Print this Article


උතුම් සැපය නිවනයි

රජගහනුවර මහා සේන නම් බමුණෙක් වාසය කළේ ය. මෙම බමුණා කිසිදු අරපිරිමැස්මක් නොමැතිව මුදල් වියදම් කළ බැවින් ඉතා ඉක්මණින් ධනය පිරිහුණේ ය. මුදල් නොමැති විය. ඔහු පත් වූයේ මහත් ලජ්ජාවකට ය.

දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ රජගහනුවර පිඬුසිඟා වඩින විට මහාසේන බමුණාගේ නිවසට ද වැඩිසේක. එහෙත් දන්දීමට කිසිවක් නොතිබුණු බැවින් බමුණා ලජ්ජාවෙන් පසුවීය.

සැරියුත් මහරහතන් වහන්සේ දෙවන දිනයේ ද මහාසේන බමුණාගේ නිවසට පිණ්ඩපාතය පිණිස වැඩියහ. එදින ද බමුණා සැඟවුණේ ය. තුන්වන දිනයේ ද බමුණා ඉතාම අසීරුවෙන් කිරිබතක් පිළියෙළ කොට සැරියුත් හිමියන් වඩිනතුරු බලා සිටියේ ය. මේ බව සැරියුත් හිමියන් දිවැසින් දැක බමුණා කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔහුගේ නිවසට වැඩිසේක. බමුණා බෙහෙවින් සතුටට පත්ව කිරිබත් පූජා කර නිවන් සුව පැතුවේ ය.

මිය ගිය පසු ඒ පින් බෙලෙන් හෙතෙම උසස් කුලයක උපන්නේ ය. දරුවාගේ දෙමව්පියන් දරුවාගේ වයස ගත වූ විට ඔහු බලාපොරොත්තු පරිදි මහණ කරවීය. ඔහු මහණ වූයේ සැරියුත් හිමියන් ගුරුවරයා කරගෙන ය.

සාමණේරයන් වහන්සේ බැලීමට නෑදෑයෝ නිතර නිතර පැමිණියහ. එයට අකැමැති වූ සාමණේර නම එසේ නිතර අවිවේකයෙන් කල් ගෙවීම නුසුදුසු බැව් සිතා ඥාතීන්ගේ පැමිණීම වැළැක්වීමට තරමක් දුරින් පිහිටි වනයක විහාරයේ වාසයට වැඩියහ. නිතර භාවනාවේ යෙදුණු මේ හාමුදුරුවන් වහන්සේ වනවාසික තිස්ස නමින් ප්‍රසිද්ධ විය. භාවනා කර වනවාසික තිස්ස හාමුදුරුවෝ රහත් වූහ. වනවාසික තිස්ස හාමුදුරුවන් ලාභ භුක්ති නොවිඳ දුර බැහැර වී සිටීම ගැන භික්ෂූන් අතර නොයෙක් කතා ඇති විය.

බුදුන් වහන්සේ එය නිමිති කරගෙන මෙසේ වදාරණ ලදී. නිවන් ලබන පිළිවෙළ අනෙකක් නොවේ. මේ පොඩි නම ලාභයෙහි නොඇලී විවේකව කාලය ගත කරනුයේ උතුම් සැපය නිවන නිසා ය.