[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෛත්‍රි සිත දෙලොව යහපත උදා කරය

මෛත්‍රි සිත දෙලොව යහපත උදා කරයි

මෛත්‍රිය බුදුදහමේ හදවතය, මිනිසාට පමණක් නොව සතා සීපාවාට ද, ගහට කොළට ද මෙත් සිත පැතිරවීම බුදුදහමේ ඉගැන්වීමයි. ඉතා සුළු දෙයකට වුව ගහ බැණ ගනිමින් වටිනා මිනිස් ජීවිත අහිමි කිරීම් දක්වා මිනිස් සිත දරුණු වූයේ මන්ද යන්නත්, බුදුදහමේ ආභාසයෙන් ජන සිත පැලපදියම් වූ මෙත්තා, කරුණා, මුදිතා. උපේක්ඛා ආදි රන්, රිදී, මුතු, මැණික් අගය පරදන ගුණධර්ම ජන හදවතින් වාෂ්ප වූයේ ඇයි ද යන්නත් අප සිතා බැලිය යුතු ය.

ලක්දිව රන් දෙරණ ගුණ ගඟ සිඳී යාම අද අප මුහුණපාන බොහෝ අකරතැබ්බයනට – දුක්ඛිත තත්ත්වයනට හේතු බැව් මැදහත්ව නුවණින් විමසා බලන කාට වුව සක්සුදක් සේ පැහැදිලි ය. එනිසා මෙබඳු දහම් ලිපි කියැවීමට භාග්‍යවන්ත වූ ඔබ සදහම් මිණි බරණින් දිවි බබළවා මෙලොව දියුණු ව ද පරලොව විමුක්තිය ද උදාකර ගනිත්වා. එවිට එබඳු මිනිසුන්ගෙන් සුසැදි රට සමාජය බිය තැති ගැනීමක් නැති ශාන්තිදායක තැනක් වෙයි.

අනෙකාගේ දියුණුව සුභසිද්ධිය පැතීම, ඊට වැඩ සැදීම මෛත්‍රියයි. අනෙකාගේ දියුණුවට ඇති අකමැති බව ද ඊට අකුල් හෙළීමද මෛත්‍රියේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයයි. ඊර්ෂ්‍යාවයි. මෙත් සිත් ඇත්තෝ ජාති, වර්ග, වර්ණ, ආගම් බේදාදියෙන් තොරවූ සෑම සියලු දෙනාම සමස්ත සත්ව සංහතියම සුවපත් වෙත්වායි යන පැතුම ප්‍රාර්ථනාව හද දරති. හුදු වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ම හදින් පැතූ මෛත්‍රිය දිස් වේ නම්, සැබෑම මෛත්‍රිය එයයි.

එකම දරු ඇති මවක අපමණ පුත්‍ර ස්නේහයක් ඒ දරුවා කෙරෙහි දක්වයි ද එබඳුම මෛත්‍රියක් සමස්ත සත්ව සංහතිය කෙරෙහිම පැවැත්විය යුතුය යන්න බුද්ධාවවාදයයි.

බුදු පියාණෝ වදාළ දෙය දෙසූ දෑ ක්‍රියාවෙන් පෙන්වූ ශාස්තෘවරයෙකි. එබැවින් උන්වහන්සේ යථාවාදී තථාකාරි ගුණයෙන් යුතුවූ ආගමික ශාස්තෘවරයෙකි. තුන් ලොවටම පතළ මෙත් ඇති බුදුරජාණන් වහන්සේ දවසකට හෝරාවකුත් මිනිත්තු කිහිපයක් වැනි ඉතාම කෙටි කාලයක් කය සතපා ගැනීමට විවේක ගෙන පසුව ඉතිරි හෝරා ගණනම අපමණ දෙව් මිනිසුන්ගේ හිත පිණිස ද, සුව පිණිස ද, ඔවුනගේ ඓහලෞකික. පාරලෞකික උභය විමුක්ති, සාධනය පිණිසද, කරුණා සීතල හදින්, නොහිම් මෛත්‍රියෙන් යුතුවැ පුරා පන්සාළිස් වසක්ම බුදු කිසෙහි ව්‍යාවෘත වූ සේක.

දස දහසක් සක්වළ වසා නුවණ දැල එළමින් දවසට වාර දෙකක් මහ කුළුණු සමවතට වැද පිහිට විය යුතු අසරණවූවන් තෝරා සොයා උන්වහන්සේ ගව්ගණන් දුර දඹදිව සිව්දිසාවෙහි පාගමනින්ම වැඩි සේක. සුනීත, සෝපාක, රජ්ජුමාලා, මට්ටකුණ්ඩලී. අංගුලිමාල කථා පුවත් බුදු කරුණාව, මෛත්‍රිය, ලොවට කියාපාන අතළොස්සක් වූ අවස්ථාවන් කිහිපයකි.

එදා ලක්දිව මහියංගණයේ කඳවුරු බැඳ මහා සංග්‍රාමයකට සැරසුණු යක් සෙනඟ විසරුවාලූ බුදුපියාණෝ මහා ජන සංහාරයක් පතළ මෙත් ගුණ කදම්භයේ මහිමයෙන් නවතාලූහ. මිණිපළඟක් අරබයා යුද වැදී චූලෝදර – මහෝදර නා රජ ආරවුල නැවතී. සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකුණේ ද බුදුරදුන් දෙවැනි වර නාගදීපයට වැඩම කළ නිසාවෙනි. පසුව මණිඅක්ඛිත නාරදු ඇරයුමෙන් උන්වහන්සේ කැලණියට වැඩි සේක. මෙලෙස අවස්ථා තුනකදීම බුදුපියාණෝ ලක්වැසි අප කෙරෙහි පතළ අනුකම්පා වෙන්මැ, කරුණා මෛත්‍රි අධ්‍යාශයෙන්ම ලක්දිව වැඩමවා බුදුසිරිපා පහසින් අප රට පූජනීයත්වයට පත් කළ සේක.

මහ බෝසතාණන් වහන්සේ බුදු බව පතා පෙරුම්පුරණ සමයේ ගත කළ ජීවිත අන්දරයන් තුළින් ද මෛත්‍රිය හුරු පුරුදු කළ ආකාරය විස්මය ජනක ලෙසින් ඉස්මතු කරවයි. වනයේ විෂඝෝර මාපිල්, පිඹුරු , සර්පයන්ගෙන් ද, චණ්ඩ සිංහ, ව්‍යාඝ්‍රාදී . වන සතුන් ගෙන් ද උන්වහන්සේට එදා කිසිඳු උවදුරක් සිදුනොවුණේ ය. වන මෘගයෝ සාමකුමරුන් හා කුළුපගව බැඳී සතුටින් කල් ගෙවූහ. සාම ජාතකයෙන් මේ බැව් මනාව පැහැදිලි වෙයි. මේ වූකලී මෛත්‍රිය පැතිරීමේ ආනිසංස කදිමට නිරූපණය වීමකි. බුදුරදු අපමණ මෙත් බල අභියස දුර්දාන්ත නාලාගිරි ඇත් රජ ශාන්ත ව දමනය වී බුදුසිරිපා පාමුල වැඳ වැටුණේ ය.

මෛත්‍රිය ඇති තැන සෑම සත්වයකුගේම පණ නල නිරුපද්‍රිතය. එදා ලක්දිව ධර්මිෂ්ට සමාජයේ මිනිස් ක්‍රියාකාරකම් තුළින් ද විදහා පෑවේ කරුණාවය. මෛත්‍රියය.

එදා එසේ වුවද දැන් දැන් පාපතරයෝ එළු, ගව, කුකුළු ආදි සතුන් දිවි තොර කරති. අහිංසක සතුන්ගේ පණසුන් ඇඟ මස තම දිව නහර රස පිනවන රස මසවුළු බවට පෙරළති. යහගුණ අගයන මිනිසත් ගුණ යුතු කවුරුන් මෙබඳු ක්‍රියා පිළිකෙව් කරති. අහිංසක සතා සීපාවන් දිවි නැති කරන, වධ දෙන මෙවැනි පවිටු වැඩ සංවේදී හදැති මිනිසාගේ නෙතට කඳුළක් ද හදට තිගැස්මක් ද, ඇති කරයි. පස්ගෝරසයෙන් අපට සංග්‍රහ කරන “කිරි අම්මා” ඝාතනය කිරීමද, සෙසු සත්වයනට මිනිසාට මස් පිණිස බිලිවීමට සිදුවූව ද, විශ්ව මාතාව කෙලෙස උහුලයි ද යන්න මිනිස් සිත යළි යළිත් සිතා බැලිය යුතු තීරණාත්මක හෝරාවකට අප අද පිවිස සිටිමු. කවර ආගමිකයකු වුව මෙවන් පහත් ක්‍රියාවල නියැළීම මිනිස් කමට කරනු ලබන බලවත් නිගාවකි. උතුම් මනුෂ්‍යත්වය කෙළෙසීමකි.

මෛත්‍රි හදින් යුතු ජන සමාජය තුළ පරපණ නැසීම් නොමැත. ජීවිත සුරක්ෂිතයැ. දේපළ සුරක්ෂිතයැ. පවුල් සංස්ථාවේ පැවැත්ම යහපත්යැ. රැවටීම, වංචාව , මුසාව ඒ තුළ දක්නට නොලැබෙයි. එනිසාම එකිනෙකාට හිතකාමි පරිසරයක විසීමේ අවස්ථාව මිනිසාට මෙන්ම සතා සීපාවාටද උරුම වෙයි. බිය, සැක කලකෝළාහ, බැණ වැදගැනීම්, ඇන කොටා ගැනීම්, මේ සියල්ල මෛත්‍රිය වාෂ්ප වූ මිනිස් හදවතෙහිය.මෛත්‍රී හද සන්තානයකින් ලොවැ සැවොම පොහොසත් නම් මුළු ලොවැ එකම ක්ෂේම භූමියෙකි. කෙනෙකුගේ හදවත මෛත්‍රියෙන් පිරී තිබේ නම් එවැන්නෝ අනෙකාගේ හිත සුව පිණිසම තම කයින් කෙරෙන ක්‍රියා පවත්වති. හසුරුවති. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන අකුසල් එවැන්නකු කය මෙහෙයවා සිදු නොකරයි.

ඔහුගේ වචන ද අනෙකාගේ හදට සැපයකි. සැනසීමකි. සිත ගත සනසන හෘදයාංගම පේ‍්‍රමණීය මුදු මෙළොක් පිය වදනට සතා සීපාවාද කැමතිය. එනිසා මෛත්‍රි සහගත හදවත් වදනට සතා සීපාවාද කැමතිය. එනිසා මෛත්‍රි සහගත හදවත් ඇත්තෝ නිති පියමුදු තෙපුළින්ම අනෙකාට සංග්‍රහ කරති. හද සනසවති. කිසිවිටෙක කෙනෙකුගේ හද පෑරෙන රළු පරළු දළදඬු වදන් නොතෙපළයි. අනුන් සැපවත් වෙත්වා – සුවපත් වෙත්වායි සිතමින් සෙත් පැතීමද මෛත්‍රි හදක ගුණාංගයකි. මෙත් සිත් සහගතවැ අනුනගේ කටයුතු හොඳින් ඉටුකරදීම , මව්පිය උපස්ථානය , ගිලනුන්ට උවටැන් කිරීම, දන්දීම, පරෝපකාරය යන මේ සියල්ල සිත පහදාගෙන සැදැහැසිත් උපදවා ඉටු කරයි නම් එය මෛත්‍රී කාය කර්ම පින්කමයි. අනුනට හිත වැඩ පිණිස මෙත් සිත් පෙරදැරිව කරන කතාබහ මෛත්‍රි වචී කර්මයි. බෝමැඩ බුද්ධත්වයේ පටන් මහා පරිනිර්වාණය දක්වා බුදුරද සිරිමුවඟින් නික්මුණු වාග්ධාරාව, තෙවළා දහම සාකල්‍යයෙන්ම මෛත්‍රී වචී කර්ම යි. මෛත්‍රි මනඞ කර්ම යනු සමස්ත සත්ව සංහතියට ම මෙත් වැඩීම මෙත් සිත පැතිරවීමය. මෛත්‍රි වචීකර්ම, කාය කර්මයනට මුල් වන්නේ ද ප්‍රධානවන්නේ ද මෛත්‍රි මනඞ කර්මයයි. මෙලෙස මෛත්‍රි සහගත කායකර්ම, වචීකර්ම හා මනෝ කර්ම, රළු පරළු සිත් ඇති අදෘෂ්‍යමාන සත්ව කොට්ඨාසයන්හි පවා සිත් පහදාලීමට මහෝපකාරි වෙයි. නිතර නිතර මෙත් සිත වඩන්නාට නොපෙනෙන සත්වයන්ගෙන් වන අපකාර පහවැ උපකාර බොහෝ වනු ඇත. අනුන් සුවපත් වෙත්වා කිසිවෙකුට දුකක් විපතක් නොවෙත්වායි සිතා කෙනෙකු තම සිත කය වදන පවත්වයි නම් හුරුපුරුදු කරයි නම් සැබැවින්ම ඒ වූ කලි මෛත්‍රිය නම් වූ බුද්ධාංකුර ධර්මය වැඩීමකි. ප්‍රගුණ කිරීමකි.

මෙම ලිපියේ ඉතිරි කොටස දුරුතු අමාවක පෝදා ( 31) පත්‍රයේ පළවේ.

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]