Print this Article


පින් පොත

පින් පොත

සැදැහැවත් බෞද්ධයෝ බොහෝ පින්කම් කරති. ඒ කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා සවිස්තරව දින වකවානු සහිතව ලියා තබනු ලබන පොත පින්පොත නමින් හැඳින්වේ.

තම තමන්ගේ ආසන්න කාලයේ දී කියවීමට හැකි අයෙක් ලවා පින්පොත කියවයි. පොත අයිතිකරු මරණාසන්න අවස්ථාවේ වැතිර සිටිමින් ඊට සැදැහැයෙන් යුතුව ඇහුන්කන්දී සිත පහදවා ගනී. පැහැදුණු සිතින් යුතුව මිය ගියොත් ඒකාන්තයෙන් ම ඔහුගේ හෝ ඇයගේ දෙවන ආත්මභාවය වාසනාවන්ත ය.

මට්ටකුණ්ඩලී බමුණු කුමාරයා මරණාසන්න අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තේ ය. ඒ සමඟම මිය ගොස් දෙව්ලොව මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍ර නමින් දිව්‍ය රාජයෙක්වී උපන්නේ ය.

අනේපිඬු සිටුතුමා පනස් හතර කෝටියක් ධනය වැයකොට බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවකයන් වහන්සේලාට වැඩ සිටීමට තැනූ දෙව්රම් වෙහෙර පූජාව සිහිකරමින් මියගොස් තව්තිසා දිව්‍ය ලෝකයේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍ර නමින් දිව්‍ය රාජයෙක් වී උපන්නේ ය.

ඡත්ත මානවක නම් බුමුණු කුමාරයා තෙරුවන් ගුණ සිහිකරමින් මියගොස් ඡත්‍ර නමින් දිව්‍ය රාජයෙක් වී තව්තිසා දෙව්ලොව උපන්නේ ය. එම බමුණු කුමාරයා තෙරුවන් සරණ සමාදන් කරවූ ගාථා තුන ඡත්ත මානවක ගාථා නමින් හැඳින්වේ.

දුටුගැමුණු රජතුමා ආසන්න අවස්ථාවේ දී මිය ගොස් සුගතිගාමී වූයේ චුල්ලංගනී යුද්ධයෙන් පැරැදි වනගත වී සිටිමින් වනයේ දී ඇමතිවරයාගේ බත් මුල බෙදාගෙන කන්නට සූදානම් වී ඊට ප්‍රථමයෙන් පසේ බුදුන් වහන්සේ නමකට දුන්නාවූ දානයේ අසිරිය සිහිපත් වීමෙනි.

ගැමුණු රජුගේ ආසන්න අවස්ථාවේ දී රජුගේ පින්පොත ගෙන්වා රජුට ඇසෙන්නට කියවීමට ඇමතියකුට බාර දුන්නේ ය. ඇමතිවරයා පොතේ සඳහන් කරණු එකිනෙක කියවද්දී රජු ඊට අවධානය යොමු කළේ ය.

රජතුමනි ඔබතුමා රුවන්වැලි සෑ රදුන් වහන්සේගේ හා ලෝවාමහා ප්‍රසාදයේ වැඩ නිමකරවන ලද්දේ ය, යනුවෙන් ඇමතියා පින්පොතේ සඳහන් කරුණු කියෙව්වත් රජුට කිසිත් සතුටක් ඇති නොවීය. රජු ඒ ගැන සිතුවේ මා වැනි රජකුට රුවන්වැලි සෑයක්, ලෝවාමහා ප්‍රාසාදයක් කරවන එකත් වැඩක් ද යනුවෙනි.

අන්තිමට රජුට අසන්නට ලැබෙන්නේ චුල්ලංගනි යුද්ධයෙන් පැරදී වනගත වී සිටිමින් පසේ බුදුන් වහන්සේ නමකට ශ්‍රද්ධාවෙන් යුක්තව දුන්නා වූ දානමය පුණ්‍ය ක්‍රියාව පිළිබඳවයි. ඒ කාරණය පිළිබඳව රජුගේ අවධානය යොමුවිය. පින්පොත කියවීම නැවැත්විය. සිතේ සතුට සොම්නස ඒ කෙරෙහි යොමු වීමෙන් රජතුමා කළුරිය කොට සුගතිගාමී විය.

එදා සිටි පැරැණි සැදැහැවත් බෞද්ධ සාමාන්‍ය ජනතාව පමණක් නොව රජමැති ඇමතිවරුන් පවා පින්පොත් පරිහරණය කර ඇති බැව් පැහැදිලි ය. එදා ඒ පැරැන්ණන් අනුගමනය කළ හොඳ සිරිත් අද සමාජයේ දකින්නට නැත. ඒ හොඳ සිරිත් අනුගමනය නොකරන තාක් සමාජයේ පිරිහීම නොවැළැක්විය හැක්කකි.

ගිහි පැවිදි ලොකු කුඩා කොයි කවුරුත් ඒ පැරැණි පින්පොත් ක්‍රමය අදත් අනුගමනය කරන්නේ නම් ඉතා යහපති. එහි ඇති වටිනාකම හොඳින් පෙනී යන්නේ ඒ ඒ ජිවිතවල අවසාන කාලවලදී ය. හුන්තැනින් නැඟිටින්නට නොහැකිව, යන්න එන්න නොහැකිව, කතාබස් කිරීමට නොහැකිව මරණාසන්න අවස්ථාවට වැටී සිටින කොයිකාටත් පින්පොත ආශිර්වාදයකි.

එය නැවත නැවත කියවා ගැනීම ද කාලෝචිත ය. තම තමන් හැකි කාලවල දී කර කියා ගත් කුසල ක්‍රියා පිළිබඳව, පුණ්‍ය ක්‍රියා පිළිබඳව නැවත නැවත අසන්නට ලැබීම සතුටට සොම්නසට හේතුවකි. ඒ සතුටින් සොම්නසින් යුක්තව මිය ගොස් ඒ තැනැත්තා මරණින් මතු ලබන ආත්මභාවය වාසනාවන්ත එකක් වන්නේ ය. ඒ පැරැණි පින්පොත් ක්‍රමය පිළිබඳව ඔබගේ අවධානය යොමුවේවා.

අපේ දහම් පාසල් ගුරුභවතුනි, ඔබේ දහම් පාසලේ සිසු දරුවන්ටත් ඒ පැරැණි පින් පොත් ක්‍රමය හඳුන්වාදී පින්පොතක් සාදාගෙන තමන් කරන යහපත් ක්‍රියා පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියා දින වකවානු සහිතව ලියා ඉරිදා දහම්පාසල් දිනයට රැගෙන විත් පන්තිභාර ගුරුතුමා හෝ ගුරුතුමියට පෙන්වා ලකුණු දමාගෙන වාර්ෂිකව එම ලකුණු එකතුකොට වැඩි ලකුණු ගත් අයට තෑගි දීමේ ක්‍රමයක් සිදු කළොත් යළිත් ඒ පැරැණි පින් පොත් ක්‍රමය ඇතිකර ගැනීමට හැකිවේ යැයි සිතිය හැකි ය.