[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස්ස කුමරුගේ බලසේනා දුටුගැමුණු රජුට එක්වෙයි

තිස්ස කුමරුගේ බලසේනා දුටුගැමුණු රජුට එක්වෙයි

විහාර දොරටුව අභියස ඇතු නවතා, දුටුගැමුණු මහා රජතුමා විහාරයට එනු දුටු තිස්ස කුමරු විහාරාධිපති වහන්සේගේ යහන යටට රිංගා ගත්තේය. එහි ඇතුළත නොපෙනෙන ලෙස ඇතිරිල්ල පහතට හෙලු විහාරාධිපති හිමියෝ යහනෙහි හිඳ ගත්හ. රජතුමා විහාර ගෙට ඇතුළුව විහාරාධිපති හිමියන් වහන්සේ වැඳ “ස්වාමීන් වහන්ස තිස්ස පළාවිත් මෙහි ඇතුළු විය. ඔහු කොහේදැයි “ විමසිය.

“මහා රජතුමනි. තිස්ස කුමාරයා ඇඳෙහි නැත.” නාහිමියෝ පිළිතුරු දුන්හ. පිළිතුරෙන්ම තිස්ස ඇඳ යට සැගවී සිටින බව දැනගත් රජතුමා “අපේ කුල දේවතාවුන් වෙතින් තිස්ස උදුරා ගැනීම සුදුසු නැත.” යි සිතා මාහිමිපාණන් වහන්සේට වැඳ ගොස් විහාර දොරටුවෙහි රැකවල් ලා සිටියේය.

විහාරය වටකොට බල සේනා සිටිනු දුටු විහාරාධිපති වහන්සේ තිස්ස කුමාරයා බැහැරට යවන උපායක් කල්පනා කළහ. තිස්ස කුමාරයා ඇඳක් මත තබා කහ පැහැති රෙද්දකින් වසා අපවත් වූ හිමිනමක් සොහොනට ගෙන යන ලෙසින් සාමණේරවරුන් සිව් දෙනෙකු ලවා ඔසවාගෙන යන්නට සැලස්වුහ.

එසේ ගෙන යන්නේ තිස්ස බව දත් රජතුමා සංඝයා වහන්සේලා වෙතින් ඔහු උදුරා ගැනීමට කැමති නොවිය.

“තිස්ස, කුලදේවතාවුන්ගෙන් මෙහෙ ගැන්ම තට තරම් නොවෙයි. උන්වහන්සේලා වෙතින් තොප පැහැර ගැනීම අපට තරම් නොවෙයි. “ කියා සුහදතාවයට පැමිණියේය.

පලා නොගොස් ඉතිරිව සිටි පනස් දහසක පමණ තිස්සගේ බලසෙන්, සෙන්පතිවරුන් සමග පැමිණ , මහරජතුමාට වැඳ ක්ෂමා කරවාගෙන ත්‍රි සිංහලය එක්සත් කිරීමේ සටනට එක්වන බව සනාථ කර මාගම බලා ගමන් ඇරඹුහ.

ජයසක් හඬ නගා ජය බෙර හඬ පෙරමුණු ගත් ලක්ෂයක බළ සේනාවක් දෙපස රැස් වූ වැසියන්ගේ ජය ඝෝෂා හඬ මැදින් ඉදිරියට ඇදුණේය.

දුටුගැමුණු රජතුමාගේ ජයග්‍රහණය මාගම යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට මුලින්ම වාර්තා වුයේ චුලංගනිය කඳවුරෙන් ආ හී පතකිනි.

උත්තර මහා ඇමති අමාත්‍ය මණ්ඩලය පිරිවරා පැමිණියේය. ගැමුණු රජතුමාගේ ජයග්‍රහණය ඔහුට වාර්තා වී තිබිණි. ඔහු සන්ධ්‍යා වරුවේ මාගමට පැමිණෙන මහා රජතුමා ප්‍රමුඛ බල සේනාව පිළිගැනීමට රජ විදියත්, රාජාංගනයත් , ධජ පතාකාදියෙන් සැරසිලි කළයුතු බවත් මහා ජනතාව සමග ආරක්ෂක සේනාංක ද මහ මග දෙපස රැඳී සිටිය යුතු බවත් ප්‍රකාශ කළේය.

“හෙට්ටි විදිය දැනටමත් සිංහල හා බෞද්ධ කොඩිවලින් සරසලා” ඛඤ්ඡදේව කිවේය.

“අපේ සියලු සේනාංක ගුත්තාහල සිට මාගම දක්වා මග දෙපස රැඳී සිට මහජනතාවත් සමග පිළිගැනීමේ කටයුතු කරනවා. ඒ කටයුතු සියල්ල වේළුසුමනත්, සුරනිමලත් භාරගත්තා.”

“මඟතොට සැරසිලි “ කිරීම කරන්නේ හෙටයි. විහාර මහා දේවින් වහන්සේ මහා පෙරහරින් මාගමට එනවිට මාගම රාජධානිය පුරාම සැරසිලි කෙරේවි “ නන්දිමිත්‍ර කිවේ හද පුරා නැගුණු සොම්නසිනි.

“ලක්ෂයක සේනාංකයක්. ඔවුනට කරන සංග්‍රහ කටයුතු කෙරේවි. “

“ මහා ඇමතිතුමනි, අපට මුහුණ දෙන්නට තිබෙන ගැටලුව එයයි. සියලු දෙනාටම රාත්‍රී භෝජනය සැපයීම අපේ යුතුකමක්.”

අපේ සෙබලුන්ට හිතකට පුරා සංග්‍රහ කළ යුතු අවස්ථාවක් මේක.

“සෙබලුනට, සෙනෙවිවරුනට, විනෝද වෙන්නටත් ඉඩකඩ සලසන්න ඕනෑ”

“රණකෙළියට අපි දූතයකු යැව්වා. අඩුපාඩු ටික එහෙත් පිරිමැහුවොත් ගැටලුවක් නැහැ”. සියලු දෙනාටම මිශ්‍ර පලතුරු පානයක් හෙට්ටිවීදියෙන් ලැබෙනවා.’

‘අනෙක් පානයන් ගැන විමසා බලන්නට ඕනෑ. වේළුසුමනගෙන් නැතිනම් සුරනිමලගෙන්’

‘තිස්ස කුමාරයාගේ සේනාංක මෙහෙයවීමට එළාර රජතුමා එවූ මිත්‍ර මහ සෙනෙවියාගේ පුත්‍රයකු අතුරුදහන් වී ඇති බවක් අහන්නට ලැබුණා. තිස්ස කුමාරයාගේ පරාජයට එයත් හේතු වුණාලු.”

“උත්තර මහ ඇමැති බොහෝ දේ පිළිබඳ විමසිල්ලෙන් සිටිති”යි නන්දිමිත්‍ර ට හැඟුණේය.

දුරුතු අව අටවක පෝය

ජනවාරි 25 අඟහරුවාදා පූර්වභාග 07.49 අව අටවක ලබා 26 බදාදා පූර්වභාග 06.26 ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]