තියනවා. ඔබට එය ගන්න පුළුවන්දැ”යි ප්‍රශ්න කළා. පණ්ඩිතයන් වහන්සේ එය බාර ගත්තා.

රජතුමාත්, රාජපුරුෂයනුත්, රටවැසියනුත් " අද පණ්ඩිතයන්ගේ නුවණේ මහිමය දකි”යි කුතුහලයෙන් රජතුමා සහ පණ්ඩිතයන් යන මාවතේ ගමන් කළා.

පිරිස පොකුණ වෙතට පැමිණියා. පණ්ඩිතයන් පොකුණේ පෙනෙන මැණික දැක,රජතුමනි, මැණික පොකුණෙහි නැතැ”යි පැවසුවා. එවිට කෝපයට පත් රජතුමා

‘ඔබගේ ඇස් අන්ධ වී තිබේද? පොකුණෙහි නැත්නම් අන් කවර තැනකද අර පෙනෙන්නේ”යි පවසමින් පොකුණ වෙතට අත දිගු කර මැණික පෙන්වා සිටියා.

පණ්ඩිතයන් වහන්සේ රජුට කේන්ති ගිය බව දැන සේවකයන්ලවා පැන් තලියක් ගෙන්වා, " රජතුමනි, මේ පැන් තලිය දෙස බලන්න, පොකුණෙහි පෙනෙන මැණික පැන් තලියෙහිත් දර්ශනය වෙනවා. ඒ නිසා මැණික පොකුණෙහි නැතැ”යි පැහැදිලි කර දුන්නා. පණ්ඩිතයන් වහන්සේගේ තහවුරු කිරීමෙන් පසු රජතුමා මහත් සේ සතුටට පත් වුණා.

අනතුරුව පණ්ඩිතයන් අමතා

‘පණ්ඩිතයෙනි, පොකුණෙහිත්, පැන් තළියෙහිත් මැණික පෙනේ නම් මෙය කොතැනක තිබිය හැකිදැයි ප්‍රශ්න කළා.

‘රජතුමනි, පොකුණෙහිත්, පැන් තලියෙහිත් මැණික නොමැති නම් එය ඇත්තේ කිසියම් උස් තැනක ය. එසේ හෙයින් මේ පොකුණ සමීපයේ තියෙන අර තල් ගසට පුරුෂයකු යවා සොයා බැලීම වටිනවා. " ඒකාන්තයෙන් ම මේ ගස උඩ කවුඩු කූඩුවක මැණික තියනවා”යි පවසා සිටියා. පණ්ඩිතයන් පැවසූ ආකාරයට ම රජුගේ අණින් රාජ පුරුෂයකු ගසට නංවා කවුඩු කූඩුවේ ඇති මැණික ගෙන්වා ගත්තා.

රජතුමා මහත් සේ සතුටට පත් වුණා.

ඒ සතුට ප්‍රදර්ශනය කිරීමක් වශයෙන් තමන්ගේ ගෙලෙහි පැළඳි ලක්ෂයක් අගනා මුතුහර ගලවා පණ්ඩිතයන් වහන්සේට පරිත්‍යාග කළා.

පණ්ඩිතයන් වහන්සේගේ පිරිවර කුමාරවරු දහසට ද මුතුහර බැගින් පරිත්‍යාග කළා. ප්‍රඥා මහිමය නිසා පණ්ඩිතයන් වහන්සේටත්, ඔහුගේ පරිවාර පිරිසටත් මහත් වූ රාජ සත්කාර ලැබුණා.

එබැවින් කිසියම් කටයුත්තක් කිරීමේ දී හෝ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ දී පුද්ගලයාගේ වයස, තනතුර, ඥාතීත්වය, සේවා පළපුරුද්ද වැනි සාධක මත ම නො පිහිටා ඔහුගේ හෝ ඇයගේ ප්‍රඥාවට තැනක් ලබා දෙමින් ඔවුන්ගේ සේවය සලසා ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා.

සමාජයේ ජීවත් වන ඇතැම් දෙමව්පියන් ගැටලුවක දී දරුවන්ගේ අදහස් හෝ ඔවුන්ගේ විසඳු ම් හෝ ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

ඇතැම් ආයතනවල නායකයින් තම සේවකයින්ගේ අදහස් හෝ යෝජනා හෝ විසඳුම් හෝ පිළිගැනීමට අකැමැති වෙනවා. ප්‍රඥාවන්තයින්ගේ අදහස්, යෝජනා සහ විසඳුම් ගැටලු විසඳා ගැනීමේ දී ප්‍රයෝජනවත් වෙනවා.