Print this Article


රටට ම සෙත සදන සිරිපා බිමේ පින්කම්

රටට ම සෙත සදන සිරිපා බිමේ පින්කම්

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට වදාළ සමයේ සබරගමු පළාතේ එක්තරා දේව කොට්ඨාශයක් විසූ බවත්, ඔවුන්ගේ නායකයා සුමන නම් වූ බවත් පැවසේ. ඒ සුමන නම් ජන නායකයා බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයේ් දී ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූ බව ද මහා වංශයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී දෙවැනි වරටත් බුදුරජාණන් වහන්සේගෙන් සුමන නම් ජන නායකයාට ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදා වී ඇත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධා භක්තියෙන් යුතුව එවකට සැදැහැවත් බෞද්ධ උපාසකයකු වූ ද පසු කාලයේ දී බුදු බව පතා පෙරුම් පුරන්නකු බවට පත් වූ ද සුමන සමන් දිව්‍යරාජයා බුදුරජාණන් වහන්සේට ගෞරවනීය ආරාධනයක් සිදු කළේ ය. ඒ ආරාධනය වූයේ ඉරහඳ පවතින තුරු සැදැහැවතුන්ට පුද පූජා, සත්කාර වන්දනා කිරීම සඳහා සමනොළ කඳු මුදුනෙහි ශ්‍රී පාද පද්ම ලාංඡනය පිහිටුවන ලෙස ය. මේ උතුම් ආරාධනය පිළිගෙන බුදුරජාණන් වහන්සේ තෙවැනි වරටත් ලංකාද්වීපයට වැඩම කොට සුරම්‍ය වූ පර්වතය මුදුනෙහි ඉන්ද්‍රනීල මාණික්‍ය මත්තෙහි බුදුරජාණන් වහන්සේ වාම ශ්‍රී පාද පද්මය තැබූ කල්හි මැටි පිඩක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ බලයෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරු වූ සිරිපා කමල සලකුණු වූ බව සඳහන් වෙයි.

හාත්පස පිහිටියා වූ කඳු පන්තීන් අතරින් අතිශයින් අභිමානවත් වූ කූඨය නිසා ම ‘සමන්ත කූඨය” වී යැයි ද පැවසේ. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘සුමන කූඨ’ වූවා යැයි ද තවත් මතයක් විය. ශ්‍රීපාද පද්මය පිහිටුවීමෙන් අනතුරුව සමන්ත කූටය ශ්‍රී පාදස්ථානය නමින් ද ප්‍රසිද්ධියට පත්වූ බව ද කියැවේ.

සමනල අඩවියට ගමන් කරන කිසිම කෙනකුට අනතුරක් සිදු නොවන්නට සමන් දෙවියන්ගේ අදෘශ්‍යමාන බලයෙන් ආරක්ෂාවන බව එදා මෙන් ම අද ද විශ්වාස කෙරේ.

ශ්‍රී පාද වන්දනා වාරය තුළ සිදුකරන සුවිශේෂී පින්කමක් වන්නේ මැදින් පොහෝ දින පින්කම ය. ඒ 1992 වසරේ මැදින් පොහෝ දින පින්කම ද සුවිශේෂී එකක් විය. ඒ පින්කම සුවිශේෂ වූයේ ශ්‍රී පාද පද්මය අභියස සිට මුළු ශ්‍රී ලංකා ධරණී තලයට ම ඇසෙන සේ පිරිත් දේශනා කිරීම ය. සංඝයා වහන්සේලා බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිරිත් පින්කම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රාත්‍රිය මුළුල්ලේ ම රටපුරා විසුරුවා හැරියේ ය.

මෙම පිරිත් පින්කමට එදා සිදුකෙරුණේ රටේ ම පැවැති නියං තත්ත්වයක් මැදය. පොහෝ දින රැය පුරාම සිදු කළ පිරිත් දේශනය අවසානයේ දී එවකට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය රට වැසියන්ට සෙත් පතා ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කළහ. ඉන් අනතුරුව සමනල ගිරිමුදුනට ද සමනල කඳු මුදුනෙන් ගලා බසින සිව්මහා ගංගාවන්ට ද, ඒවායේ දියබෙත් ම ප්‍රදේශයන් ද ඇතුළු කඳුකරයේ මහා ජලාශවලට ද පිරිත් පැන් මුසු කරන ලදී.

එදා මේ මහා පින්කම අවසානයේ මහා සංඝරත්නය සිරිපා ගිරෙන් ආපසු වැඩියේ ද තුන්සරණය සජ්ඣායනය කරමිනි. ඒ වගේ ම දහස් ගණනක් වූ වන්දනා කරුවන්ගේ ද ප්‍රාර්ථනය වූයේ වර්ෂාවයි. පසු දින සවස ශ්‍රී පාද අඩවියට මහ වැසි ඇද හැලෙන්නට වූයෙන් සිව් මහා ගංගා පිරී ඉතිරී යන්නට විය.