[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී නිර්මාණය

වැස්සට පසු

බඳුනේ හදපු රෝස පඳුරේ
දළු දමලා මල් හැදිලා
වරුසාවේ පහස ලබා
හිනැහෙන හැටි හරි පුදුමයි

මිදුල කොනේ ඇති මැස්සේ
උඩවැඩියා මල් හැදිලා
උඩරට නැට්ටුවන් විලස
පිපුන මලේ රුව කදිමයි

තේවත්තේ දේවාලේ
බාරහාර වන නුග ගහ
වැහි බිඳු බී දෑස වසා
සැතපෙන හැටි දැකුම සුවයි

එහා ගමේ කුඹුරු යාය
මහ වැස්සට යට කරලා
බණ්ඩි ගොයම බිමට නැමී
හඬනා හැටි සිතට දුකයි

ගංවතුරෙන් පැල් කොටයම
තෙත බරිතව දෝරේ ගලා
පැලේ පවුල බණ මඩුවේ
සෙවණ ලබන හැටි අරුමයි

තේවත්තේ මහ නුග ගහ
නාය ගිහින් මුල් සිඳිලා
ලැයිම උඩට කඩා වැටිලා
විලාප හඬ හද හඬවයි

****

සිතුම් පැතුම්

සංසාර අරණේ
දිගු කල් වසන අප
සසර ගැන නොදන්නා
අහිංසක දරුවනට

පස්පව් වලින් වැළකී
ගුණ නැණ සමුදාය
අවබෝධකර නිති
යහමඟට ගන්නට
බුදු මඟට පිවිසෙන්නට

මෙත් කරුණා සිතින්
මා කළ සදහම් මෙහෙවර
සනිටුහන් කරමි
හද බැතියෙන්

පස් විසි වසරක් පුරාවට
මා කල දහම් පාසල් සේවය
නිති සිහියට නැඟේ
ගුරුවරු දෙවිවරු විය යුතුම ය

****

ජය සිරිමහ බෝ සමිඳුනි

සුදු වතින් සැරසිලා
මල් වට්ටි අතදරා
සිරිමහ බෝ සමිඳුන් වෙත
මහ සෙනඟ ඇදෙනවා ...

ශ්‍රද්ධා භක්තිය ඉතිරී
සාදු සාදු හඬ පිට වේ
පසඟ පිහිටුවා වඳිමින්
ජයසිරි මහ බෝ නමදී ...

බොහෝ දෙනා මහ මළුවේ
වැතිර වඳිනු පුදුම සිතේ
සිතේ ගතේ දුක් කරදර
දුරුවී සිත පින් බරවේ ...

ජය සිරිමහ බෝ සමිඳුනි
සාදු සාදු ඔබ නමදිමි
ජීවමාන බුදු සමිඳුන්
වැන්දා සේ මම තුටුවෙමි ...

****

නිදහස් පින් සිත...

අත්හරින දා
දුගඳ හමන
කුණු කය
තබා මනු ලොව,
පහළකර
අවසන්ම සිත........
පිනෙන් පුරවා
රැගෙන දෝතින්
උතුම් පුණ්‍ය මහිමය
සෙවනැල්ල සේ,
හැරී ආපසු නොබලාම
ජාති, ජරා, ව්‍යාධි, මරණ
ශෝක, දුක්, දොම්නස්
යළි හමු නොවන්නට,
උඩු ගුවනේ
ඉහළම තැනින්
පරම සැනසුම සොයා,
නිදහස් පින් සිතින්........

****

හිතට ඉහළින් පිපුණු මල්

හිතේ සතුට අවසානයේ
නෙතගේ කඳුළකි වෑහෙන්නේ
සපයා ගත් බත බුලතේ දාඩිය
දවසේ කුලියට වඩම්මලා

දහමේ උතුම්ම පූජාවලියේ
අටපිරිකර වන්දනා මැදින්
මුතු කුඩ හෙවනේ තැන්පත් කෙරුවේ
අතගාලා දිය වෙන්න නොවේ

****

මා පිය වන්දනා

රන් පැහැ රුහිරු කිරි කරලා පොවාලා
රන් උකුලේ සුව ළැමදේ හොවාලා
කඳුළු වැටෙන තුරු ලිපගිනි මොලවාලා
අපෙ කුසගිනි නිව්වෙ මව්වරු දිවි පුදලා

රන් දහඩිය මහපොළොවට හෙලාලා
ගිනියම් අව්වෙ අප වෙනුවෙන් දුක් විඳලා
රන් කහවනු දිවි හිමියෙන් සොයාලා
අප රැකගත්තේ පියවරුන් ම දිවි පුදලා

යහපත් ගුණ දහම් ඔබගේ හදවතට
ඇතිකර ගනු මැනවි දිවි මග සරසන්ට
මා පියවරුනගේ වටිනාකම ගැන ලොවට
හඬ ගා පවසන්න හැකිනම් ඔබ විරුවකි දැයට

****

මල් සුවඳයි – සිල් සුවඳයි

පැහැයට සුවඳට මලට ඇදෙනවා
නෙළා සමිඳු පා පියුම වඳිනවා
මල් සුවඳට සිල් සුවඳ මුසුවෙලා
පන්සල් බිම දෙව්ලොවක් වෙලා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]