Print this Article


සොබා දහමේ අසිරිමත් නිමැවුම්

සොබා දහමේ අසිරිමත් නිමැවුම්

උඳුවප් මාසයේ යෙදෙන පුරපසළොස්වක පොහොය උදාවත් සමඟම වර්තමානයේ සිරිපා වන්දනා සමය ඇරඹේ.එම වන්දනා සමය වෙසක්පුර පසළොස්වක පෝදා තෙක්ම පැවැත්වේ.

අතීතයේ දී ඉතා දුෂ්කර වන්දනා ගමනක් වූ ශ්‍රීපාද වන්දනා සමය වර්තමානයේ දී ප්‍රධාන අවශ්‍යතා ඉටුවීමෙන් වඩාත් පහසු වී ඇත.

රත්නපුර, පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සිට සෙත් පිරිත් මෙන්ම විශේෂ දේව පූජා සිදු කර රන්මුවා සුමන සමන්දේව ප්‍රතිමාව හා සධාතුක කරඬුව දේවාලයේ රිදී කොත්වහන්සේ ද රැගත් විශේෂ රිය පෙරහරක් සබරගමුව මහ සමන් දේවාලයට පැමිණේ.

ඒ අවස්ථාවේ දී විශේෂ සෙත් පිරිත් සජ්ඣායනා පවත්වා සුමන සමන් දෙවිඳුන්ට පුද පූජා පවත්වා සිරිපාද වන්දනා සමය ආරම්භ කිරීමට සමන් දෙවියන්ට සමන්ගිර වෙත වැඩම කරන්නැයි ආරාධනාවක් කරනු ලබයි. ඉන් පසුව එම රිය පෙරහර හැටන් මාර්ගය ඔස්සේ සීත ගඟුලට පැමිණේ. පෙරහරේ රැගෙන පැමිණි දේව රුව සීත ගඟුලේ ජලයෙන් නහවා පා ගමනින් ම සිරිපා මලුවට වැඩම කරවති.

උඳුවප් පුර පසළොස්වක පොහොය දින උදෑසන යෙදෙන සුබ මොහොතින් ක්ෂීරපායාස පූජාවෙන් පසුව ඉදිරි වසර සඳහා සිරිපා වන්දනා සමය ආරම්භ වේ.

සිරිපා රක්ෂිතයට මායිම් ව පිහිටා ඇති සොබාදම් මවගේ සුන්දර දායාදය “වන හපුවේ රූප ගල්ලෙන” ගැමියන්ගේ පූජනීයත්වයට, ගෞරවයට පාත්‍ර වූ ගුප්ත හාස්කම් කැටිකොටගත් තෝතැන්නකි.

මෙම ගල්ලෙන සොයා ගිය ගවේෂකයෙක් ඒ පිළිබඳව මේ ආකාරයෙන් විස්තර කොට තිබුණි. වනවාසී කුඩාවේ පේමාලෝක හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙම ස්ථානය සොයා ගිය ද, මං සලකුණු කීප විටක් ම වැරදිනි. මං මුළා වූ මොහොතක ගැමියකුගේ උපකාරයෙන් ගල්ලෙන සොයා ගැනීමට හැකි විය. ඉන් අනතුරුව යම් ස්ථානයක වූ ලෙන් දොරකින් ඇතුල් වී පොළෝ ගැබට කිඳා බැස්සෙමි. අතට අසුවන මානයේ වූ ස්වභාවික නෙරුම් මත එල්ලී යාන්තමින් රූටා ගොස් අවසානයේ එරීයන තෙත බරිත බිම් කඩක පා තැබුවෙමි.

තව තවත් යටට බිත්තියේ ඇති නෙරුම් මත පියවර තබමින් එල්ලී , පැද්දී අඩි විස්සක්, තිහක් පමණ පහළින් වූ වේදිකාවක් මතට පිවිසුණෙමි. ඉහළ වහලයේ සිට පහළට එල්ලෙන, සුදිලෙන තල සහිත උල් හැඩැති නෙරුම් රැසකි. ගුහාව ඈත කෙළවර පියාපත් විදාගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ පක්ෂියෙකි. ඒ දසුන දැකීමෙන් හදවත මොහොතකට නැවතුණා සේ දැණුනි. මෙම ගුහාව තුළින් ගලා යන දිය දහරාව විය යුතු යැයි අනුමාන වේ.

මා සමඟ ගමනට එක් වූ අයෙක් පසෙකින් අහුලාගත් ගල් ගෙඩියක් ජල ධාරාව පතුලට පෙරළමින්” මෙය කොපමණ ගැඹුරු ද දන්නේ නෑ නේද?” යැයි ඇසී ය. මේ ජල දහරාවට ගල් පෙරළුවා ම හොඳට ම වැසි වහිනවා” වැසි නැති කාලයටයි අපි මේකට ගල් පෙරළන්නේ යැයි තවත් කෙනෙක් පැවසී ය.

එම ගල් ගුහාවෙන් එළියට පැමිණ ටික වේලාවකින් මහ හඬින් ගුගුරවමින් ගිනි දවාලයේ විදුලි කොටා තද සුළඟක් හැමීය. හිරු ද සැඟවුණි. අහස අරක්ගත්තේ පාවී ආ කලු වළා ය.කඳු මුදුන් මත මීදුම් වළා කැටි ගැසිණි. මොහොතින් හෙණ හඬ නංවමින් අනෝරා වැසි ඇදහැළුණි.

සොබා දහමේ අසිරිමත් නිමැවුම් විසිරී ඇත්තේ මිහිමඬල මත පමණක් ම නොවේ. පොළෝ ගැබ තුළ සඟවා සුරක්ෂිත කර ගත් සුන්දර නිර්මාණ රැසක් ද පවතී.