Print this Article


සිරිපා කරුණාවේ සිරිත් විරිත්

සිරිපා කරුණාවේ සිරිත් විරිත්

ශ්‍රී පාදය කරුණා කරන්නේ සාමාන්‍යයෙන් නඩයක් වශයෙනි. ගමේ නැතිනම්, තම පවුලේ වැඩිහිටි අත්දැකීම් බහුල අයකු නඩේ නායකයා ලෙස තෝරා ගැනේ. ඔහු නඩේ ගුරා ය. නඩේ ගුරා නැතිනම් භාරකරුවා වූ ඔහුගේ වගකිම වන්නේ තම නඩය සිරිපා කරුණා කොට නිරුපද්‍රිතව තම ගම් බිම් බලා කැටුව ඒමයි.

ඒ වගේ ම කිසිවෙක් නඩේ ගුරාගේ වචනයට ඉහළින් දෙයක් සිදු කරන්නේ ද නැත. නිරතුරුව ම ඔහුගේ අවවාදය වූයේ ශ්‍රී පාද අඩවිය සමන් දෙවියන්ගේ බැවින් නොගැළපෙන වචනයක් කියා කට වරද්දා ගන්න එපා යනුවෙනුයි. සමන් දෙවි අඩවියේ දී යම්කිසි කාර්යයකට මුල පුරනුයේ සමන් දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලමිනි. “සමන් දෙවියන්ගේ පිහිටෙන්“ යැයි පවසමිනි. ශ්‍රී පාදය කරුණා කරන විට එයටම ආවේනික වූ සිරිත් විරිත් හා ආචාර ධර්ම මෙන් ම සිරිපා වන්දනාවට පමණක් ම ආවේණික වූ විශේෂ වචන මාලාවක් ද පවතී. සිරිපා කරුණාවේදී තම සිත, කය, වචනය සංවර කර ගත යුතු ය.

ශ්‍රී පාදය කරුණා කිරීම ආරම්භ කරනුයේ නල්ලතන්නියේ දී දෙහි කැබැල්ලක් ඇඟ ගා සීත ගඟුලෙන් දිය නෑමෙන් ය. මෙය ‘පේවීම‘ යනුවෙන් හැඳීන්වේ. දිය නෑමෙන් අනතුරුව පිරුවට ඇඳ බුදුන් වැඳ සමන් දෙවි ආශිර්වාදය ලැබ මලුව කරුණා කිරීම අරඹයි. මෙතැන දී අවවාද දෙනු ලබන්නේ ද නඩේ ගුරා විසිනි.

තම ජීවිතයේ පළමු වතාවට සිරිපා කරුණා කරන තරුණයා “කෝඩුකාරයා“ ය. ඒ වගේ ම පළමු වතාවට සිරිපා කරුණා කරන වැඩිහිටියා “දඬුකෝඩු“ යනුවෙන් ද , කුඩා දරුවා හැ දැරිය “කිරිකෝඩු“ නමින් ද හඳුන්වයි.

කෝඩුකාරයන් විසින් ඉඳිකටුපානේ සිට ඉඳීකටුවකට නූල් බෝලයක් අමුණා එය අවසන්වන තුරු සමනල කඳු මුදුනට රැගෙන යා යුතු ය. මේ හා බැඳී ඉතිහාස කතාව ලෙස පැවසෙන්නේ, සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනල ගිරි හිස සිරිපා කමල පිහිටුවාලීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඉරුණු සිවුරු ගෙත්තම්පාණේ දී මසා පිළිසකර කරගත් බවයි .

වර්තමානයට වඩා අතීතයේ දී අති දුෂ්කර ගමන් මඟක් ගෙවා සිරිපා කරුණා කළ බෞද්ධ බැතිමතුන් ගිරි දුර්ග හරහා පැමිණීමේ දී ඉරී ගිය තම රෙදි අණ්ඩ දමා පිළිසකර කර ගත්තේ ඉඳීකටුපාන හෙවත් ගෙත්තම්පානේ දී ය. ඒ ආකාරයෙන් මසා ඉතිරිවන නූල් සහ ඉදිකටු තවත් නඩයක ප්‍රයෝජනය සඳහා ගෙත්තම්පාණේ ගස්වල රඳවා යෑම සිරිතක් වේ. සිරිපා සමය අවසන් වනවිට ගෙත්තම්පාන ප්‍රදේශය නූල්වලින් ගෙත්තම් වූ දැලක අසිරිය ගනු ඇත.

ගෙත්තම්පා‍‍නෙන් පසුව හමුවන වැදගත් ස්ථානය වන්නේ “රට බලන ගල“යි. මෙහි සුළං කපොල්ලක් ද පිහිටා තිබීම විශේෂත්වයකි. ඉන් අනතුරුව හමුවන්නේ “හැරමිටිපානය“. මෙම ස්ථානය කෝඩුකාර වන්දනාකරුවන්ට වැදගත් වන ස්ථානයකි. මෙම ස්ථානයෙන් යන එන වැඩිහිටි වන්දනාකරුවන්ට කැළයෙන් සැරයටියක් කපා පූජා කිරීම කෝඩුකාර වන්දනාකරුවන්ගේ සිරිත ය. ජීවිතයේ අනිත්‍ය බව හා තමන්ට නීරෝගී ශක්තිය සුවය ප්‍රාර්ථනා කරගැනීම මෙහි අරමුණ වේ. සැරයටිය පූජා කිරීමට වැඩිහිටි වන්දනාකරුවකු හමු නොවූ විට තමන් කපා ගත් සැරයටිය හැරමිටිපාණේ කාටත් පෙනෙන සේ තබා යෑම සිරිතයි.

මේවා පසු කරමින් ඇහැළ කණුවත්, සුළංකපොල්ලත් පසුකොට මහගිරිදඹ නැග උඩ මලුවට ළගා විය හැකි ය. ඇහැළ කණුව නමින් හැඳීන්වෙන ස්ථානයට සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම සමන් දෙවිඳුන්ගේ නිල වාහනය වන සුදු හස්තියා සිරිපා පියුම වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානය ලෙසටයි හැඳීන්වෙන්නේ. ඇහළ කණුව නම් ගල් කණුව අසල සිට සිරිපා පද්මය නමස්කාර කරන ඇත් රජු වනගතවේ.

සිරිපා කරුණාවේදී එහි විවිධ ස්ථාන හැඳීන්වීම සඳහා එයට ම ආවේණික වූ නම් භාවිත වේ. ඉඳීකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹ, අහස්ගව්ව ආදී ලෙසිනි. මෙම කලාපයේ පවතින විවිධ භූ විෂමතාවන්හි ස්වභාවය අනුව මෙම විවිධ නාම භාවිත වේ යැයි ද සැලකේ.