Print this Article


වසර 30ක වැටුප සෞඛ්‍ය ගොඩනැඟිල්ලට වැය කළ මාඹුල්ගොඩ සුමනරතන හිමියෝ

වසර 30ක වැටුප සෞඛ්‍ය ගොඩනැඟිල්ලට වැය කළ මාඹුල්ගොඩ සුමනරතන හිමියෝ


ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන හිමි

කිරිගම්පමුණුව මැද වත්ත ප්‍රදේශයේ ජනතාව තම සෞඛ්‍ය කටයුතු ඉටු කර ගන්නට කිලෝමීටර් 10ක් 12ක් පමණ දුර ගෙවා යන්නට වූයේ ප්‍රවාහන පහසුකම් පවා ඉතා දුෂ්කර තත්ත්වයක තිබියදී ය.

ඒ බව දුටු භික්ෂූන් වහන්සේ නමක් වසර 30ක් පමණ උපයා ගත් මාසික වැටුප් සියල්ල එකතු කර එම පෙදෙසේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් ඉදි කරන්නට තීරණය කර තිබුණි.

උන් වහන්සේ නමින් මාඹුල්ගොඩ සුමනරතන හිමියන් ය. හෝමාගම, බ්‍රාහ්මණගම, දූව පුරාණ විහාරයේ විහාරාධිපති ය.

ඉඩම් කිහිපයක් සොයා බලා ඒවායේ මිල ගණන් විමසු විට සිහි වූයේ ඉඩම පමණක් නොව එහි ඉදිකිරීම් වෙනුවෙන් තවත් විශාල මුදලක් වැය වන බවයි. තමන් වහන්සේගේ වැටුපෙන් ඉපැයූ සියලු ධනය ඒ වෙනුවෙන් වැය කරන්නට උන් වහන්සේ ඉටා ගත්හ. සාමාන්‍යයෙන් කෝටි දෙකක පමණ මුදලක් එහි ඉදිකිරීම් වෙනුවෙන් වැය කරන්නට සිදුවන බව ද උන් වහන්සේ දැන සිටියහ.


ගොඩනැඟිල්ලට මුල්ගල තැබූ දා

මේ ආරංචිය කන වැකුණු එක් මහෝපාසිකාවක් සුමනරතන හිමියන් හමු වූවා ය. ඇය නමින් ඒ. කරුණාවතී ය.

‘‘අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේ කරන මේ උතුම් සත්කාරයට මම ඉඩමක් පරිත්‍යාග කරනවා. ඒ ඉඩම අපේ පුතෙක්ගේ නමින් තියෙන්නෙ. එයත් බොහොම කැමතියි. එතැන පර්චස් 27කට කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. මහපාරට ම මුහුණ දාලා තියෙන්නෙ‘‘ ඇය ඉතා ශ්‍රද්ධාවෙන් පැවසුවා ය.

ඉන් සොම්නසට පත් සුමනරතන හිමියෝ ඒ බව වෑතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දුන්හ. ඒ අනුව 2020 වසරේ සැප්තැම්බර් 8 වැනිදා අදාළ භූමි භාගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිණිස තෑගි ඔප්පුවකින් පවරා දෙන ලදී. ඒ කොට්ටාව හොරණ මාර්ගයට නුදුරු කිරිගම්පමුණුව - මහවත්ත ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඇති ඉතා වටිනා ඉඩමකි. එහි වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ 90කට ආසන්න ය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදි කරන්නට සුමනරතන හිමියන් වසර 30ක් පමණ සේවය කර උපයා ගන්නා ලද ධනය සියල්ල වැය කළහ. උන්වහන්සේ පරිහරණය කළ වාහනය ද විකුණා එම මුදල් ද පරිත්‍යාග කළහ. එයට වැය වූ සම්පූර්ණ මුදල රුපියල් කෝටි දෙකකට අධික ය. එමෙන්ම එහි වැඩ කටයුතු නිසි ආකාරයෙන් සිදු කරන්නට කමිටුවක් ද උන්වහන්සේ පත් කළහ. තම වැටුප් සියල්ල දායක සභාව හරහා මේ කාර්යයට උන්වහන්සේ යොමු කළහ.

‘‘මගේ අම්මා, ඒ කියන්නෙ රොස්ලින් නෝනා ජයකොඩි මෑණියන් මගේ පැවිදි පින්කමට සල්ලි හොයාගෙන තියෙන්නෙ කහතුඩුවෙ තිබුණු ඉඩමක් විකුණලා. ඒ දවස්වල පර්චස් 20 ඉඩම අම්මා විකුණලා තියෙන්නෙ රුපියල් 5000.00කට. අම්මා ඒ විදිහට තම ඉඩම් විකුණලා කරපු පින්කමට පුළුවන් විදිහට දායකත්වය දෙන්න තමයි මම මේ උත්සාහ ගත්තෙ.

විහාරාධිපති හිමි වශයෙක් කිසි විටක දායකයන්ට බරක් නොවී නිහඬ සේවාවක් කළ උන්වහන්සේ පාසල් ආචාර්යවරයකු ව සිට විදුහල්පති ධුරයටත් ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයටත් පත් වූහ. ඒ අතර උන්වහන්සේ ආචාර්ය උපාධිය ද ලබා ගත්හ.

විශ්‍රාම ලැබූ උන් වහන්සේ බවුන් වැඩීම වෙනුවෙන් වැඩි කාලයක් යොමු කළහ. ඒ අතර නිරතුරුව ම පොදු ජනතා සේවා කෙරෙහි ද අවධානය යොමු කළහ.

මෑණියන් වෙනුවෙන් මෙන්ම තම පියාණන් වූ ඒබ්‍රහම් රාජපක්ෂ මහතා හා තම ගුරුදේවයන් වහන්සේ ද වෙනුවෙන් උන්වහන්සේ මේ කටයුත්ත සිදු කළහ.

එවන් මහා පින්කමක් කළ ද එහි විවෘත කිරීමට හෝ උන්වහන්සේ නොවැඩිය හ. එය විවෘත කිරීම පසුගිය 15 වැනිදා සිදු කෙරිණි. පෙර දින (එනම් 14) පැවති පරිත්‍රාණ ධර්ම දේශනයට පමණක් වැඩම කර ආගමික කටයුතු සිදු කළහ.

එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් ලෙස බාරදීම ද මේ වන විට සිදු කර තිබේ. ඒ අනුව තම කාර්යය අවසන් බව උන් වහන්සේ පවසති.

විවෘත කිරීමට පෙර දින ආගමික වතාවත් පැවැත්වූ අවස්ථාව

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විවෘත කළ අවස්ථාව

වැඩ නිම කර ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන් 72කට රාජකාරි කටයුතු කළ හැකි ය. එමෙන්ම එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් පුහුණු කිරීමේ කටයුතු ද කළ හැකි ය. සුමනරතන හාමුදුරුවන් සිදු කළ අපරිමිත සේවාව සුළුවෙන් තැකිය නොහැකි ය. වර්තමාන භික්ෂූ පරපුරේ ආදර්ශයේ කැඩපතක් ලෙසින් සුමනරතන හිමියෝ හැඳින්විය හැක්කේ මේ කාර්යයන් දෙස බැලීමෙනි. කිසිවිටක ප්‍රසිද්ධිය හෝ වෙනත් තනතුරු තකා කටයුතු කර නැත. ආචාර්ය උපාධිය ලබාගෙන ද නිහඬ සේවාවක් බ්‍රාහ්මණගම වෙනුවෙන් සිදු කරමින් උන් වහන්සේ නිහඬව සිටින්නේ එහෙයිනි.