Print this Article


වත්තේගම ධම්මාවාස හිමි

වත්තේගම ධම්මාවාස හිමි

‘සඟ සසුන පුරසඳ‘ යනු ඉකුත් ජනවාරි මස 31 දා පේරාදෙණිය සුබෝධාරාම මහා විහාරයේදී එළි දැක්වූ ගත්කතුවර නිමල් සේදර විසින් රචිත වත්තේගම ධම්මාවාස හිමියන්ගේ ජීවන තතු රැගත් චරිතාපදානයයි. සුවහසක් ජනයාට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මඟ සැදූ උන්වහන්සේ අවිවාදයෙන් සඟ සසුන බබළවන පුරසඳක් ම බව මධ්‍යම පළාතේ සදහම් ප්‍රබෝධය වෙනුවෙන් කර ඇති සේවාවන් පිළිබඳ විමසීමෙන් පමණක් පසක් වෙයි.

නිකාය භේදයකින් තොරව ශාසනයේත් ධර්මයේත් ඉදිරි පැවැත්ම වෙනුවෙන් සෑම පාර්ශ්වයකම සංඝයා වහන්සේලාට එක්ව කටයුතු කළ හැකි ස්ථානයක් ලෙස පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරය පත් කිරීම සැබවින්ම ඓතිහාසික ය.

ධම්මාවාස හිමියන් ඉටු කළ සේවාවන් අතර ගිහියන්ට ධර්මය පුහුණු වීම සඳහා පුළුල් ඉඩහසරක් විවර කිරීම ප්‍රමඛ කාර්යයකි. හුදු ආමිස පූජාවන් කෙරෙහි පමණක් ගිහියන් දිරිගැන්වීම පසෙකලා ධර්මය පුහුණු විය හැකි මධ්‍යස්ථානයක් ලෙස විහාරය පත් කිරීම ඒ විශේෂත්වයි.

වත්තේගම, උඩුරාවන උපන්ගම වූ ධම්මාවාස හිමිගේ ගිහි නම ධර්මසේන මාලඹේකුඹුරයි. වයස අවුරුදු 10දී පේරාදෙණියේ උඩඊරියගම පිහිටි කුඩා පන්සලක් වූ ශ්‍රී සුබෝධාරාමයට පැමිණ ගලබොඩවත්තේ ඤාණාලංකාර ස්වාමීන් වහන්සේගේ සෙවණෙහි මහනදම් පිරීම ය.

දෙමළ බස පිළිබඳ විශාරද දැනුමකින් යුතු උන්වහන්සේ සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක හිමිනමක් වීම නිසාම 1927 අප්‍රේල් මස 20 දා සසුනට ඇතුළත් වීමෙන් අනතුරුව ධර්ම විනය පිළිබඳ මනා පුහුණුවක් ඇති කර ගැනීමට හැකි විය.

ධම්මාවාස හිමියෝ තම සාමණේර ජීවිතය මෙසේ සිහිපත් කරති. ‘‘උන්වහන්සේ මට කියවීම, ලිවීම පුහුණු කළා. හඬ නඟා කියවීම ප්‍රගුණ කළා. වචන උච්චාරණය ගැන උන්වහන්සේ උනන්දුයි. හිටියේ එක ගෝලයකු නිසා නිවැරැදි කිරීම පහසුයි.

‘සාමණේර බණ දහම් පොත‘ තමයි සාමණේර හාමුදුරුවන්ට මං පෙත පාදන පොත. මේ පොත බොහෝ වතාවක් කියවීමට මා යොමු කළා.‘‘ එසේ අධ්‍යාපනය ලද ධම්මාවාස හිමියන්ට පන්සලක බර දරන්නට සිදු වූයේ ගුරු හාමුදුරුවන් අපවත් වීමත් සමඟයි.

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමය අන්තර්ජාතික කීර්තියට පත් ධර්මායතනයක් බවට පත් වීමේ අඩිතාලම වැටී ඇත්තේ ඉන් අනතුරුවයි. වර්තමානය වන විට මධ්‍යම පළාතෙහි සිංහල සහ ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය දෙන විශාලම දහම් පාසලක් මේ පින් බිමෙහි වේ. එසේම අන්තර්ජාතික භික්ෂු අභ්‍යාස විද්‍යාලයක්, පන්සලට සම්බන්ධ අම්බුළුවාව ශ්‍රී සුබෝධ ගිහි යෝගාශ්‍රමයක් මෙන්ම භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වය සඳහාම පහසුකම් ඇති භාවනා පුහුණුව සඳහාම වෙන් වුණු භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවා පන්සල හා මධ්‍යම පළාත තුළ ධර්මය පුහුණු වීම සඳහාත් ධර්මානුකූල කුසලකර්ම කිරීමට අවස්ථා වැඩි දියුණු කර තිබේ.

පෙර පාසල, ධර්ම විජය පදනම නමින් පදනමක් පිහිටුවා තරුණයන්ට වෘත්තීය පුහුණුව සඳහා අවස්ථා පුළුල් කිරීම මෙන්ම මහලු වියට පත් අසරණ වැඩිහිටියන්ට නිදහස්ව දිවි ගෙවීමට වැඩිහිටි නිවාස පිහිටුවීම මෙන්ම අසරණ වූ දරුවන් වෙනුවෙන් ළමා නිවාස ඇති කිරීමත් උන්වහන්සේගේ මේ සේවාවන් අතර වෙයි.

ඔස්ට්‍රේලියාවේ සංඝ නායක ධුරයට අමතරව උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය උන්වහන්සේ වෙත පුද කෙරු⁣ණේ ඒ සේවාවන් ඇගයීමටයි.

උඩරට අමරපුර මහා නිකායට කලක් තිස්සේ අඩුවක්ව පැවති මහනුවර වරාතැන්නෙහි පිහිටි සීමාමාලකය අසල විනය කර්ම කරන භික්ෂූන් වහන්සේලාට රැස්වීම සඳහා අංග සම්පූර්ණ පහසුකම් සහිතව සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම උන්වහන්සේගේ මූලිකත්වයෙන් කළ ප්‍රමුඛම කාර්යයකි.

වත්තේගම ධම්මාවාස හිමිගේ පැවිදි දිවියම අභියෝග ජය ගැනීමකි. ‘සඟ සසුන පුරසඳ‘ ඒ සඳහා කරන උපහාරක් බඳු ය. ගිහි පැවිදි දෙපිරිසටම කියවා ඉන් ගත හැකි ආදර්ශ බොහෝ වෙයි.