Print this Article


රද්දොළුවේ අමරවංස අනු නාහිමි සිව්වන වර්ෂ පූර්ණ ගුණසමරු පින්කම් මාලාව

රද්දොළුවේ අමරවංස අනු නාහිමි සිව්වන වර්ෂ පූර්ණ ගුණසමරු පින්කම් මාලාව

අමරපුර මහානිකායේ අමරපුර පාර්ශවයේ සම්මාන අනුනායක, රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරය සහ රද්දොළුව ශ්‍රී අභිනවාරාම මහා විහාරය යන උභය විහාරාධිපති ව වැඩවිසූ රද්දොළුවේ අමරවංස අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර හතරක් සපිරේ. ඒ නිමිත්තෙන් විශේෂ ගුණ සමරු පින්කම් මාලාව මේ මස 28 සහ 29 දෙදින රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී වත්මන් විහාරාධිපති, කනිටු පැවිදි ශිෂ්‍ය, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදූවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි .

ජනවාරී මස 28 දින බ්‍රහස්පතින්දා සවස 5.30 ට විශේෂ ආශිර්වාද පහන් පූජා ,අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාව පැවැත් වූ අතර එදිනම සවස 6.30 විශේෂ ගුණ සමරු ධර්ම දේශනාව කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බොරැල්ලේ අතුල හිමියන් විසින් පැවැත්විණි.

ජනවාරී මස 29 වෙනි සිකුරාදා සපිරිකර සඟසතු දානමය පින්කම මහා සංඝරත්නය විෂයයෙහි රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී පැවැත්විණ.

මෙම පින්කම් මාලාව විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුළඟණ සමිතිය, විහාරස්ථ විශාඛා උපාසක උපාසිකා සමිතිය, විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල, එක්සත් තරුණ බෞද්ධ සමිතිය, ප්‍රදේශවාසීන් සහ සතර පේරුවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සහ දායකත්වයෙන් සිදුකිරීමට සංවිධානය කර ඇත.