Print this Article


නිබඳව පරාර්ථ සේවය ම අගයන අත්තනගල්ලේ නායක හාමුදුරුවෝ

නිබඳව පරාර්ථ සේවය ම අගයන අත්තනගල්ලේ නායක හාමුදුරුවෝ

ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති, සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය ධුරන්ධර, ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාම, ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ සැත්තෑ පස්වන ජන්ම දිනය ජනවාරි මස 26 වැනි දිනට දී තිබුණි. මේ ලිපිය ඒ වෙනුවෙනි.

වර්ෂ 1947 ජනවාරි මස 26 වැනි දින වික්‍රමාරච්චිගේ පියසේන නමින් ජන්මලාභය ලද නාහිමිපාණන් වහන්සේ නිසි වයසට එළඹුණු කල්හි කඹුරාගල්ල විද්‍යාලයට ඇතුළත්ව පස්වැනි පන්තිය තෙක් සිප් සතර හැදෑරූහ.

පුරාකෘත පුණ්‍ය මහිමයෙන් සපිරුණු පියසේන කුල කුමරුවාණන්ගේ දේහ ලක්ෂණ දුටු අත්තනගල්ල රාජමහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත, සාහිත්‍යාචාර්ය අතිපූජ්‍ය වල්ගම්මුල්ලේ ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේගේ නිර්දේශයට අනුව අත්තනගල්ල රාජමහා විහාරයේ දී ප්‍රවෘජ්‍යා සම්පත් ලැබූහ.

ස්වකීය ආචාර්යයන් වහන්සේලාගේ සෙවණෙහි හිඳීමින් මූලික බණ දහම් හදාරා සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් ප්‍රමුඛ වියත් ඇදුරු මඬුල්ලේ සෙවණ ලබමින් දෙමටගොඩ විද්‍යාලංකාර පිරුවනින් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පන්ති සාමාර්ථ සහිතව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්හ.

පිරුණු විසිවයස් සපිරුණු පන්නිල ආනන්ද සාමණේර හිමියන් මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී දළදා ඉතිහාසය නම් ශාස්ත්‍රීය නිබන්ධනය සංඝ සභාවට ඉදිරිපත් කොට මඩුගල්ලේ ශ්‍රී ධම්මසිද්ධි මහ නාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට ගනිමින් උපසම්පදාව ලබා ස්වකීය නේතෘ විද්‍යාස්ථානය වූ බෝපැත්ත පිරුවනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති හිමියන් ලෙස ද අත්තනගල්ල විද්‍යාලයේ ගණිත ආචාර්යයන් වහන්සේ ද වශයෙන් අධ්‍යාපන සේවාව ආරම්භ කළහ. වර්ෂ 1973 සිට පස් වසරක් අත්තනගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පදවිය හොබවා එම ශාසනාරක්ෂක මණ්ඩලය ලක්දිව හොඳම ශාසනාරක්ෂක මණ්ඩලය වශයෙන් ජයකෙහෙළි නංවාලීමට නාහිමිපාණන් වහන්සේ පුරෝගාමී වූහ.

වර්ෂ 2000දී ස්වකීය ආචාර්යයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු අත්තනගල්ල රාජමහා විහාරස්ථානය ඇතුළු තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යයට පත් වූ නාහිමිපාණන් වහන්සේ අත්තනගල්ල රාජමහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේලා වෙත දිගුකලක් පුරා මල්වතු මහාවිහාරයෙන් පුද දෙනු ලබන සියනෑ, හේවාගම්, හාපිටිගම්, පරණකුරු සිව් කෝරළයේ නායක පදවිය හෙවත් සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ උපාධ්‍යාය පදවියෙන් ද සම්මානිත වූහ.

නිබඳ පරාර්ථ චර්යාව අගයනු ලබන නාහිමිපාණන් වහන්සේ දුරාතීතයේ පටන් විහාරස්ථානයෙහි පැවතුණු, එක් දිනකට සුවිසල් මුදලක් වැය වූ පෙරහර පුණ්‍යෙීත්ස්වය පැවැත්වීමට වඩා එම මුදල් පොදුජන මෙහෙවර වෙනුවෙන් වැය කිරීමට අදහස් කළහ. ඒ අනුව පෙරහර සඳහා වැය වූ මුදලින් සහ දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර උපකාර ලබමින් රට පුරා පාසල් සහ පිරුවන් සඳහා දෙමහල්, තෙමහල් ගොඩනැඟිලි ඉදි කරවීම ආරම්භ කළහ. ජාති ආගම් භේද නොසලකමින් මේ වන විට රට පුරා පාසල් ගොඩනැඟිලි 40ට ආසන්න ප්‍රමාණයක් ඉදි කරවා ඇත.

උපතින් සැත්තෑ පස් වන විය සපුරන නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ජනවාරි 20 වැනි දින සිට 26 වැනි දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට ශිෂ්‍ය සහ දායක පිරිස කටයුතු සම්පාදනය කොට තිබුණි. ඒ අනුව පොළොන්නරුව අභයපුර මහාවිද්‍යාලය,

අල්ගම මහාවිද්‍යාලය, පස්යාල මහාවිද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක නාහිමියන්ගේ අනුග්‍රහයෙන් තැන වූ ගොඩනැඟිලි සිසු අයිතියට පැවරීම, යක්කල චන්දජෝති විද්‍යාලයේ නව ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීම , අක්ෂි කාච සහ දිළිඳු පවුල් සඳහා වියළි සලාක පිරිනැමීම, ආශිර්වාදාත්මක බෝධි පූජා ඇතුළු පින්කම් රාශියක් සිදු කිරීමට නියමිතව පැවතුණි.

ජන්ම දිනය සමරන නාහිමිපාණන් වහන්සේ හට විංශත් ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික මෙහෙවරෙහි යෙදීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.