Print this Article


ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන ශ්‍රද්ධාවෙන් පිළිපදින්න

ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන ශ්‍රද්ධාවෙන් පිළිපදින්න

“සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර මහරි ගසක් මුල වැඩ හිඳ ඒරකපත්ත නම් නා රජු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

මෙම ඒරකපත්ත නා රජ පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම සම්බුද්ධ ශාසනයෙහි මහණ දම් පිරුවෙකි. එකල මෙම භික්ෂූන් වහන්සේ ගමනක් වඩින විට ගඟකින් එතෙරවීමට අගුලකට නැඟීමට තැත් කළහ. ඒරු අත්තක් අල්ලාගෙන නඟින විට එක් ඒරු පතක් කැඩිණ. මෙය උපසපන් භික්ෂුවකට ඇවතක් වන වැරැද්දකි.

මෙම ඇවැතින් නිදහස්වීමට ඇවැත් දෙසීමාදිය නොකළ නිසා මෙම ඇවත පිළිබඳ ව කනස්සල්ලෙන් මිය පරලොව ගොස් විශාල නා රජෙක් ව උපන්හ.

එකල අප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරු තැනෙක පිහිටි මහරි රුක මුල වැඩ සිටින බව දැනගෙන මෙම ඒරකපත්ත නා රජ එතැනට පැමිණ අඬන්නට පටන් ගත්තේ ය. මෙතෙක් මිනිසත් බව නොලැබ බණ ඇසීමට හෝ බුදු කෙනෙකුන් දැකීමේ වාසනා මහිමය නොලැබීමත් යන මෙම කාරණා නොලද හෙයින් අඬන බව බුදුරදුන්ට සැළකර සිටියේ ය. වරද ඉතා සුළු වුව ද සිදු වූ අලාභය මහා භයානක විය. උතුම් මිනිසත් බවත්, මහණකමත් අභිබවා ගහක අත්තක් කැඩීමේ ඇවැතින් නිදහස්වීමට අවකාශයක් නොලැබීමෙන් එයම විපිලිසර වීමටත් එයින් තිරිසන් අපායගාමී වීමට ද හේතුවිය.

මෙම ගාථාවෙන් ඉතා දුර්ලබ කාරණා හතරක් දක්වා ඇත.

මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර ය, මිනිසත් බ​ව රැකීම ඉතා දුෂ්කර ය, ධර්මය ශ්‍රවණය ඉතා දුෂ්කර ය, බුදුන්ගේ උත්පත්තිය ඉතා දුෂ්කර ය.

අනන්ත අප්‍රමාණ විශ්වයේ ලෝක ධාතූන් තුළ අපමණ සත්වයන් පිළිබඳ ව සිතීම පවා නිරර්ථක කාරණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එවන් විශ්වය තුළ මනු ලොව මිනිසත් බවක් ලබා ගැනීම ඉතා දුෂ්කර වන්නේ ය. මිනිසුන් වශයෙන් උපදින සත්වයන්ට මානුෂික හැඟීමෙන් ක්‍රියා කරන්නට ශරීරයක් , හැඟීමක්, කුසලතාවයක් නැත්නම් මතු මිනිසත් බවක් ලැබෙන්නේ නැත. මානුෂික ගුණාංග ආරක්ෂා කර ගැනීමට මෙන් ම මිනිසත් බවේ කුසලතා වර්ධනයට හොඳම ක්‍රියා මාර්ගය පංචසීල ප්‍රතිපත්තිය ජීවිතයට සම්බන්ධ කර ගැනීම යි.

මිනිසකු වශයෙන් ජීවත්වීමට ප්‍රධාන කරුණුූ සතරක් අත්‍යවශ්‍ය වන්නේ ය.

පන්සිල් ආරක්ෂා කිරීම, මානව ධර්මයන්ට ගරු කිරීම, සංකල්පවලට යට නොවීම හා කුසලතා වර්ධනය යි.

මිනිසුන්ගේ ජීවන ගමන ද ඉතා දුෂ්කර ය. ඒ සඳහා මිනිසාට උත්සාහය, දැනීම, උපකාරය ,ආරක්ෂාව අත්‍යවශ්‍ය වන අතර, එයින් දැනීම ප්‍රධාන වන්නේ ය. සංසාර පැවැත්ම අනුව මිනිසාගේ ජීවන ගමන ඉතා දුෂ්කරවන අතර, ඒ පිළිබඳ ව නිගමනයකට එළඹීම ද කළ නොහැක්කේ ම ය.

ලෝක ධර්මතා හා ව්‍යවහාර සැමදා පවතින අතර බුද්ධ ධර්මය ඇසීම ඉතා දුෂ්කර ය. කල්ප ගණන් ධර්මය දන්න කෙනකු නැතිව මනු ලොව අවිද්‍යාන්ධකාරයෙන් වැසී යන්නේ ය. එවන් සමයක උපදින සත්වයන් අධර්මයෙන් ජීවත් වන අතර, සත්වයෝ සතර අපායේ උපදිති.

කප්කෙල සුවහස් ගණන් කාලය පසු කල ද බුදු කෙනෙක් ලොව පහළවීම ඉතාමත් දුර්ලභ ය. එවන් උතුම් ලොව්තුරා බුදු කෙනකුන් පහළවෙන කාලයක මිනිසත් බව ලබා ගැනීමත්, ධර්මය ඇසීමත් ඉතා වාසනාවන්ත ය. මේ සියලු කරුණු සංයුක්ත වූ වර්තමාන කාලය අපතේ යැවීම නිසා මනුෂ්‍ය ජීවිතයෙන් ලබන අර්ථාන්විත ප්‍රතිඵලය නො ලබන්නෝ ය.

මිනිසා භෞතික වශයෙන් යාන්ත්‍රික ව දියුණුූවේ උපරිම තලයට පා තබා ඇති නමුත් පුද්ගලයන් වශයෙන් ක්‍රමයෙන් පිරිහෙන අතර, අනපේක්ෂිත ලෙස හිරිහැර කරදර, වධ වේදනා, යුද ගිනි. ශෝකාලාප වැඩිවන්නේ භෞතික ආශාව පිළිබඳ හැඟීම්වලට වහල්වීම නිසා ය. කෝටි සංඛ්‍යාත ජනතාව කාලය ගත කරන්නේ අසීමිත ආශාවන් ඉෂ්ට සිද්ධ කරන අපේක්ෂාවෙන් නිසා එහි බලශක්තියෙන් සතර මහා භුතයන් කිපෙන්නේ ය. විවිධාකාර ආබාධ, වේදනා. සන්තාපවලින් සමස්ත මානව සමාජය ම තෙරපෙන්නේ ය.

මිනිස් සමාජය විද්‍යාත්මක දියුණුවට යට වන විට සංකල්පවලින් , මිථ්‍යාදෘෂ්ඨියෙන් . මෙන්ම විවිධ ලාමක හැඟීම්වලින් මුළාවීම බහුල ව සිදුවන්නේ ය. එයට ප්‍රධාන හේතුව අවිවේකී ජීවන රටාව යි. මිනිස් චින්තනය, යාන්ත්‍රික ආශා ලෝකයේ දෝලනය වෙමින් තෙරපෙන අතර, නියම ආගම දහම විඥානයෙන් තෝරා බේරා ගෙන පිළිගැනීමට හා පිළිපැදීමට විවේක බුද්ධියක් නොලැබෙන්නේ ය.

බුදුදහම ප්‍රතිපත්තියක් වශයෙන් දෛනික ජීවිතයට ඇතුළත් කළ හොත් එහි ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන අතර, කලින් කලට පරිවර්තනය වන සංකීර්ණ සමාජයට අනුගත කළහොත් සෙසු ආගම් මෙන් හුදු ඇදහීම් මාත්‍රයක් වන්නේ ය.

ඇදහීම හා ශ්‍රද්ධාවෙන් දැන පිළිපැදීම අතර විශාල පරතරයක් ඇති අතර, භක්තියෙන් ඇදහීම ආත්ම වංචනිකත්වයට මාර්ගය වේ. ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ශ්‍රද්ධාවෙන් ප්‍රසන්නව පිළිපැදීමෙන් මෙලොව ශාන්තිය, පරලොව සුගතිය හා සසරින් එතරව ලබන උතුම් අමාමහ නිවන් සම්පත් ලබන්නට හේතු වාසනා වන්නේ ය.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ

මේ දහම් කවියෙන් මෙයට සියවස් ගණනකට ඉහත දී වීදාගම මෛත්‍රිය මාහිමියන් දක්වා ඇත්තේ ද අප බුදුරදුන් විසින් පෙන්වා වදාළ ගාථා ධර්ම කාරණා ම ය.

කලින් කලට සිදුවන සමාජ විපර්යාසයන් අනුව සමාජ ධර්මතා වෙනස් වුව ද අප බුදුරජාණන් වහන්සේගේ ධර්ම සියල්ල සදාකාලික සත්‍යතාවයෙන් සනාතන වන්නේ ය. මෙම දුර්ලභ දුෂ්කර කල්ප ගණනකින් ලැබෙන සම්පත් පිළිබඳව සමස්ත මානව සමාජය ම මෙයට වඩා සිය ගුණයකින් ක්‍රියාකාරි වන්නේ නම්, මානව සමාජය සුඛිත මුදිත වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි.