Print this Article


උකටලී බව සැපයක් ද?

බුදු දහමයි - ජන දිවියයි:

උකටලී බව සැපයක් ද?

ජනපද කල්‍යාණිට පෙම්බැඳී නන්ද කුමරු පැවිදි වුවත්,සසුන්බඹසර රැකීමට නොහැකිව කලකිරීමට පත් වූ අපූරු කතා පුවතක් ධම්මපදට්ඨ කථාවේ ඇතුළත් වෙනවා. සද්ධර්මරත්නාවලිය නම් බෞද්ධ සාහිත්‍යය ග්‍රන්ථයේ එකී පුවතේ කලකිරීම ම උකටලී යන වචනයෙන් හඳුන්වා තිබෙනවා. මෙවැනි කථා පුවත් සම්භාව්‍ය බෞද්ධ ගද්‍ය පද්‍ය ග්‍රන්ථවල අපූරුවට වර්ණනා කොට තිබෙනවා. මේ ආකාරයෙන් බලන විට එදා සිට අද දක්වා සෑම සමාජයකම විවිධ හේතූන් මත පුද්ගලයන් .උකටලී වන බව ප්‍රකට යි.

නූතන සමාජයේ ගත්තත් ඇතැමෙක් ඇතැම් කරුණක් හේතුකොට කලකිරීමට පත්වීමෙන් විවිධ සමාජ ක්‍රියාකාරකම්වලට ලක්වන බව අපට පැහැදිලියි. එක් පැත්තකින් මව්පියන් දරුවන් කෙරෙහිත්, ගුරුවරු ශිෂ්‍යයන් කෙරෙහිත්, ශිෂ්‍යයන් ගුරුවරු කෙරෙහිත්, සේවකයන් සේව්‍යයන් පිළිබඳවත්, පාලකයෝ පාලිතයන් පිළිබඳවත් පාලිතයන් පාලකයන් පිළිබඳවත් කලකිරීමට පත්වෙනවා. මේ ආදී වශයෙන් ගත් කල දුටු දුටුවන්ගේ ඇසු ඇසුවන්ගේ රැව් පිළිරැව් දෙන වචනයක් නම්, කිලකිරීම ය. කෙනකු තමාගේ ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම නිසාත්, ණය තුරුස් වීමෙනුත් කලකිරීමට පත්ව අවසානයේ දිවි නසාගන්නා පුවත් නිතර ඇසෙනවා. තමන් සිතන පතන ආකාරයට යම්කිසි දෙයක් සිදු නොවූ විට එය විඳ දරා ගැනීමට බැරිවන විට ඇතිවන මානසික ස්වරූපය තමයි කලකිරීම වශයෙන් ඉස්මතුවන්නේ. මේ පිළිබඳ විවිධ අධ්‍යයනයන් නූතනයේත්, පෙරදිනත් සිදුකර තිබුණත්, ඒ පිළිබඳ කිසිවකුටත් සම කළ නොහැකි අසමසම වූ විශිෂ්ට දර්ශනයක් දේශනා කළේ බුදුරජාණන් වහන්සේයි. අපමහා බෝසතාණන් වහන්සේ ජාති (ඉපදීම,)ජරා( වයසට යාම) මරණ ආදී දුක් දැක කලකිරී ගිහි ගෙය හැරපියා පැවිදි වූ බව අරියපර්යේෂණ සූත්‍රාදියෙහි සඳහන් වෙනවා. මෙය අභිනිෂ්ක්‍රමණය වශයෙන් අප කාටත් හුරු වචනයෙන් හඳුන්වනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. එනිසා කලකිරීම විවිධයි. එක් පැත්තකින් කලකිරීම තුළින් යම්කිසි කෙනෙක් හොඳ දෙයක් ලබනවා. ජීවිතය සකස්කරගෙන සාර්ථක ගමනකට මුලපුරනවා. තවත් කෙනෙක් කලකිරීමෙන් ජීවිතය විනාශ කරගෙන ජීවිතයෙන් වන්දි ගෙවන ස්වභාවයට පත්වෙනවා. ඉහත සඳහන් කළ ආකාරයට කලකිරීම පිළිබඳව උත්තරීතරම අවස්ථාව බවට පත්වන්නේ මීට වසර 2500 කට පමණ පෙර බෝසතාණන් වහන්සේගේ ලොව පහළවීමයි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්ව ලෝක සත්ත්වයාගේ විමුක්තිය උදෙසා දේශනා කළ ධර්මය තමයි ත්‍රිපිටකය වශයෙන් ව්‍යවහාර කරන්නේ.

ත්‍රිපිටකය යනු සූත්‍ර,විනය, අභිධර්ම යයි. එයින් සූත්‍ර පිටකය ග්‍රන්ථ 5 කටත්, එයිනුත් ඛුද්දක නිකාය කොටස් 15 කටත්, විනය පිටකය ග්‍රන්ථ 5 කටත්, අභිධර්ම පිටකය ග්‍රන්ථ 7 කටත් සංග්‍රහ කොට තිබෙනවා. බුදුහාමුදුරුවො දේශනා කළ ත්‍රිපිටක ධර්මය තුළ ලෝකයේ පැවැත්ම , පැවැත්මට හේතු, ලෝකයේ නැවැත්ම යනාදී සියලු දේ අන්තර්ගත වෙනවා. නූතනයේ විවිධ මානුෂික පීඩාවන්, මිනිසුන්ගේ විවිධ හැඟීම්, විවිධ දෘෂ්ටීන්, විවිධ මතවාදවලින් ඔවුනොවුන් ඇණකොටාගන්නා තත්ත්වයකට පරිවර්තනය වෙලා තිබෙනවා. එනිසා මිනිස් සමතුලිතතාවය සඳහා බුදුහාමුදුරුවො දේශනා කරන ලද ධර්මය අතිශය වැදගත්

නූතන මිනිසුන් අතර නොවිසඳුන ප්‍රශ්න අතිවිශාලයි. නිදසුනක් වශයෙන් අද පවතින ජාතිවාදය යන සංකල්පය විමසා බලමු. කෙටියෙන් සඳහන් කළොත් බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ ජාතිවාදයක් නැහැ. සුත්ත නිපාතයේ සඳහන් වාසෙට්ඨ සූත්‍රයේ තෘණ රුක්ෂාදියෙහි එක් වර්ගයකට අනෙක් වර්ගයේ ඇති වෙනස නිසා ඒ් ඒ් ජාතීන්හි විවිධත්වය දක්නට පුළුවන්.

එසේම කෘමි පළෑටි ආදිය වේ, කුහුඹු ආදී කුඩා සතුන්ගේ ද වෙනස අනුව ඒ ඒ ජාතීන් ගේ විවිධත්වය දැකිය හැකි ය. සිවුපා සතුන් අතර ද කටුසු හා බළල් ආදීන්ගේ ජාති වශයෙන් ඇති වෙනස පෙනෙනවා. මෙසේ උරග ගණයට අයත් සතුන්ගේ ද , දියෙහි හටගන්නා මත්ස්‍යයන්ගේ ද ,එකිනෙකට ඇති වෙනස්කම් අනුව විවිධ ජාතිත්වය පෙනෙනවා. කුරුල්ලන් අතර ද ඒ කුරුලු ජාතියකට අනෙක් කුරුලු ජාතියේ ඇති වෙනස ප්‍රකටයි. මිනිසුන් අතර ජාති වශයෙන් බෙදීමට මේ ආකාරයේ විවිධත්වයක් නොපෙනෙයි. මිනිසුන්ගේ කෙස් , හිසි, කන්, ඇස්, මුඛ, නාසා, තොල්, බැම ගෙල, උරහිස, බඩ, පිට, උකුල, ළය, ලිංග, මෛථුන, අත්පා ඇඟිලි නිය, කලවා, ආදී කිසිවකින් කේෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර වශයෙන් පවත්නා ජාතියකට බෙදා දැක්විය නොහැකි. අනෙක් සත්ත්ව ජාතීන් මෙන්ම විවිධ විශේෂත්වයක් මිනිසුන්ට නැහැ. හැම මිනිසකුගේ ආකාරය එක බඳුයි. එබැවින් උප්පත්තියෙන්ම තැනැත්තා බ්‍රාහ්මණයකුය,කේෂත්‍රියකුය, ශ්‍රද්‍රයකුය ආදී අසුවල් ජාතියට අයත් යැයි වෙන්කිරීමට කිසිදු විවිධත්වයක් නොපෙනෙන බව අන්තර්ගතයි.

මෙවැනි ධර්ම සංකල්ප තුළින් ජන සමාජයේ ජන ජීවිතයේ කලහකාරී ස්වරූපයන් නැති කිරීමට අවස්ථාවන් කරගත හැකියි. මිනිසුන්ගේ හැඟීම් , විකෘති හැඟීම් ප්‍රකෘති කරමින් සංතෘප්තභාවය ඇතිකර ගන්න බුදුහාමුදුරුවන්ගේ දේශනා ඉතා වැදගත් .

බොහෝ දෙනෙක් සිතන්නේ පුද්ගල ජීවිතයේ විඳීන්නට ලැබෙන සැප සම්පත්, දුක් දොම්නස් සියල්ලම පෙර කරන ලද හොඳ හෝ නරක කර්මයන්ට අනුකූලව සිදුවන බවයි. සමාන්‍යයෙන් එය හඳුන්වන්නේ පුබ්බේකත හේතුවාදය ලෙසයි. පුබ්බේකත හේතුවාදය බුදුහාමුදුරුවන්ගේ දේශනා තුළ ප්‍රතික්ෂේප වෙනවා. ඒවගේම ඇතැම් කෙනෙක් පැහැදිලි කරනවා පුද්ගලයාගේ මෙලොව ජීවිතය දෙවියකු විසින් මෙහෙයවන සැලැස්මකට අනුකූලව සිදුවෙන බවත් එය ඉස්සර නිම්මාණ හේතුවාදය වශයෙන් හැඳින්වෙනවා. එය ද බුද්ධ දේශනාවේ නැහැ. ඒ වගේම පුද්ගලයා විඳීන සියලු සැප, දොම්නස් කිසිම හේතුවක් නැතිව අහම්බෙන් සිදුවන දෙයක් ලෙස සිතනවා. එකී අහේතු අප්පච්චයතා හේතු වාදය බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ ප්‍රතික්ෂේප වෙනවා. පුබ්බේ කත හේතුවාදය, නිම්මාන හේතුවාදය,අහේතු අප්පච්ඡෙදා හේතු වාදය, කියන සියලු වාද බුදුහාමුදුරුවන්ගේ දේශනා තුළ ප්‍රතික්ෂේප වෙනවා.

මිනිස්සු අදහස් කරන දෛවය හෝ දේව භක්තිය බුදුහාමුදුරුවන්‌ගේ දේශනාවේ ප්‍රතික්ෂේප වෙනවා. මනුෂ්‍ය බුද්ධිය, උත්සාහය, අධිෂ්ඨාන ශක්තිය , තමන්ගේ තිබෙන ශ්‍රම සම්පත්තිය යනාදී පුද්ගල ප්‍රශ්න හා සමාජ ප්‍රශ්න විසඳන ආධ්‍යාත්මික විමුක්තිය සලසා ගන්නා ක්‍රමයක් තමයි බුද්ධ දේශනාව තුළ තිබෙන්නේ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස දුරුතු අව අටවක පෝදා ( 25 )පත්‍රයේ පළ වේ