Print this Article


කැලණිය දළුගම ලුම්බිණි විහාරයේ සෑ රදුන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පිදුන වගයි

කැලණිය දළුගම ලුම්බිණි විහාරයේ සෑ රදුන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පිදුන වගයි

වෑගල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පැවිදි බිමට පත් වූ අරමගොඩ පඤ්ඤාතිලක කුඩා සාමණේරයන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබනු සඳහා එකල ලංකාවේ ප්‍රධාන භික්ෂු අධ්‍යාපනික ආයතනයක් වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ.


විහාරාධිකාරී
වෑගල්ලේ රාහුල හිමි

මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ අන්තේවාසික ශිෂ්‍යයකු වශයෙන් වැඩ හිඳිමින් කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමි, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි, බඹරැන්දේ සිරි සීවලී හිමි වැනි වියත් තෙරුන් වහන්සේලා යටතේ අධ්‍යාපනය ලබමින් සිටියදී එකල ලංකාවේ බොහෝ ප්‍රදේශවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත වැඩම වීම නිසා නේවාසික භික්ෂූන් වහන්සේලාට ඉඩකඩ පිළිබඳ විශාල ගැටලුවක් ඇති විය.

උන්වහන්සේ දළුගම නාගහවත්ත ප්‍රදේශයේ කුඩා බිම් කඩක ලෑලිවලින් කුඩා කුටියක් සාදා ගෙන, පිණ්ඩපාතයේ ගොස්, දානය ලබා ගෙන පිරිවෙනේ අධ්‍යාපනය කටයුතු සඳහා එහි සිට වැඩම කොට ඇත.

පසුව නාගහවත්තේ පදිංචි තේගිස් අප්පුහාමි නමැති අයකු විසින් පූජා කරන ලද පර්චස් 15 ක පමණ බිමේ යාපනයේ පදිංචි යෝගරාජා නමැති ද්‍රවිඩ මහතකු විසින් සාදා දෙන ලද ආවාසයෙහි වැඩ හිඳිමින් එම භූමියෙහි ධර්ම ශාලාවක් සහ කුඩා බුදුමැදුරක් පසු කාලීනව ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ආධාරයෙන් ඉදි කරන්නට උන්වහන්සේට හැකි විය.

පසුකාලීන ව කිරිබත්ගොඩ හුණුපිටිය, අලුත්පාරේ පුරන් වූ කුඹුරක කොටසක් මිල දී ගෙන එහි දඹදිව ආනන්ද බෝධි අංකුරයක් රෝපණය කොට පහළ විහාර භූමියෙහි මූලික ආරම්භය එසේ සිදු කරන ලද අතර, පසුව ඒ අසල බිම් කැබලි කිහිපයක් මිලදී ගෙන විහාර මන්දිරයක් සහ ධර්ම ශාලාව සහ අවාසගෙය සහිත නව දෙමහල් ගොඩනැඟිල්ලක් සාදන ලදී. උන්වහන්සේගේ ප්‍රාර්ථනාව වූයේ එම ස්ථානයෙහි චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ගොඩනැංවීමයි. එහෙත් ඊට ප්‍රථම උන්වහන්සේ අපවත් වූහ.

උන්වහන්සේ සමීපයෙන් ඇසුරු කළ සුනිල් ගමගේ නම් මහතා දිනක් රාත්‍රියෙහි විහාර බිමෙහි චෛත්‍යයක් සාදා සැදැහැවතුන් වන්දනාමාන කරන අයුරු සිහිනෙන් දැක පසුදින විහාරවාසී මහා සංඝ රත්නය වන වෑගල්ලේ රාහුල හිමි, වෑගල්ලේ පඤ්ඤාවිසුද්ධි හිමි, දෙඹුන්නාවේ සුමනරතන හිමි යන ස්වාමීන් වහන්සේට මේ කරුණ පැවසීය. කෙසේ හෝ මෙහි සෑ රදුන් වහන්සේ නමක් ගොඩනැංවිය යුතු බවට අධිෂ්ඨානයක් ඇති කර ගෙන විහාර භූමියට පිටුපස ඇළෙන් එහා ඇති වගුරු බිමක පර්චස් 35 ක් පමණ මිල දී ගෙන වසර දෙකකින් පමණ අඩි 65 ක් පමණ උස බුබ්බුලාකාර හැඩයෙන් යුතු අලංකාරවත් චෛත්‍යයක් රුපියල් කෝටි තුනක් පමණ වැය කොට ගොඩ නංවා ඇත. මේ සඳහා විහාරස්ථානයෙහි ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කරන ගන්තුනේ අස්සජි මහා නා හිමියන්ගේ අවවාද අනුශාසනා ද ලැබුණි.

අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති, සාහිත්‍යශූරි ගන්තුනේ අස්සජි මහා නායක හිමිපාණන් වහන්සේගේ සහ ඓතිහාසික කැලණිය රාජමහා විහාරාධිපති හා කැලණිය විශ්ව විද්‍යාලයෙහි කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය ගිහි පැවිදි පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබුණි. මීට සමගාමීව විහාරස්ථානයේ පින්කම් මාලාවක් සිදු කෙරිණි.

පසුගිය 04 වැනි දින සිට 08 වැනි දින පහන්වනතුරු සති පිරිත් දේශනාව පැවැත්වු අතර මෙම පින්කම් මාලාවේ සංවිධාන කටයුතු කලාශූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් සිදු කෙරිණි. මෙම මහා පුණ්‍ය කටයුත්තට සහභාගිවන සැදැහැතියන් වෙත බෙදා දීම සඳහා බුදුසරණ පත්‍ර දහසක් ලබා ගැනීම පිණිස අනුග්‍රහය ලබා දෙන්නේ, කිරිබත්ගොඩ ලක්සැල ව්‍යාපාර නිර්මාතෘ ඩබ්.එම්. යූ.බී.වීරකෝන් මැතිතුමාට පින් පිණිස කුමාරි වීරකෝන් මැතිණිය විසිනි.