Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී නිර්මාණය:

පින්බිමක උරුමය

කෙත් වතු මැදින් දිස් වෙන මහ වෙහෙර පෙනේ
මට නොදැනීම එදෙසට මගෙ දෙපිය මැනේ
බුදු මිහිරෙන් පින් සිතිවිලි කැකුළු වනේ
සුවඳින් සුවඳවත් වි හද පුබුදු වුණේ

තැන්පත් සිතින් බෝ මලුවේ සිටින සඳ
මින් පෙර නොවිඳි සිසිලක් දේ සිතැඟි බැඳ
සඳකඩපහනණ ගල් කණු මා අතර මැද
පුදුමෙකි මේ මහා නිමැවුම් කරන ලද

මාලිග වෙහෙර නටබුන් රජ දහන පුරා
මතුවී තිබේ ඉතිහාසෙක සුවඳ දරා
හේවිසි සාධු නාදය යයි අවට සරා
මේ බිම අප සැමගෙ උරුමය මැරෙන තුරා


අපේ ගෞතම බුදුපියාණෙනි

දැවුණු හදවත් අමා දම් ඉස සනසවාලු බුදු පියාණෙනි
කෙලෙස් ගිනි වැද දැවුණු සතහට දහම් ඔසු දුන් වෙදැදුරාණෙනි
උතුම් වූ අම නිවන ලැබුමට මඟ කියා දුන් සිරිමතාණෙනි
නෙළුම් කඩුපුල් පුදා පායුග බැතින් නමදිමි බුදු පියාණෙනි

දුගී පැල්පත සිටුමැදුර වෙත එකම නෙත හෙළු බුදුරජාණෙනි
රහල් කුමරුට අඟුල්මල්හට එකම නෙත හෙළු බුදුපියාණෙනි
අවිදු අඳුරේ ඇවිද ගිය අපි එළිය ලැබුවෙමු දම් රජාණෙනි
නෙළුම් කඩුපුල් පුදා පා යුග බැතින් නමදිමු බුදුරජාණෙනි


අනියත තුළ සිට නොදකින අනියත

ලොවට එළිය දී හිරු නැඟෙනා විට
ලොව පිබිදෙන හිමිදිරි උදයේ......
මල්ගොමු මත රැඳි පිනි වියළවමින්
ගුම් නද මතුවෙයි තැනින් තැනින්.......

විසිරුණු සිතිවිලි හා පොර බදිමින් .......
දනෝ දුවති නිම් නැති ගමනක
නොසිතන මොහොතක සියල්ල නිමකර
යා යුතු ගමනක් ඇති බව නොසිතන
ඔබ .......මා........

බැස යන හිරුගේ ලස්සන බලමින්...
දෙනෙත පුරා රස විඳිමින්.........
ඇති තතු මේ යැයි
මුළාව තුළ අතරමංව

මිලාන බවෙහි සුන්දරත්වය තුළ
ඔබ විඳි ලස්සනෙහි........
අනියත බව දුටුවා ද ?
මොහොතකටවත්
දකින්න............
ඇතිවන පවතින වෙනස්වන හැම දේ......


මගේ

මෙය ද මගේ
එය ද මගේ
තේරුම ද
“මගේ”
යන වදන පුරාවට ම
ගැබ් වී ඇති
නමක් නොමැති
තෘෂ්ණාව


මිනිසුනේ

මෝහය මානය මේ තරමට නපුරු වුණේ
බිම් අඟලට රුපියලකට ඇයි මෙතරම් ලෝභ වුණේ
එක බඩවැල කඩා ගෙනලු මේ ලෝකෙට ජනිත වුණේ
මිනිස්සුනේ ඇයි මෙතරම් මනුස්සකම මඟ ඇරුණේ

මල් වට්ටිය හිසේ තියන් ලෝකෙට පරකාසෙ තියා
පින් පෙට්ටිය කරේ තියන් එයි දවසක හොරෙන් එයා
හදන්න බැරි අය කෝමත් හරහටම ය යන්නෙ කියා
නම් කෙරුවා බුදු සමිඳුන් ඔවුන් වසලයන් ය කියා


අවසන් ගමන

පොදි අරගෙන ආ ඇත්තන්
බැඳගත් පොදි කර වත්තන්
කරෙන් උරෙන් වැරෙන් රැගෙන
යයි එදිනම නෙත් පිස පිස