Print this Article


සෙන් කතා: අරුම පුදුම චාරිත්‍රය

සෙන් කතා:

අරුම පුදුම චාරිත්‍රය

සෙන් ගුරුතුමා සහ ශිෂ්‍ය පිරිස සෑම සන්ධ්‍යාවකම ඔවුන්ගේ භාවනා සැසිය පවත්වන විට එම පූජකාරාමයේ සිටි බළලෙක් ඔවුන්ට බාධා කරමින් සෝෂා නඟන්නට විය. එම නිසා භාවනා සැසිය නිමවනතුරු සෑම දිනෙකම එම වේලාවට බළලා පූජකාරාමයේ වෙනත් කොටසක ගැට ගසා තබන්නට සෙන් ගුරුතුමා විසින් ශිෂ්‍යයන්ට නියම කරන ලදීි. වසර ගණනාවක් ගෙවී ගියේ ය. එම සෙන් ගුරුතුªමා මහලු වී මිය ගියේ ය. එහෙත් භාවනා සැසිය වේලාවට බළලා ගැට ගසා තැබීමේ චාරිත්‍රය දිගටම සිදු කෙරිණි. එම බළලා ද මිය ගියේ ය. ඉන් පසු තවත් බළලකු ආරාමයට ගෙන ආ අතර එම බළලා ද භාවනා සැසිය වේලාවට සුපුරුදු පරිදි ගැට ගසා තබන ලදී. දශකයක් පමණ ගෙවී ගිය පසුව සෙන් ගුරුතුමාගේ පරපුරෙන් පැවත එන උගත් සිසුවෙක් ශාස්ත්‍රීය නිබන්ධයක් රචනා කළේ ය. භාවනා පුහුණුවන විට බළලකු ගැට ගසා තැබීමේ විශේෂ ආගමික චාරිත්‍රයක් පිළිබඳව ද එහි සඳහන් වී තිබිණි.

පසු සටහන- තමන් සිදු කරන ඇතැම් චාරිත්‍ර වාරිත්‍රවල අර්ථය පිළිබඳ මිනිස්සු සිතා නොබලති. එය කලක් තිස්සේ සිදු කළ දෙයක් නිසා හුදෙක් පුරුද්දක් වශයෙන් කරන්නන් වාලේ දිගටම සිදු කරගෙන යති.