Print this Article


ධර්මදූත සේවයට වගේම මාතෘ භූමියේ ආරක්ෂාවටත් දායක වුණා

ධර්මදූත සේවයට වගේම මාතෘ භූමියේ ආරක්ෂාවටත් දායක වුණා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක ගල්කිස්ස ශ්‍රී පුෂ්පාරාමය ඉතාලියේ ෆිරෙන්සේ හා ලුක්කා සමාධි විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රවේදී දොඩම්දෙණියේ නන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

විශිෂ්ට විදේශීය ධර්මදූත ස්වාමින් වහන්සේ නමක් වශයෙන් චිර ප්‍රසිද්ධ ඔබ වහන්සේගේ ධර්ම දූත සේවය ආරම්භ වූ ආකාරය සිහිපත් කරමින්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිදුකළ ශාසනික මෙහෙවර පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ,

"ඉතාලි නගර සභාව සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් යුරෝපා බෞද්ධ සංගමය වැනි විශාල සංවිධාන හරහා ලංකාවේ ගල්කිස්ස පුෂ්පාරාම විහාරස්ථානය සම්බන්ධ කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජාතික, ආගමික, ලෝක ශාසනික අභිවෘද්ධිය පිණිස ඉටුකළ හැකි සෑම කාර්යයක් ම සිදුකර ගෙන යනවා. "

කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමත් සමඟ 2000 වර්ෂයේ දී ධර්මදූත සේවය සඳහා ඉතාලියට වැඩමකරමින් විහාරස්ථාන දෙකක් ආරම්භ කිරීමට කටයුතු කළා. ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ සමාධි විහාරස්ථානය, ලුක්කා නගරයේ ඉදිකළ සමාධි විහාරස්ථාන යන එම විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන 2000 වර්ෂයේ සිට මේ දක්වා ඉතාලි ජාතිකයන් ඇතුලු ලෝක බෞද්ධ ප්‍රජාවගේ ආධ්‍යාත්මික. සාමාජික වශයෙන් ඉටු විය යුතුකම් ඉටුකර දෙනවා. වෙසක්, පොසොන්, කඨින පින්කම්වලට අමතරව පොහොය වැඩසටහන් , භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. දරුවන්ගේ භාෂා දැනුම වර්ධන කරමින් දහම් දැනුම ලබාදීමට සමාධි දහම් පාසල ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම “සමාධි සහන පදනම” ආරම්භ කිරීම නිසා සමාජ සත්කාරක සේවාවන් රාශියක් සිදුකිරීමට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් සුනාමි ව්‍යසනයේ දී ගාල්ල ප්‍රදේශයේ ජනතාවට කෝටියක වියදමින් නිවාස ඉදිකර දීමටත් , වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය ලබා දීමටත් හැකි වුණා.

ඒ වගේම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් අසරණ වැසියන් ඝාතනය කරමින්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් මාතෘ භූමිය විශාල විපතකට ඇද දැමූ කාල පරිච්ඡේදයේදීත්. සෑම ආකාරයකින්ම මව්බිම වෙනුවෙන් කළ යුතු යුතුකම් උපරිමයෙන් ඉටුකිරීමට කැපවුණා. විශ්ව විද්‍යාල දරුවන්ට වගේම පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙමින් දැයේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස තවදුරටත් කටයුතු කරගෙන යනවා.

විශේෂයෙන් ම ඉතාලි නගර සභාව සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් යුරෝපා බෞද්ධ සංගමය වැනි විශාල සංවිධාන හරහා ලංකාවේ ගල්කිස්ස පුෂ්පාරාම විහාරස්ථානය සම්බන්ධ කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජාතික, ආගමික, ලෝක ශාසනික අභිවෘද්ධිය පිණිස ඉටුකළ හැකි සෑම කාර්යයක් ම සිදුකර ගෙන යනවා.

ශ්‍රී ලාංකික අනන්‍යතාවය හා සංස්කෘතිය ආරක්ෂා කරමින් බුදුදහම යුරෝපය පුරා ප්‍රචාරය කිරීමේ විශිෂ්ට සේවාව අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව වෙතින් ඉතාලියේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමිමට කටයුතු කළා.

සුපේශල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේට මේ තරම් සාර්ථකව දීර්ඝ ගමනක් යාමට ගුරු හාමුදුරුවරුන්ගෙන් ලැබුණු ආභාසයත්, පාරිවේණික අධ්‍යාපනය , වගේම උසස් අධ්‍යාපනය ලබා ගත් අවධිය සිහිපත් කරන්න හාමුදුරුවනේ,

මාතලේ දොඩම්දෙණිය කියන බොහොම සුන්දර ගැමි පරිසරයක තමයි මම උප්පත්තිය ලැබුවේ. දසනායක මුදියන්සේලාගේ හේරත් හා රත්නායක මුදියන්සේලාගේ කුසුමාවතී යන මගේ ආදරණීය මව්පියන් තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කළපුණ්‍යවන්ත මව්පිය දෙපළක් බවත් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. මම කුඩා කාලයේදී දොඩම්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන කාලපරිච්ඡේදයේ දී අපේ ගමේ විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වහන්සේ පැවිදිවීමට ආරාධනා කළා. ඒ ඉල්ලීම අනුව විහාරස්ථානයට පැමිණිලා . 1982 වර්ෂයේ අගභාගයේ දී ගල්කිස්ස පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණියා. පැවිදිවීමට ඇවැසි මූලික වත් පිළිවෙත් පුහුණුව ලබමින් සිටි අවධියේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපති විද්‍යා විශාරද මාදෙල්ගමුවේ නන්දසේන නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් 1983 වර්ෂයේ දී දොඩම්දෙණියේ නන්දසිරි යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් පැවිදිබව ලබා ගැනීමට සංසාරගත පුණ්‍ය ශක්තිය බලවත් වුණා. අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ බහුශ්‍රැත පඬිරුවනක් වශයෙන් උන්වහන්සේට නිවැරදි දැක්මක් තිබුණා. උන්වහන්සේගේ ආභාසය මගේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට රුකුලක් වුණ බව පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුයි.

අනතුරුව මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගනිමින් 1993 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව විශේෂවේ දී උපාධිය ලබා ගැනීමට කටයුතු කළා.

බහුශ්‍රැත චිරරාත්‍රඥ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් පුරා දශක දෙකකට අධික කාලයක් සිදුකළ ධර්මදූත මෙහෙවර තුළින් ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් ධර්මදූත සේවයේ නියැළීමට බලාපොරොත්තු වන ස්වාමින් වහන්සේලාට ලබා දෙන්නේ මොනවගේ උපදේශයන්ද?

බුදුහාමුදුරුවො භික්ෂූන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වුණ දෙයක් තමයි බහුශ්‍රැතභාවය, එම තත්ත්වය ගොඩනඟා ගැනීමට නම්, ධර්මධර, විනයධර බහුශ්‍රැත ස්වාමීන් වහන්සේලා ගේ ඇසුර ලබනවා වගේම ධර්ම ග්‍රන්ථ නිතර නිතර පරිශීලනය කරමින් දහම් දැනුම නිවැරැදිව ලබාගත යුතුයි. පැරැණි දැන උගත් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අහගෙන ඉන්න ආසයි. සත්‍යාවබෝධය පිණිස යම් ධර්මයක් දේශනාකොට තිබෙනවා නම්, බෞද්ධ ජනතාවට එය විස්තර කරමින් නිවැරැදි දැනුමක් ලබාදිය යුතුයි. විශේෂයෙන් තරුණ භික්ෂූන් වහන්සේලා ධර්ම ඤාණයට අමතරව විදේශීය භාෂාවන් පිළිබඳ දැනුමක් ලැබිය යුතුයි. එය භික්ෂූන් වහන්සේලාට ධර්ම සන්නිවේදනයේ දී අතිශය වැදගත්. ජනපි‍්‍රය තලයේ ඇතැම් ධර්ම දේශනාවල හරයක් නැහැ. නිවැරැදි ධර්ම දැනුමක් ලබා ගත යුතුයි. ඒ ඒ රටවල ජනතාව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට බොහෝ ගෞරව කරනවා. ඒවගේම ඔවුන් බුදුදහම පිළිබඳ අවබෝධය, භාවනාව පිළිබඳ අවබෝධය ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. බෞද්ධ භික්ෂුව සංවරකම රැකගෙන භික්ෂු ආකල්ප ආරක්ෂා කරගෙන නිවැරැදි ධර්ම ඤාණයත්, විදේශීය භාෂා ඤාණයත් ලබාගත යුතුයි.