Print this Article


බුරුම රජයෙන් ගෞරව නාම ලබති

බුරුම රජයෙන් ගෞරව නාම ලබති

දොඩම්පහල චන්දසිරි මහ නාහිමි මැටරඹ හේමරතන නාහිමි මැදවච්චියේ ධම්මජෝති හිමි
 

මියන්මාර් (බුරුම) රජය මඟින් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත අභිධජමහාරට්ඨගුරු ගෞරව උපාධිය ද, ඓතිහාසික යටගල සිතුල්පව්ව උභය රාජමහා විහාර ප්‍රමුඛ අෂ්ට මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ධුරන්ධර මැටරඹ හේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත අග්ගමහාපණ්ඩිත ගෞරව උපාධිය ද, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ,කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යල මැදවච්චියේ ධම්මජෝති ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත අග්ගමහාග්‍රන්ථවාචක ගෞරව උපාධිය ද පිරිනමා තිබේ.

ලෝකයේ සම්භාවනීය යතිවරයන් වහන්සේලා උදෙසා ජනවාරි හතරවන දිනට යෙදෙන මියන්මාරයේ නිදහස් දිනය නිමිත්තෙන් ශාසනභාරධාරී මහා තෙරවරුන්ගේ ද අනුමැතිය ඇතිව එරට රජය මගින් වාර්ෂිකව මෙම ශාසනික පදවි පිරිනැමීම සිදු කරනු ලබයි.

මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය දැරූ වැලිවිට සරණංකර මහනාහිමි සහ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේ අභිධජමහාරට්ඨගුරු උපාධියෙන් ද, පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි වල්පොල රාහුල හිමි වැනි සම්භාවනීය යතීන්ද්‍රයන් වහන්සේලා අග්ගමහාපණ්ඩිත ගෞරව උපාධියෙන් ද මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම මාහිමි ඇතුළු හිමිවරුන් අග්ගමහාග්‍රන්ථවාචක උපාධියෙන් ද පිදුම් ලබා තිබේ.