Print this Article


පූජාච පූජනීයානං

ගිහි පැවිදි සරසවි සිසුනට පූර්වාදර්ශයක් වූ අකුරටියේ නන්ද නා හිමිපාණන් වහන්සේ

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගම ගිං ගඟ අසබඩ පිහිටි අකුරටිය නමැති පෞරාණික සුන්දර ගම් පියසෙහි විසූ පියදාස බෝපේ කොඩිතුවක්කු මහෝපාසක මහතාගේ හා ගුණවතී වීරතුංග මහෝපාසිකා මාතාව ගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1954 ජනවාරි 20 වැනිදා ජන්මලාභය ලැබූහ.

එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක ධූරය දැරූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, විද්‍යෝදය පරිවේණාධීශ්වර, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කීර්තිශේෂභාවෝපගත අකුරටියේ අමරවංස නාහිමියන්ගේ සහ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායකව වැඩසිටි බද්දේගම පුඤ්ඤසාර නාහිමියන් ගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1965 ජුනි 24 වැනිදා පහළකීඹිය පුරාණ විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. ඉක්බිතිව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ධර්මවිනය භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාළහ.

වර්ෂ 1979 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, වර්ෂ 1986 දී ශාස්ත්‍රපති උපාධියත්, 1990 දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, 1992 දී දර්ශනපති උපාධියත් පිළිවෙළින් ලබා ගත් නන්ද නා හිමියෝ ඉක්බිතිව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහාචූලාලංකාර රාජ්‍ය විශ්වවිද්‍යාලය, එංගලන්තයේ මැන්වෙස්ටර් විශ්වවිද්‍යාලය වැනි ඉහළම අධ්‍යාපන ආයතනයන් වෙතින් පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා දර්ශන විශාරද උපාධිය හිමිකර ගත්හ.

එවකට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයානුබද්ධ ආයතන සතරෙන් එකක් වූ විද්‍යෝදය ආයතනාධිපති ලෙස වර්ෂ 1983 සිට 1994 දක්වා ක්‍රියා කළ නන්ද නාහිමි 1994 සිට 1996 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද , සිංහල ශබ්ද කෝෂයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකු ලෙස ද පසුව එහි ප්‍රධාන කර්තෘ ධූරයට ද පත්ව ඉතා දිගු කලක් අද්විතීය සේවාවන් රැසක් සිදු කළේ ය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී ලෙස සිදුකරන සේවාව බෙහෙවින් ම සම්භාවනාවට ලක් කළ යුත්තකි. මහනුවර මල්වතු මහා විහාරය මගින් කොළඹ නවතොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පුද කළේ පූර්වෝක්ත සේවාවන් වෙනුවෙන් මහා විහාරය දැක් වූ ඉහළම ඇගයීමක් ලෙස යි.

දකුණු පළාතේ කීර්තිධර විද්වත් යතිවරයන් වහන්සේ වෙත රජය මඟින් පිරිනැමෙන රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය 2019 වසරේ සිට හොබවන අකුරටියේ නන්ද නා හිමියෝ විශ්වවිද්‍යාල පරිපාලනය පිළිබඳ වූ අත්දැකීම් සම්භාරයකින් ද යුක්ත වෙති.

අකුරටියේ නන්ද නාහිමි ස්වයංලිඛිත චරිතාපදානයක් ලෙස වර්ෂ 2016 දී මුද්‍රණද්වාරයෙන් පළ කළ “මතක ඇති දා සිට...” ග්‍රන්ථය තුළින් උන්වහන්සේ පිළිබඳ අප නොදත් අසිරිමත් ජීවන තොරතුරු රැසක් දිග හැරෙයි.

ස්වකීය විශ්වවිද්‍යාල ජීවිතය ගැන “මතක ඇති දා සිට...” ග්‍රන්ථයේ අකුරටියේ නන්ද නාහිමි දක්වන තොරතුරු වෙසෙසින් නූතන ගිහි පැවිදි සරසවි සිසුනට කදිම පූර්වාදර්ශයක් සපයයි.

“විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තත් භික්ෂු ගෞරවය රැකගත යුතු යැයි බලවත් හැඟීමක් අප තුළ තිබුණි. එකට ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල සිසුන් සාමාන්‍යයෙන් පැවිදි සිසුන්ට වැඳ සමු ගැනීමක් නැතත් අප කෙරෙහි මහත් ගෞරවයෙන් ගිහි පිරිස ආචාර කළහ.”

“විශ්වවිද්‍යාල ජීවිතය තුළ මට නවක වදය නුදුන්නා සේ ම මා විසින් ද කිසිවකුට වචනයකින් හෝ එවැනි වදයක් නො කරන ලදී. එපමණක් නොව නව හෝ ජ්‍යෙෂ්ඨ හෝ කිසිවෙක් අප ඉදිරියේ ද කිසිවෙකුට එවැන්නක් නො කළහ. වසර හතර පුරා අධ්‍යාපනය ලැබූ සිය ගණනක් භික්ෂු ශිෂ්‍යයෝ ඊට සාක්ෂි දරති.” (මතක ඇති දා සිට, 116 - 117 පිටු)

අකුරටියේ නන්ද නාහිමි පිළිබඳ කථිකාචාර්ය අරුණ කේ. ගමගේ මහතා “මතක ඇති දා සිට” ග්‍රන්ථයෙහි අපූර්ව චිත්‍රයක් මවා ඇත. එහි එක් කුඩා කොටසකින් මෙම හැඳින්වීම අවසන් කිරීම යෝග්‍ය යැයි, හඟිමි.

සෘජු මනසින්, වචනයෙන් හා ශරීරයෙන් ද යුක්ත වන උන්වහන්සේ ප්‍රසන්න දැකුමෙන් යුක්ත වේ. දහමට හිතැති, තේජෝ ගුණයෙන් යුත් උන්වහන්සේ ඇත් රජකු සේ ගමන් රටාවෙන් යුක්ත වෙති. මනරම් චර්යාවෙන්, යුක්ත වන, අවංක විද්වතුන් ගේ සොම්නසට හේතුවන අකුරටියේ නන්ද නම් මේ හිමිපාණෝ බොහෝ කල් සුදිලෙත්වා.


භික්ෂු විනය හා අපරාධ නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ පිටවල උපාලි හිමිපාණන් වහන්සේ

අපේ රටේ මහා සංඝ රත්නයේ ජීවන තොරතුරු පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී දුප්පත් පවුල්වල ඉපිද හොඳින් ඉගෙනගෙන ආචාර්ය මහාචාර්ය පදවි ලබා එතෙර මෙතෙර පතළවන මහා සංඝ රත්නය පිළිබඳව දැන ගන්නට ලැබේ.

හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පොල්ගස්ඕවිට සුදර්ශනාරාමාධිවාසී ආචාර්ය පිටවල උපාලි හිමිපාණන් එලෙස කන්ද උඩරට ගම්බද පවුලක උපත ලබා මෙරට තුළ දී ආචාර්ය, ශාස්ත්‍රපති ආදී උපාධි 10 ක් ලැබූ ස්වාමීන් වහන්සේ නමක් ලෙස හඳුන්වා දිය හැකි ය. විශේෂයෙන් භික්ෂු විනය හා අපරාධ නීතිය පිළිබඳ මෙරට ප්‍රථම හා එකම ආචාර්ය උපාධිය ලබාගෙන ඇති හිමිපාණන් වන්නේ ද ආචාර්ය පිටවල උපාලි හිමිපාණන් ය.

1965 ජනවාරි 26 වෙනිදා උඩුදුම්බර පිටවල රං කිරියාගොල්ල ගමේ ගොවි පවුලක උපත ලැබූ පිටවල උපාලි හිමියන් ගිහි කල මුල්ම අධ්‍යාපනය ලබා ඇත්තේ උඩුදුම්බර පිටවල රංකිරියාගොල්ල දාගැවිල්ල කනිටු විදුහලෙන් ය. “ ඒ විද්‍යාලයෙන් 5 ශිෂ්‍යත්වය ලිව්වේ මම ඇතුළු ළමයි 5 දෙනයි. ඒකෙන් ශිෂ්‍යත්වය පාස්වන්නේ මම විතරයි. මට මහනුවර ලොකු පාසලකට යන්න හැකියාව ලැබුණා. ඒත් මගේ තාත්තාට අම්මට මාව මහනුවර යවන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මම අපේ ගමට ළඟින් තියෙන කළුන්තැන්න විමලධර්ම මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ කරන්න ගියා. මම දාගැවිල්ල ඉස්කෝලෙට යනකොට කිලෝමීටර් 3 ක් විතර පයින් ගියා. කළුත්තැන්න ඉස්කෝලෙට යනවිට කිලෝමීටර් 12 ක් විතර හුඟක් දවස්වල ගියේ පයින්මයි. අතීතය ගැන පිටවල හිමියෝ පවසති.

ආචාර්ය පිටවල හිමියෝ පැවිද්ද හා උපසම්පදාව ලැබුවේ මාතලේ කපුතොටුව ශාන්තිනිකේතන පිරිවෙනේ දී ය. එහිදී උසස්පෙළ සමත් වූ උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලැබූහ.

මුලින්ම එල්.එල්.බී. උපාධිය හා බී.ඒ උපාධිය ලබාගත් උන්වහන්සේ පසුව විදේශ ධර්මදූත සේවාව පිළිබඳව පශ්චාත් උපාධිය ද ලබා ගත්හ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ උපදේශනය පිළිබඳ එම්.ඒ උපාධිය ලබා ගැනීමට ද උන්වහන්සේට අවස්ථාව ලැබුණි.

ඊට අමතරව බෞද්ධ අධ්‍යාපන කටයුතු පිළිබඳ එම්.ඒ. උපාධිය ද, අනතුරුව බෞද්ධ ආයුර්වේද උපදේශනය හා වාග් විද්‍යාව පිළිබඳව එම්.ඒ. උපාධිය සමත් වී ඇත. උපාලි හිමියන් සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවලින් බෞද්ධ හා භික්ෂු අධ්‍යාපන කටයුතු පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කර ඇති අතර තවත් ග්‍රන්ථ කීපයක්ම නිකුත් වීමට නියමිත ය.

උන්වහන්සේට පිරිනමා ඇති උසස් උපාධිය වන්නේ භික්ෂු විනය පිළිබඳ හා අපරාධ නීතිය පිළිබඳ ආචාර්ය උපාධියයි. එය පිරිනමා ඇත්තේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය විසින් ය.

දැනට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ධර්මාචාර්ය හා අස්ගිරිය මහා සංඝ සභාවේ කර්මාචාර්ය තනතුරු හොබවන උන්වහන්සේට සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආගමානුකූල හා සාමාජික කටයුතුවල දිගටම නිරතවීමට සුවසෙත ශක්තිය ධෛර්ය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.