Print this Article


හිතන විදිහ වැරදුණොත් ජීවිතයම වරදිනවා

හිතන විදිහ වැරදුණොත් ජීවිතයම වරදිනවා

අලුත් අවුරුද්දක් ලැබූ මේ අවස්ථාවේ අලුත් බලාපොරොත්තු අලුත් අධිෂ්ඨානයන් ඇතිකර ගනිමු. කසළ ඉවත්කර ගෙවල් දොරවල් වත්තපිටිය ශුද්ධ පවිත්‍ර කර ගන්නා සේ අපගේ සිතත් පිරිසුදු කර ගනිමු. මුළු වසර පුරාමත්, ජීවිතය පුරාමත් මානසික , වාචසික, කායික ක්‍රියාවන් අපිරිසුදු වන්නට නොදී පිරිසුදු මට්ටමින්, ප්‍රසන්න අයුරින් පවත්වා ගන්නට උත්සාහ කරමු.

නිතර දුකින්, පසුතැවීමෙන් ඉන්නා පුද්ගලයින්ගේ ශරීරයෙහි සෛල වර්ධනය දුර්වල මට්ටමකින් සිදුවන බව අද විද්‍යාත්මකව තහවුරු කර ඇත. එසේ සෛල දුර්වල වීමේ ප්‍රතිඵලය විවිධ රෝගාබාධයන්ගෙන් පීඩනයට පත්ව අවසන් හුස්ම හෙළීමයි. නිතරම තමන්ටත් අනුන්ටත් හිතකර දේ කරන්නට අධිෂ්ඨාන කරගන්න.

හිරු රැසින් නෙළුම් මල් පිපෙයි. ඒ අනුව එදිනම පිපෙන මල් ඇත. හෙට අනිද්දා පිපෙන මල් ද ඇත. ටික කලක් ගතවී පිපෙන මල් ද ඇත. අපේ අඩුපාඩු හදාගෙන සුවඳවත් ලස්සන මලක් බවට පත්වෙමු.

මිනිසකු තුළ හොඳ මෙන් ම නරක ද තිබෙන්නට පුළුවන. මේ මිනිසා නරකයි. පව් කරන්නෙක් යනුවෙන් දොස් කියා කිසිවකු ඉවත නොදැමිය යුතු ය. එබඳු අයට ද අපි අනුකම්පා කළ යුතු වෙමු. අප තුළින් කලින් එබඳු වැරැදි තිබෙන්නට ඇත. අපේ ජීවිත අප හදා ගත්තා සේ ඔවුනට ද තම අඩුපාඩු හදාගෙන වටිනා ජීවිත බවට පත්වන්නට අවස්ථාව ඇත. වටිනා චරිතයන් දුටුවිට ඒ චරිතයන් තුළින් අපට ලබා ගත හැකි ආදර්ශයන් ගැන හිතන්න. ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න බලන්න.

නරක පුද්ගලයකු දුටුවහොත් ඒ ගති ලක්ෂණ තමා තුළ ඇත්දැයි බලන්න. සුළු වශයෙන් හෝ ඇත්නම් ඒවා ඉවත් කර ගන්න. අප කරන හොඳ හෝ නරක දෙකට ම මූලික වන්නේ අපේ සිත යි. පැරැණි වැරැදි ගැන කල්පනා කරමින් නොසිට ජීවිතය අලුත් කර ගන්නට බලන්න. ඔබ මෙතෙක් අන්ධකාරය තුළ සිටින්නට ඇත. ඔබ වැරැද්ද තේරුම් ගෙන හරි මඟට පිවිසෙනවාත් සමඟ ම අඳුර නැතිව ගොස් ආලෝකය උදාවනු ඇත.

ලෝකයේ ඇති සියලු දුක් කරදරවලට හේතුව මිනිසා සිතන ක්‍රමයේ වැරැද්දයි. නිවැරැදිව හොඳ නරක දෙපැත්තම සිතා බලා කටයුතු නොකිරීම නිසා ඔබ නොයෙක් බාධක කරදර මෙන්ම මානසික පීඩාවන්ට ද ලක්වනු ඇත. නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් ඔබටත් ලෝකයටත් සැනසිල්ල උදාවනු ඇත.

විසකුරු සර්පයන් දුටුවිට ඔවුන් මරා දැමීමට සමාජය පෙළඹෙයි. ඒ ඇයි? ඒ සතුන් ළඟ ඇති විෂ නිසයි. විසකුරු සිතිවිලි නිසා තමන් තමන්ට විනාශ කර ගනී. අපට හතුරුකම් කළ අයට නින්දා අපහාස, ප්‍රශ්න ඇති කළ අයට අප හතුරුකම් නොකළ යුතු ය. නිතර මහ පොළොව, ජලය, වායුව මෙන් සිතන්න. මහපොළොවට මොනතරම් කුණු දැම්මත් මහපොළොව අපට ඔරවන්නේ නැත. ජලයත් එසේ ම ය. වායුව ගඳ සුවඳ නොබලාම ගමන යයි. දුර්ගන්ධය ඇති පැත්තෙන් වායුව ගමන් නොකර සිටින්නේ නැත. උපේක්ෂාවෙන් කටයුතු කරයි. අපට දෝෂාරෝපණය කරන අය දෙස මිත්‍රශීලිව කරුණාවෙන් මෛත්‍රියෙන් බලන්න. ටික කලකින් ඔවුන් ඔබේ මිතුරන් බවට පත්වනු ඒකාන්ත ය.

එය ඔබේ ගතටත් සිතටත් සුවයකි. කරුණාව හා මෛත්‍රිය යනු සර්ව ජන වශියකි. ඉතා කුඩා වෙළඳාමකින් තම ජීවිතය ආරම්භ කළ ලොව එක්තරා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු ගෙන් ඔබ මෙතරම් ධනවත් ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේදැයි ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ කුමක් ද? මා හමුවීමට එන සියලු පාරිභෝගිකයන් මා පිළිගත්තේ වෙස් වළාගත් දෙවියන් ලෙසයි. මෙයින් අදහස් වන්නේ තමා පාරිභෝගිකයා ඉතා ගෞරවයෙන්, සතුටෙන් වටිනා තැනැත්තකු ලෙස පිළිගන්නා බවයි.

බලන්න මේ දැක්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට මොනතරම් වැදගත් ද? මොනතරම් වටිනා පාඩමක් අපට පෙන්නුම් කරනවා ද? “ඕනෑ නම් ගන්නවා, එපා නම් යනවා, ඔබ බඩුගත්තෙ නැහැ කියලා අපේ කඩේ වැහෙන්න නැහැ” සමහර අය පාරිභෝගිකයාට කතා කරන්නේ මේ ආකාරයටයි. ඔබ අන් අයට සලකන්නේ කෙසේ ද? ඔබටත් අන් අය සලකන්නේ ඒ ආකාරයටයි. මෙහිදී අප සිතන පිවිතුරු සිතිවිලිත් කරුණාවන්ත වචනත් ඉතා වැදගත්. මේ අයුරින් ඔබේ ජීවිතයේ යම් දුර්වලකමක් ඇත්නම් එය සිදුවන්නේ ඔබ සිතන ක්‍රමයේ වරදින් බව තේරුම් ගන්න. සිතන ක්‍රමය සකස් කර ගැනීමෙන් පුද්ගල හැසිරීම ද වෙනස් කරගත හැකි ය.

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි සිතිවිලිවලින් අවුල්වන පවුල් ජීවිත ආදරය , මෛත්‍රිය, කරුණාව, පරාර්ථකාමිත්වය වැනි චේතනා තුළින් සාමකාමී, සැනසිලිදායක, සමඟි සම්පන්න පවුල් ජීවිත බවට පත්වන අයුරු බලන්න. අප අතර වැඩිදෙනා නිතර සිතන්නේ සාප කිරීම් වැනි සිතිවිලිය.

ලබා උපන් හැටි තමා ඔය කොච්චර කළත් ඔච්චර තමයි “මෙවැනි සිතිවිලි පුද්ගලයා පරිහානියට පත්කරයි. පෙර පව්කර ඉපදුණ නිසා දැන් අප දුප්පත් වී සිටිනවා. යනුවෙන් සිතන අය මේ සමාජයේ බහුල යි. මේ සිතිවිලිවල දැඩිව එල්බගෙන සිටින විට දියුණුවක් ලබාගත නොහැකි ය. එයින් වන්නේ තම ඉදිරි ගමනට බාධාකාරි නොපෙනෙන බලවේගයක් අප ඉදිරිපිට මවා ගැනීමයි.

කර්මය වෙනස් කළ නොහැකි යැයි කියන අය අප අතර සිටිති. චේතනාව වෙනස් කළ හැකි නම් කර්මය වෙනස් කරන්න බැරි ඇයි? මිනිස් ජීවිත නවසිය අනූනවයක් නැති කළ අංගුලිමාල චේතනාව වෙනස් කිරීම නිසා කර්ම විපාකය වළක්වාගත් ආකාරය බලන්න.

සමහර වෙනස් කළ නොහැකි කර්ම ද ඇත.

මිනිසා සතු විභව ශක්තිය තේරුම් ගත යුතුයි . බෝසත්වරු පාරමිතා පුරා බුදුබව ලබති. රහත්වීමෙන් විමුක්තිය ලැබීමට බලාපොරොත්තු වන අය අදාළ විමුක්ති මාර්ගය අනුගමනය කිරීම තුළින් රහත්ඵලය ලබති. මෙය මිනිසා සතු විභව ශක්තියේ ප්‍රතිඵලයකි.

‘විභව‘ යනු පුළුවන් බවයි. එනම් පුද්ගලයා සතු හැකියාවයි. ඉලක්ක අරමුණු සපුරා ගැනීමේදී අප තුළ ඇති සැඟවුණු ශක්තිය ‘විභව යනුවෙන් අපි හඳුන්වමු. මේ විභව ශක්තිය මල්පල ගැන්වීම අප සතු වගකීමකි.

ඒ සඳහා අවස්ථාව උදාකර ගත යුතු ය. එසේ නොවුණහොත් ඒ විභව ශක්තිය යටපත් වී සැඟවුණූ මට්ටමට පත්වනු ඇත. අක්‍රිය වනු ඇත. මෙලොව සිටින අනෙකුත් සියලු සත්වයින්ට වඩා මිනිසා සතු විභව ශක්තිය ආශ්චර්යවත් ය. එමෙන්ම බලසම්පන්න ය. මෙයින් උපරිම පල නෙළා ගැනීමේ හැකියාව මිනිසා සතු ය.

දියුණුවක් බලාපොරොත්තු වන්නා තුළ සිහිනයක් තිබිය යුතු ය. උගතකු වීමට, ධනවතකු වීමට, ව්‍යාපාරිකයකු වීමට, දේශපාලනඥයකු වීමට වෛද්‍යවරයකුවීමට, වැවිලි කරුවකු වීමට ආදි වශයෙන් තමා තුළ මවා ගත් සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීම ඉලක්කය විය යුතු ය.

ඔබගේ හැකියාව හා කැමත්ත තේරුම් ගැනීම අත්‍යවශ්‍යය. මේ නව වර්ෂය තුළ ඔබ බලාපොරොත්තු වන දේ ඉටු කර ගැනීමේ කැමැත්ත ඔබේ යටිහිත තුළට ඇතුළු කර ගන්න. එය ක්‍රියාත්මක කරන අයුරු උදේ හවස හිතන්න. ඒ සඳහා ක්‍රියාත්මක වන්න. එය ආලෝකවත් ගමනකට මංපෙත් විවර වීමක් වනු ඇත.