Print this Article


මියයන බව දැනගෙනත් කලහ වාද විවාද කුමට ද?

මියයන බව දැනගෙනත් කලහ වාද විවාද කුමට ද?

අප ජීවත් වන සමාජයේ බොහෝ දෙනෙක් ඔවුනොවුන්ට විරුද්ධවාදි විිදියටයි ජීවත් වන්නේ‘. ඒකට හේතු මිනිසාගේ ආත්මාර්ථකාමි සිතිවිලිවල දක්නට ලැබෙන දැඩි ගතිය යි.

හැමවිටම තමන්ගේ ලාභය, තමන්ට ලැබෙන කොටස, ප්‍රතිලාභය, වාසිය ගැනයි විමසිලිමත් වන්නේ. මේ නිසා අද එකම දෙමාපියන්ගේ දරුවන් ඔවුනොවුන්ට වෛරිව ජීවත් වන අවස්ථා බොහොම යි.

මේ ආකාරයෙන් විවිධ කාරණා පාදක කරගෙන රට තුළ පමණක් නොව රටවල් අතර ද ගැටුම් ඇති වෙන අවස්ථා බොහොම යි. ඒ පමණක් නොවෙයි පවුල් කඩාකප්පල් විම්, මවුපියන් දරුවන් අතර පවා නොහොඳ නොක්කඩුවීම් ද ඉතාමත් දැඩියි. මෙහිදී මිනිස් සිතේ බලපවත්නා ස්වභාවය නම් තමන් හැමදාම ජීවත් වෙන පිරිසක් කියා සිතා කටයුතු කිරිම යි.

මේ තත්වය තමා එදා බුදුරජාණන් වහන්සේ දවස ජීවත් වූ ඇතැම් මිත්‍යාදෘෂ්ටික ශාස්තෘන් විසින් ලෝකයට පෙන්වා දුන්නේ. ඒ කාලයේ එක ඉගැන්වීමක් තිබුණා මේ ලෝකය සදාකාලිකයි කියලා. තව මතයක් තිබුණා මේ භවය මෙතනින් අවසන් වෙනවා. නැවත ඉපදීමක් නැහැ කියලා. තව මතයක් එහෙම නැතිනම් ඉගැන්වීමක් තිබුණා තමන් විසින් කරනු ලබන යම් යම් ක්‍රියාවන්හි විපාකයක් නැහැ කියලා.

මේ විදියට ශාස්වතවාදීන්, උච්ඡේදවාදින්, අකිරියවාදීන් ආදි වශයෙන් විවිධ මතවාද පෙන්වා දෙමින් සමාජය තුළ විවිධ මිත්‍යා මතවාද ව්‍යාප්ත කළා.

මේ හැම මතයකින් ම සිදු වුණේ ලෝකයේ ජීවත්වන මිනිසා කර්මය හා කර්මඵලය ගැන සැලකිලිමත් නො වී ක්‍රියාකාරිවීම යි.

මේ නිසා ම එදා දහස්ගණන් අහිංසක සතුන්ගේ ජීවිත තොර කරමින් ලෞකික සැප සම්පත් අරමුණු කොට දහස් ගණන් බලි, බිලි පූජා පවත්වමින් විවිධ මිත්‍යාමතවාද ඔස්සේ ක්‍රියා කරමින් අධාර්මික ජීවන ක්‍රමයන්ට හුරු පුරුදු වුණා.. මේ නිසා විවිධ කලහ විවාද කර ගනිමින් සමාජය නොසන්සුන් ලෙස පවත්වාගෙන ගියා. සුළු සුළු කරුණුවලට අඬදබර කර ගත්තා.

මේ තත්වය කෙතරම් දැඩි වීද කියතොත් බුදුරජාණන් වහන්සේ දවස පවා සසර සියලු බන්ධනයන්ට අභියෝග කරමින් එම බන්ධනයන්ගෙන් මිදීම පිණිස ක්‍රියා කළ භික්ෂූන් වහන්සේ අතර පවා කලහ විවාද කර ගත් භික්ෂූන් වහන්සේලා පවා වැඩ විසුවා.

වර්තමානයෙහි වුවත් අපේ සමාජයේ ජීවත් වන ඇතැම් පිරිස් මුලින් පෙන්වා දුන් ශාස්වතවාද, උච්ඡේදවාද, අකිරියවාද වැනි අදහස් ඇතිව අතිශයින් ලෞකික සැප සම්පත්වලට ගිජු වෙමින් ක්‍රියා කරන අවස්ථා පමණක් නොව ඒ මතින් අතිබිහිසුණු තත්වයන් ජනිත කර ගන්නා ස්වභාවය අපට දැකිය හැකි වෙනවා.

බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන ආකාරයෙන් මියයන බව නොදන්නා, නොසිතන අය මේ ලෝකයේ සුළු සුළු කරුණු උඩත් කලහ, අඬදබර වාද විවාද ඇති කර ගෙන විවිධ ව්‍යසනකාරි තත්වයන්ට පත් වෙත බවත් පෙනී යනවා.

මේ අතර තමන් මේ ගත කරන ජීවිතය කොයි මොහොතේ නමුත් අවසාන වී මිය යන බව පමණක් තේරුම් කරගෙන ක්‍රියා කරන අය මෙවැනි අවස්ථාවල දී ඉතා බුද්ධිමත්ව ක්‍රියා කර හැමවිටම සාමකාමීව සමඟියෙන් සමාදානයෙන් ජීවත් වන බවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා.

මේ ආකාරයෙන් ක්‍රියා කරන උදවිය බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ පණ්ඩිතයන් වශයෙනු යි.

මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්වා දෙන්නේ වඩාත් ඉක්මනින් සසර කෙටි කර ගැනීමේ උවමනාවෙන් ගිහි ගෙයින් ඉවත්ව, පැවිදි ජීවිත ගත කරන භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අරමුණු කර ගෙන දේශනා කිරීම තුළිනු යි. බුදුරජාණන් වහන්සේ මේ කාරණය පෙන්වා දෙන්නේ එදා කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවාසය කරන එක් වස් කාලයක එහි නිවැසි භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ මෙවැනි කලහකාරි වාතාවරණයක් තුළ යි.

ඝෝෂිත නම් සිටුතුමා විසින් විශාල ධනයක් වැය කරලා ඉතා දර්ශනිය මනරම් ආරාමයක් කරලා මහා සංඝරත්නයට පූජා කළා. එම ස්ථානයේ භික්ෂූන් වහන්සේලා රාශියක් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියා. එහි සංඛ්‍යාව 1000ක්. ඉතින්

මේ දහසක් වු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ගුරු හාමුදුරුවරුන් දෙනමකගේ නායකත්වයෙන් වෙන් වෙන් ව අධ්‍යාපන කටයුතු කර ගෙන ගියා.

මේ ගුරු හාමුදුරුවරු දෙනම බොහොම දැන උගත්කම් ලබා සිටි ධර්මධර මෙන් ම විනයධර පිරිසක්. ඉතින් එක පිරිසක් ධර්මධරත්වයෙන් වඩාත් ඉදිරියට යමින් අධ්‍යාපන කටයුතු කළා.

මේ කාරණය වර්තමාන භාවිතය අනුව පැහැදිලි කරනවා නම් එක් පන්සියයක් වූ ශිෂ්‍ය හාමුදුරුවරු තමන් හදාරන විෂයය සීමාව තුළ විනය කියන විෂයට ප්‍රධාන තැනක් දී එම විෂය විශේෂ වශයෙන් ඉගෙන ගත්තා.

අනෙක් පන්සියයක් දෙනා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය හෙවත් සූත්‍ර ධර්මයන්ට අනුව ගැඹුරු දහම් කරුණුවලට මූලිකත්වය දෙමින් එම විෂය ඉගෙන ගත්තා. ඒ විදියට මේ දෙපිරිස විනයධර හා ධර්මධර වශයෙන් යම් බෙදීමක් ඇතිව යි අධ්‍යාපන කටයුතුවල නිරත වුණේ.

මෙම ලිපියේ ඉතිරි කොටස දුරුතු අව අටවක පෝදා (25)පත්‍රයේ පළවේ