[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුලියාපිටිය ඇස්සැද්දුම විහාරයේ දුරුතු මහ පෙරහර 29 දා

කුලියාපිටිය ඇස්සැද්දුම විහාරයේ දුරුතු මහ පෙරහර 29 දා

විහාරස්ථානයේ අභිමානය පිළිබිඹු කිරීමකි

තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම රැගෙන මෙරටට වැඩම කළහ. එම සිදුවීම මෙරට ඉතිහාසයේ ස්වර්ණමය සංසිද්ධියකි. උන්වහන්සේ දේශනා කළ බුද්ධ දේශනාවට සවන්දුන් දේවානම්පියතිස්ස රජතුමා රටේ ප්‍රධාන පුරවැසියා ලෙස බුදුදහම වැළඳ ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්දිවට පූජනීය වස්තු හා කලා ශිල්ප රැසක් උරුම විය.

බුදු දහමේ ආභාසයෙන් මෙරටට උරුම වූ කලා ශිල්ප අතර පෙරහරට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කරවූ තැන් පටන් ඒ සඳහා විවිධ පුද පූජා, පෙරහර පැවැත්වූවා සේම ශ්‍රීමත් දළදා වහන්සේ වැඩම කරවූ අවස්ථාවේ සිට ඒ සඳහා ද ඊටත් වඩා උසස් අයුරින් පුද පූජා හා පෙරහර පවත්වන ලදී. පසු කළ දළදා වහන්සේ ලක්දිව රාජ්‍ය සංකේතය ද වූහ.

වංසකතා තොරතුරුවලට අනුව දළදා පෙරහර ආරම්භ වී ඇත්තේ ක්‍රි.ව. 4 වන සියවසේ දී ය. කිත්සිරිමෙවන් රජ දවස රාජකීය දළදා මැදුරේ සිට අභයගිරි විහාරයට දළදා වහන්සේ පෙරහරින් වැඩම කරවා පුද පූජා පවත්වා ඒ සඳහා පුද පූජා විධි නියම කළ බව ද සඳහන් වේ. එතැන් සිට දළදා වහන්සේ අරමුණු කරගෙන වාර්ෂික ව පෙරහර පැවැත්වීම සිදු කළ බව ඉතිහාස තොරතුරුවල සඳහන් වේ.

වර්තමානය වන විට මහනුවර ඇසළ පෙරහරට අමතර ව ලක්දිව විවිධ ඓතිහාසික සිද්ධස්ථානවල , පළාත් මට්ටමින් විවිධ විහාරස්ථානවල ද වාර්ෂික ව පෙරහර පැවැත්වීම අප රටේ සම්ප්‍රදායන් බවට පත්ව ඇත. ඒ අතරට වයඹ සත්කෝරලය කේන්ද්‍ර කරගෙන කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරයීය “කුලියාපිටිය දුරුතු මහ පෙරහර” එක් වී තිබීම ද අතිශයින්ම අගය කළ යුතු ය.

වාර්ෂිකව පවත්වනු ලබන කුලියාපිටිය දුරුතු මහ පෙරහර 25 වන වරටත්, විහාරස්ථානයට වසර සියයක් පිරීම නිමිති කොට 2020 ජනවාරි 31 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කළහ. ඉන්පසු ලෝකයේත් අප රටේත් පැතිර ගිය කොවිඩ් 19 රෝග වසංගත උවදුර නිසා 2021 ජනවාරි මස 31 දින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව චාරිත්‍රානුකූල තේවා කටයුතුවලට සීමාකර පෙරහර පැවැත්වු අතර 27 වෙනි වරට මෙවර ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව මේ මස 29 වන දින මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තායි රාජා මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරහර වීථී සංචාරය කෙරේ. එය සාර්ථක කරගැනීමි සඳහා ඔබ සැමගේ දායකත්වය ශාසන දයාවෙන් අපේක්ෂා කරමු.

බුද්ධාදී සූවිසි ගුණ බලයෙන් සිරි දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී බෝ හාමදුරුවන්ගේ පිහිටෙන් ලංකාවේ හා ලොවේ පැතිර පවතින රෝග වසංගත උවදුරු දුරු වී ලැබුවා වූ නව වසර නිරෝගිමත් හා සමෘද්ධිමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

****

ජාතික ශාසනික මෙහෙවර ප්‍රශංසා කටයුතුයි

මීට දසක තුනකට පමණ පෙර චාම් ලෙස ඇරැඹි ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ දුරුතු පෙරහර ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් අද වන විට ප්‍රදේශයේ ,ඉතාම දර්ශනීය පෙරහරක් බවට පත්ව ඇත. 27 වැනි වතාවටත් මේ මස 29 දින පෙරහර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දැනගන්නට ලැබීමෙන් ඉමහත් සතුටට පත්වීමි.

සිය පනස් දෙවැනි ජන්ම දිනය ද සමරමින් 27 වැනි වරටත් කුලියාපිටිය දුරුතු මහා පෙරහර පවත්වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති පූජ්‍යතර පල්ලේකාගම රතනභාරතී ස්ථවිරපාදයන් වහන්සේ පුරාතන සිංහල පෙරහර සංස්කෘතික උරුමයට ජීවය ලබා දෙන වයඹ සත්කෝරලයේ බෞද්ධ කලා මහා මංගල්‍යය වූ කුලියාපිටිය දුරුතු මහා පෙරහරේ පුරෝගාමියාණෝ වෙති.

තම ගුරුදෙවයන් වහන්සේ වන මහාචාර්ය කබලෑවේ පියභාරති අනුනායක මහා ස්වාමි පාදයන් වහන්සේ “සංඝමිත්තා පෙරහර නමින් ආරම්භ කළ පුංචි පෙරහර අද මහියංගනය, කැළණිය ගංගාරාම පෙරහර ආදී මහා පෙරහර මංගල්‍යයන් මෙන් වයඹට ද මහා පෙරහරක් ලෙස දායාද කිරීමට පල්ලේකාගම රතනභාරති ස්ථවිර පාදයන් වහන්සේ සමත් ව සිටිති.

අප නිකායික පිළිවෙත් ආරක්ෂා කරගෙන තරුණ භික්ෂුවක් ලෙස ප්‍රශංසනීය ආගමික, ජාතික, සමාජික මෙහෙරවරක් සිදුකරන අපේ රතනභාරති ස්ථවිර පාදයන් වහන්සේ නිකාය තුළින් ද පැවරෙන රාජකාරි නිසි අයුරින් ඉටු කිරීම ද සතුටට කරුණකි.

දිනෙන් දින අංග සම්පූර්ණ වෙමින් පවතින මෙම දුරුතු පෙරහර නිසා දැනට මෙම විහාරස්ථානය ලංකාවේ ප්‍රසිද්ධ විහාරස්ථානයක් බවට පත් ව ඇත. ඒ සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනු ලබන්නේ ද අපේ රතනභාරතී ස්ථවිරපාදයෝ ය. වර්තමානයේ රට තුළ පවතින රෝග පීඩා නිසා ගිය වර්ෂයේ මෙන් ම මෙවර ද වෙනදා මෙන් උත්කර්ෂවත් ලෙස පෙරහර පැවැත්වීමට නොයෙක් බාධා තිබෙන බව අපි කවුරුත් දනිමු. එහෙත් සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් චාරිත්‍ර වාරිත්‍ර නිසි සේ පවත්වමින් පෙරහර අඛණ්ඩ ව පැවැත්වීමට ගන්නා උත්සාහය නිසා සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් මෙවරද ඇස්සැද්දුම ශාසනාලංකාර විහාරස්ථානයේ පෙරහර දැනගන්නට ලැබී ඇත.

මෙවර 27 වැනි වරට පැවැත්වෙන මෙම දුරුතු පෙරහර තවත් චිරාත් කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා පල්ලේකාගම රතනභාරතී ස්ථවිරපාදයන් වහන්සේට හා පෙරහර සංවිධාන කමිටුවේ සියලු සාමාජිකයන් වෙත ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා’යි ප්‍රාර්ථනා කරම්හ.

****

සියලු දෙනාගේ කැපවීම සතුටට හේතුවකි

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරය ආරම්භය සනිටුහන් කරන්නේ 1921 පමණ ය. 1921 මැයි 20 වැනි දින එහි පළමුවරට ධර්ම ශාලාවක් හෙවත් බණ මඩුවක් තනා පළමු ධර්ම දේශනාව පවත්වා ඇති බව ශාසනාලංකාර විහාර වංශයේ සඳහන් ය. අද වන විට එය සියවසක් සම්පූර්ණ කර තිබේ.

පොල්අතු සෙවිලි කළ කුඩා බණ මඩුවක් තුළ රැස් වූ සුළු පිරිසක් උදෙසා පැවැත් වූ ධර්ම දේශනාවකින් අරැඹි මේ පන්සල අද වන විට ආගමික වශයෙන් මෙන් ම සංස්කෘතිකමය වශයෙන් ද සරුසාර අස්වනු නෙළනු හැකි බෞද්ධ කේන්ද්‍රස්ථානයක් බවට පත් ව තිබේ. මාහෝපාධ්‍යාය අතිපූජ්‍ය කට්ටමුරිච්චානේ සිරි සුභාරතීි මාහිමිපාණන් වහන්සේ ගේ විහාරාධිපතිත්වයෙන් ආරම්භ වී අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ව වැඩිවිසූ මහාචාර්ය අතිපූජ්‍ය කබලෑවේ පියභාරතී හිමියන්ගේ විහාරාධිපතිත්වය යටතේ තවදුරටත් මෙම විහාරස්ථානය දියුණුවට පත්විය.

උන්වහන්සේගේ විහාරාධිපතිත්වය යටතේ 1994 උඳුවප් පොහෝ දින කුඩා හා සරල පෙරහරක් ලෙස සංඝමිත්තා පෙරහර නමින් පවත්වන්නට යෙදුණ පෙරහර සංකල්පය ශාසනාලංකාර කුලඟන සමිතියේ යෝජනාවකින් ආරම්භ කෙරිණ. උන්වහන්සේගෙන් පසුව ශාස්ත්‍රපති පල්ලේකන්දේ රතනභාරතී හිමියන් විහාරාධිපති ධූරයට පත් වූ පසුව උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ උන්වහන්සේගේ ගුරුවරයාණන් වහන්සේලා විසින් ආරම්භ කරන ලද ශාසනික, සමාජයීය හා සංස්කෘතික අංශවලට අදාළ කටයුතු අපට හැකි පමණින් ඉටුකරමින් තවදුරටත් විහාරස්ථානය දියුණු පමුණු කිරීම ය. ඒ අනුව විහාරස්ථ දායක සභාව සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනඟමින් ප්‍රදේශවාසීන් සැදැහැවතුන්ගේ මෙන් ම අන්‍යාගමික පින්වතුන්ගේ ද නොමසුරු සහාය විහාරස්ථාන යේ අභිවෘද්ධිය සඳහා දායක කර ගැනීමට හැකියාව ලැබුණි.

අප විහාරස්ථානය මඟින් සංවිධානය කෙරෙන වාර්ෂික දුරුතු මහා පෙරහර පවත්වන්නට කටයුතු සැලසුණේ ඒ අනුව ය. එදා සංඝමිත්තා පෙරහර ලෙස මුල් පියවර තැබූ එම සුළු ප්‍රමාණයේ පෙරහර අංග කීපයක් පමණකින් ආරම්භ වූ නමුත් අද වන විට මහා පෙරහරක තිබිය යුතු අංග සියල්ල ම පාහේ ඇතුළත් වන පරිපූර්ණ පෙරහරක් බවට පත් ව තිබේ. මෙ තරම් සාර්ථක පෙරහරක් වාර්ෂිකව සංවිධානය කිරීමට අපට හැකි වී තිබෙන්නේ අප නව විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වය යටතේ එහි සංවිධානය භාරගත් මනාක්‍රියාකාරි සාමාජික පිරිසකගේ එකමුතුවෙන් සැදි දුරුතු පෙරහර කමිටුව ද ඊට සහාය දෙන විහාරස්ථ දායක සභාව, කුලියාපිටිය තරුණ බෞද්ධ සංගමය, විහාරස්ථ අනුලා කුලඟන සමිතිය. දහම් පාසල් සමිතිය, නාගරික වෙළඳ ව්‍යාපාරික සංගමය, කුලියාපිටියේ විවිධ බැංකු හා මූල්‍යායතන ඇතුළු විවිධ ආගමික පූජක පක්ෂවල හා සැදැහැවත් පොදු ජනයාගේ සහභාගිත්වය හා කැපවීම නිසා ය.

දුරුතු 29 වැනි දින පැවැත්වෙන මෙම දර්ශනීය බෞද්ධ පෙරහර පැවැත්වෙන්නේ 27 වැනි වරට ය. පුරා වසර දෙකක් ම පැවැති වසංගත රෝග තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට ම කොටු වී සිරවී සිටි පොදු මහජනයාටත් විශේෂයෙන්ම පාසල් දරුවන්ටත් ඔවුන්ගේ මානසික ආතතියෙන් මදක් හෝ මිදීි සහනයක් ගන්නට මෙය මහඟු අවස්ථාවක් වනු ඇතැයි අපගේ විශ්වාසය යි. එහෙයින් පවතින සෞඛ්‍ය නීතිරීති වලට අනුගතව ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් පෙරහර සංවිධානය කෙරෙන අතර නරඹන්නන් ද එය අකුරටම පිළිපදිනු ඇතැයි සංවිධායක කමිටුව උදක්ම බලාපොරොත්තු වෙයි.

****

සමස්ත බෞද්ධ ජනතාවගේ කෘතවේදිත්වය

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානුබද්ධව 27 වන වරටත් සංවිධානය කෙරෙන ‘2022 දුරුතු මහා පෙරහර’ වෙනුවෙන් සකස් කරනු ලබන සමරු කලාපය සඳහා සුබ පැතුම් පණිවිඩයක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් අතිශයින්ම සතුටු වෙමි.

මහාචාර්ය කබලෑවේ පියභාරති හිමියන්ගේ අපවත් වීමෙන් පසු, වර්තමාන විහාරාධිපති ධුරය හොබවන ශාස්ත්‍රපති පල්ලේකාගම රතනභාරතී හිමියෝ ශාසනික මෙහෙවරෙහි මංපෙත් තව තවත් පුළුල් කරමින් සිය ශාසනික කාර්යභාරය අවිච්ඡින්නව පවත්වාගෙන යාම ගැන සමස්ත බෞද්ධ ජනතාවගේ ම කෘතවේදීත්වය විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිමි විය යුතුය.

ප්‍රදේශවාසීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ද, දානපතියන් සහ අවට ආගමික සිද්ධස්ථානවලද සහභාගීත්වය ලබාගෙන පෙරහර කටයුතු සංවිධානය කිරීමෙන් අප නායක හිමියන් ගම සහ පන්සල එකට යා විය යුතුය යන බෞද්ධ සංකල්පය ප්‍රායෝගික ව කරවීම රටේ සෑම බෞද්ධ විහාරස්ථානයකට ම මහඟු ආදර්ශයක් යැයි මම විශ්වාස කරමි.

මෙම අසිරිමත් පෙරහර වඩාත් උත්කර්ෂවත් අයුරින් පවත්වා ගැනීමට ගරුතර නායක හිමියන් ඇතුළු සියලු ම දායක කාරකාදින්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]