Print this Article


කීර්ති කුමරුන් සේනා සංවිධානය කළ කළුබෝවිටියන රුවන්කන්ද රාජමහා විහාරය

කීර්ති කුමරුන් සේනා සංවිධානය කළ කළුබෝවිටියන රුවන්කන්ද රාජමහා විහාරය

 

ලෙන් විහාරය

 

රුපුන් දිනා පොළොන්නරුව අගනගරය බවට පත් කර ගනිමින් පළමුවන විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් කීර්ති කුමරුන් සේනා සංවිධානය කළ ස්ථානයක් වශයෙන් සලකනු ලබන කළුබෝවිටියන දංගල රුවන්කන්ද රාජමහා විහාරය දක්ෂිණ ලංකාවේ ගාලු මාතර දිස්ත්‍රික් සීමාවට ආසන්නව මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ විල්ලේපත්තුවේ දෙණියාය මැතිවරණ බලප්‍රදේශයෙහි පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටා තිබේ.


අභිනව සෑ රදුන් වහන්සේ

සිංහරාජ වනපෙතට මායිම්ව පිහිටි රුවන්කන්ද ඉංග්‍රීසි පාලන සමයේ දී මිණිරන් කැණීම සඳහා යොදාගෙන තිබේ. රුවන් හා සම වන අන්දමේ අගනා මිනිරන් ලද හෙයින් රුවන්කන්ද යන නාමය ව්‍යවහාර වී ඇත.

මොරවක් කෝරළයේ ගැටබරුව, එළමල්දෙණිය, රඹුකන, රොටුඹ, ඌරුමුත්ත, විහාරේගල සේ ම රුවන්කන්දෙහි ද කටාරම් කෙටූ ගල්ලෙන් හමු වෙයි. රුවන්කන්දේ කටාරම් කෙටූ ලෙනට ඉහළින් පිහිටි සෙල්ලිපිය කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වූ බව පිළිගැනීමයි.

ආදි අනුරාධපුර යුගයේ යෝගාවචර හිමිවරුන්ට වාසභූමි වූ මෙම ආරණ්‍ය සේනාසන හැර දමා වියළි කලාපයේ පිහිටි සිතුල්පව්ව, මදුනාගල, කරඹගල වැනි සෙනසුන් කරා හිමිවරුන් සංක්‍රමණය වීමෙන් පසු ප්‍රාදේශීය ජන නායකයන් මෙම ලෙන් තුළ බුදු පිළිම නෙළූ බව ජනප්‍රවාදයේ එයි.

කීර්ති කුමරුන් දහර අවදියේ දී උපකාර කළ බුදල්නාවන් සඳහා පිරිනැමූ පනාකඩුව තඹ සන්නස මොරවක් කෝරළයේ සම්භාවනීයත්වය විදහාලන ප්‍රධානතම ලේඛනගත මූලාශ්‍රයයි. කීර්ති කුමරුන් සේනා සංවිධානය පිණිස යොදාගත් ගල්ලෙන් සටන් නිමවීමෙන් පසු ලෙන්විහාර බවට පත් කළ අවස්ථාවේ රුවන්කන්ද විහාරස්ථානය ද ගොඩ නංවන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. මෙම සෑම ලෙන් විහාරවලින්ම හමුවන බුදුපිළිම වහන්සේලාගේ නටබුන් එකම ස්වරූපයෙන් පිහිටීම නිසා එම සියලු ප්‍රතිමා එකම කාලයක දී නෙළන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

විහාරාධිපති
දෙහිගස්පේ සුමනසාර හිමි

මහාචාර්ය
අගලකඩ සිරිසුමන නාහිමි

කාලයාගේ ඇවෑමෙන් වනගත වූ රුවන්කන්දේ විහාරයට පුනර්ජීවනය ලබාදෙන ලද්දේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ පහතරට ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානිත වූ වැලිගම අග්‍රබෝධි විහාරාධිපති අගලකඩ ධම්මරක්ඛිත නාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර වෙතිනි. කරගොඩ උයන්ගොඩ වෙහෙර වැසි විටියල රතනජෝති හිමියන් විසින් 1918 වසරේ වනගතව පැවති මෙම විහාරස්ථානය සොයා ගනිමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීය.

වනගතව පැවති විහාරස්ථානය සොයා ගැනීමෙන් පසු මෙම ප්‍රදේශය ජනාවාසකරණය කොට ලෙන් විහාරයේ ආරක්ෂාව පිණිස විහාර ගෘහයක් ගොඩනංවා පෞරාණික ප්‍රතිමා ප්‍රතිසංස්කරණය කොට තිබේ. 1980 දශකයේ මෙම පුදබිම පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් නම් කොට ඇත. ගල්තලාවෙහි පිහිටි ස්තූපයෙහි කැණීම්වලදී කුඩා බුදුපිළිම වහන්සේලා සත් නමක් සහ මුදු වැනි ආභරණ ශේෂයන් හමු වූ බව කියවේ.

රුවන්කන්දෙහි පෞරාණික බෝධිරාජයන් වහන්සේ, ශ්‍රී මහබෝධීන් වහන්සේගේ ඵල බෝධීන් වහන්සේ නමක වශයෙන් ජනප්‍රවාදගත ය. ප්‍රතිසංස්කරණ කාලයේ අනුරාධපුරයෙන් වැඩම වූ බෝධි ශාඛාවක් විහාරස්ථානයේ රෝපණය කරවා ඇත. මේ ආශ්‍රිත ප්‍රදේශයේ රජ්ජුරුබණ්ඩාර බස්නායක දෙවිඳුන්ගේ අණසක පවතින බව විශ්වාස කෙරෙයි.

විටියල රතනජෝති මාහිමියන්ගෙන් පසු 1963 වර්ෂයේ සිට මේ දක්වා දෙහිගස්පේ සුමනසාර හිමියන් විසින් විහාරාධිපති පදවිය හොබවනු ලබයි.

තත්ශිෂ්‍යවරයන් වහන්සේලා අතර අමෙරිකාවේ ධර්ම ප්‍රචාරයෙහි නියුතු ශාස්ත්‍රපති කොස්වත්තේ සුමනවංශ මාහිමි, ලූනාව බෝධිරාජාරාමාධිපති සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, මොණරාගල රන්ගිරිපුර සීවලී ධර්ම නිකේතනාධිපති සහ ශික්ෂාකර පිරුවනේ ආචාර්ය කලුබෝවිටියන ගුණානන්ද හිමි ප්‍රධාන වෙති.

වර්ෂ 2003 දී නව දායක සභාවක් පිහිටුවා ගැනීමත් සමඟ විහාරස්ථානයේ සුවිශේෂී දියුණුවක් ඇති විය. ජර්මන් ජාතික උර්සුලා බයර් මැතිණිය ඇතුළු දෙස් විදෙස් දායක කාරකාදීන්ගේ උපකාර මත පස් මහල් බහුකාර්ය ගොඩනඟිල්ල ඉදි කරවීම, ධර්ම ශාලාව, රන්වැට සහිත බෝධි මණ්ඩපය ඉදි කරවීම ඇතුළු කටයුතු සිදු කිරීම සුවිශේෂ වෙයි.

නාවික ඉංජිනේරු ධනුෂ්ක ජයවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් 2020 වර්ෂයේ මඟුල් ගල් පිහිට වූ අභිනව සෑ රදුන් වහන්සේගේ කටයුතු නිමවා 2021 ජනවාරි මාසයේ කොත් පළඳවා සැදැහැවතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා පිරිනැමීමට නියමිත ය.

වෙහෙර වහන්සේ සම්බුදු සසුනට පුද දීමේ මහා පුණ්‍යකර්මය ජනවාරි මස 21,22 සහ 23 යන දිනයන්හි දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සම්භාවනීය ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

අනුහස් සහිත පුදබිමක් ලෙස සැදැහැවතුන්ගේ සම්භාවනාවට පත්ව සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් ලෙස සිරිලක වෙහෙර විසිතුරෙහි නම් සලකුණු කරන රුවන්කන්ද රාජමහා විහාරය සුවිශේෂ පුදබිමක් වශයෙන් සඳහන් කළ හැකි ය.