Print this Article


මෙතරම් මානසික පීඩා තමන් ගැන නොසිතීම නිසයි

මෙතරම් මානසික පීඩා තමන් ගැන නොසිතීම නිසයි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමේ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදති, අසම්මුළ්හො කාලං කරොති, උත්තරීං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගෝ හොති.

කාරුණික පින්වත,

අද මම ඔබට පහදා දෙනු ලබන්නේ මෛත්‍රිය වැඩීමේ අනුසස් පිළිබඳවයි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයක් ලෙස මා මාතෘකා කර ගත් ඉහත දේශනා පාඨය අඩංගු මෙත්තානිසංස සූත්‍රය දැක්විය හැකි ය. මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්සති වග්ගයට යි. මෙහිදී උන්වහන්සේ මෙත් වැඩීමේ ආනිශංස එකොළොසක් පෙන්වා වදාළහ.

මෛත්‍රිය යනු වෛර නොකිරීමයි. තරහ නොවීමයි. නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කිරීමයි. සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීමයි. තමන්ට මෙන්ම සියලු ලෝ වැසියන්ට ම ඉහත දැක් වූ ආකාරයට යහපත පැතීම මෛත්‍රියයි. තම යහපත අපේක්ෂා කරනවා මෙන්ම අන්‍යයන්ගේ ද යහපත අපේක්ෂා කිරීම උදාර මිනිස් ගුණාංගයකි.

බොහෝ විට මිනිසුන් මානසිකව පීඩා විඳින්නේ තමා පිළිබඳ සිතා නොව අන්‍යයන්ගේ සැපත සතුට දැක ඒ පිළිබඳ ඇති කර ගන්නා අතෘප්තිකර හැඟීම් නිසා ය. මෙ නිසා සැම විටම සියලු දෙනාගේ ම දියුණුව දැක ඊර්ෂ්‍යාව නුපදවාගෙන ඔවුන්ගේ සතුට සැනසුම පිළිබඳ සොම්නසින් මෛත්‍රියෙන් කටයුතු කිරීම නිසා තෘප්තිමත් හැඟීමෙන් සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීමට මඟ පෑදෙයි.

කරණීය මෙත්ත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය වැඩිය යුතු ආකාරය පෙන්වා දෙන්නේ මවක් තම එකම පුතු කෙරෙහි ආදරය කරුණාව දක්වමින්, ජීවිත පරිත්‍යාගයෙන් එම දරුවා රකින්නේ යම් සේ ද එලෙස ම සකල ලෝක සත්වයා කෙරෙහි ම අප්‍රමාණ වූ මෛත්‍රී සිතින් ක්‍රියා කළ යුතු බවයි.

වරක් බුදුරජාණන් වහන්සේ විසින් දුසිල් ව සිවුපස පරිභෝග කිරීම නිසා සිදුවන විපත් පෙන්වා දෙමින් වදාළ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය ඇසීමෙන් ඒ මොහොතේ ම භික්ෂූන් වහන්සේලා හැට නමක් පමණ උණු ලේ වමනය කළ අතර, හැට නමක් පමණ භික්ෂුහු මේ සසුන්හි පැවැත්ම දුෂ්කර යැයි පවසා උපැවිදි වූහ. තවත් හැටක් පමණ භික්ෂුහු රහත් ඵලයට පත්වූහ.

අනතුරුව බොහෝ භික්ෂූහු සසුන්හි පැවැත්ම දුෂ්කර යැයි පවසමින් වරින් වර උපැවිදි වූහ. මෙලෙස බොහෝ භික්ෂූන් උපැවිදි වීමෙන් වෙහෙර භූමි හිස් වන්නට විය. මේ පිළිබඳ අනඳ තෙරුන්ගෙන් තොරතුරු දැන ගත් බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේගයට පත්ව භික්ෂූන් එක්රැස් කොට මෛත්‍රිය වැඩීමේ අනුසස් දක්වා යම් භික්ෂුවක් ඇසුරු සැණක පමණ කාලයක් වුවත් මෛත්‍රී සිත ඇසුරු කරන්නේ ද, ඒ භික්ෂුව ධ්‍යානයෙන් නොහිස්ව වාසය කරන බවත්, රටවාසීන් දෙන ආහාරය නොසිස් ව වළඳන බවත් වදාළහ.

මෛත්‍රිය බොහෝ සෙයින් වඩන්නේ නම් ඔවුන් පිළිබඳ පැවසිය යුතු ම නොවේ යැයි වැඩිදුරටත් උන්වහන්සේ පෙන්වා වදාළහ. මේ කරුණෙන් ද මෛත්‍රී සිත දියුණු කිරීමේ වටිනාකම කෙතරම් බලවත් දැයි ඔබට වැටහෙනවා ඇති.

මෙත් සිත වැඩිය යුත්තේ කවර වෙලාවක, කුමන ආකාරයට දැයි සමහර විට ඔබට සිතෙනවා ඇති. ඊට කරණීය මෙත්ත සුත්‍රය මනා පිළිතුරක් ලබා දෙයි.

සිටගෙන සිටීමේ දී, ඇවිදීමේ දී, හිඳීමේ දී නිඳීමේ දී යම් තාක් කල් නොනිදා සිටිත් ද ඒ තාක් කල් මෛත්‍රී සහගත සිහිය අදිටන් කොට ගෙන විසිය යුතු බවත්, මෙය ශාසනයෙහි බ්‍රහ්ම විහරණයක් වන බවත් එහිදී වදාරා ඇත.

මෙලෙස මෙත් වැඩීමෙන් ලැබෙන ආනිශංස එකොළොසක් පවතින බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

ඉන් පළමු වැන්න ‘සුඛං සුපති’ යනුයි. එනම් සුව සේ නිදා ගැනීමට හැකි වන බවයි. නින්ද යනු මානව ක්‍රියාකාරිත්වයේ අත්‍යවශ්‍ය අංගයකි. දවස පුරා විවිධාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයාගේ කායික විශ්‍රාමය නින්දයි. නින්ද කෙතරම් ශරීරයට අත්‍යවශ්‍ය වුවත් නිසි නින්දක් හැම දෙනාට ම ලැබිය නොහැකි ය.

විශේෂයෙන් අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන, අන්‍යයන්ට විපත් කිරීමට කටයුතු කරන, ඔවුන් කෙරෙහි වෛරයෙන් ඔවුන්ගේ සැපත සතුට නසාලීමට වෙර දරන පුද්ගලයාගේ සිත සැමවිටම නොසන්සුන් ය. එම නිසා නින්දට ගිය ද සිතේ කැළඹිලි ස්වභාවය නිසා සාර්ථක නින්දක් නොලබයි. එහෙත් හැමවිට ම අන්‍යයන්ගේ සැපත සතුට දැක සතුටු වන, අන්‍යයන්ගේ දියුණුව ම පතමින් ඔවුන් කෙරෙහි මෙත් සිත පතුරුවන පුද්ගලයාගේ සිත සැහැල්ලු නිසා නින්දට ගිය කල්හි සමාධිගත වූවකු මෙන් සුවපත් නින්දක් ලබයි.

නින්ද නිසියාකාරව නොලැබීම නිසා වෛද්‍ය ප්‍රතිකාරවලට පවා මිනිසුන් යොමුවන ආකාරය අපි දැක ඇත්තෙමු. නිසියාකාර නින්දක් නොලැබීම නිසා පසුදින නියමිත කටයුතු පවා නිසි ලෙස කර ගැනීමට නොහැකිව තැවීමට පත්වීමට සිදුවේ. එම නිසා යමෙක් මෙත් වඩන්නේ නම්, එවන් කරදරයන්ට පත් නොවී සැනසුම් සහගත නින්දක් ලැබිය හැකි බව සිතට ගත යුතු ය.

මෙත් වැඩීමේ දෙවන ආනිසංසය සුඛං පටිබුජ්ඣති යන්නයි. එනම් සුව සේ අවදි විය හැකි බවයි. සුව නින්දක් නොලබන්නාට සුවපත් අවදිවීමක් ලැබිය නොහැකි ය. ඇඟමැලි කඩමින්, කෙඳිරිගාමින්, ඈනුම් අරිමින්, පෙරළෙමින් විඩාබරව අවදිවීමට සිදුවෙයි. එහෙත් මෙත් වඩන්නා සුව නින්දක් ලබා පිපෙන පියුමක් සේ ඉතා සැහැල්ලුව සතුටින් අවදි වෙයි.

තුන්වැනි ආනිසංසය නම්, න පාපකානං සුපිනං පස්සති යනුයි. මින් අදහස් කෙරෙන්නේ පවිටු, සිත බියට කැළඹීමට පත් කරන සිහින නොදකින බවයි.

අන්‍යයන්ට වෛර කරන්නා හැමවිට ම සිටින්නේ ද්වේශ සහගත සිතින් නිසා ඔහුගේ සිත පීඩාවට විඩාවට පත්ව තිබේ. එමනිසාම ද්වේශයෙන් විඩාබර ව අඩ නින්දේ පසු වන්නන් විවිධාකාර, භයානක, සිත කැළඹීමට පත් කරන සිහින දකී. එහෙත් මෙත් වඩන්නාගේ සිත තුළ පවතින සැනසුම් සහගත සැහැල්ලු බව නිසා නරක නපුරු සිහින දැකීමට ඉඩක් නොලබන අතර, සෑයක් වඳින පූජාවක් පවත්වන අයකු මෙන් සිත තුටු කරන සිහිනයක් ම දකී.

මඳක් සිතන්න, ඔබ යම් දිනෙක කා සමඟ හෝ අමනාපෙන්, වෛරයෙන්, කැළඹුණ සිතින් නිදා ගත්තා නම් එදින නින්ද ලැබුණ ආකාරයත්, අවදි වන විට ගත සිත දෙකම පෙළුණු ආකාරයත්, මුළු රැය පුරාම සිත කළඹන තිගැස්සීම් ඇති කරවන සිහින දුටු ආකාරයත් ඔබේ සිතට සිහිවනවා නොඅනුමාන ය.

මෙත් වැඩීමේ ආනිසංසය කෙතරම් අපූරුදැයි එතුළින් වුවත් ඔබට වැටහෙනවා ඇති.

මනුස්සානං පියෝ හොති යනු සිවුවන ආනිසංසය යි. අප කවුරුත් මෘදු හදවතින් පි‍්‍රය වදන් කතා කරන, සිනා මුසු මුහුණින් ක්‍රියා කරන අයට පි‍්‍රයතාවයක් දක්වන්නෙමු.

මෙම ලක්ෂණ පිහිටන්නේ මෙත් සිතින් වසන්නකුට විනා වෛරී පුද්ගලයකුට නොවේ.

මෙත් වඩන්නා සෑම මිනිසකුගේ ම පි‍්‍රයතාවයට ලක්වන්නේ උරෙහි පැළැඳි මුතුහරයක් මෙන් හෝ හිසෙහි පළඳවන ලද මල්දමක් ලෙසින් අන්‍යයන්ගේ සිත් තමන් වෙත යොමු කර ගනිමිනි.

අමනුස්සානං පියෝ හොති යනු මෙත් වඩන්නා අමනුෂ්‍යයන්ගේ ද පි‍්‍රයතාවයට ලක්වන බවයි. මිනිසුන් මෙන්ම අමනුෂ්‍යයන් ද මෙත් වඩන්නා කෙරෙහි දක්වන පි‍්‍රයතාවය ඔප්පු වන කතා පුවතක් විසුද්ධි මග්ගයෙහි බ්‍රහ්ම විහාර නිර්දේශයෙහි විස්තර වේ.

පැළලුප් නුවරවාසී විශාඛ නම් කෙළඹියෙක් ලක්දිවට පැමිණ අනුරාධපුර මහා විහාරයේ දී පැවිදි උපසම්පදා වී පස් වසක් කමටහන් ගෙන සිවු මස, සිවු මස එක එක තැන්හි සමවත් පුරමින් වැඩමවන්නේ සිතුල්පව්වට පැමිණ සිවු මසක් එහි වසා හෙට දින ඉන් බැහැරව වඩින්නට සිතා සැතපුණහ.

හඬන ශබ්දයක් ඇසී කුමක් නිසා කවුරුන් හඬන්නේ දැයි විමසීමේ දී තමන් රුක් දෙවියකු බවත්, මෙම සිවුමස ඔබ වහන්සේගේ මෙත් සිතේ ආනුභාවයෙන් අමනුෂ්‍යයන් ඔවුනොවුන් කෙරෙහි මෙත් සිතින් විසූ බවත්, ඔබ වහන්සේගේ නැවත වැඩමවීමෙන් ඒ තත්ත්වය නැති වී පෙර පරිදිම කලහ ඇති වන බවත් දන්වා එහිම වැඩ සිටින්නට ඇරයුම් කළේය.

ඔවුන් කෙරෙහි කරුණාවෙන් උන්වහන්සේ තවත් සිව් මසක් එහි විසූහ. ඒ සිවු මස ගතවී හෙට දින වඩින්නට සිටියදී පෙර සිද්ධිය ම සිදු වීම නිසා උන්වහන්සේ නැවතත් සිවු මසක් එහි වසන්නට වූහ. නැවත නැවතත් වඩින්නට සූදානම් වීමේ දී මෙලෙස රුක් දෙවියාගේ ආයාචනය නිසා පිරිනිවන්පාන තෙක්ම උන්වහන්සේ එහිම විසූහ. මේ කතාවට අනුව මෙත් වැඩිමෙන් තමන් පමණක් නොව තමන් අවට සිටින්නන් පවා සුවපත් වන බව ප්‍රකට කෙරේ.

එමෙන්ම මෙත් වඩන්නා මවක් තම පුතු ආදරයෙන් සෙනෙහසින් කරදරයක් විපත්තියක් වන්නට ඉඩ නොදී රකින්නාක් මෙන් දෙවියන් රකින බව දේවතා රක්ඛන්ති යන්නෙන් අදහස් කෙරේ.

එමෙන් ම ගින්නෙන් වස විසෙන් හෝ අවි ආයුධවලින් මෙත් වඩන්නාගේ සිරුරට හානියක් නොවන බව පෙන්වා දෙයි. සිය පැටියාට කිරි පොවමින් සිටි දෙනකට එක්තරා වැද්දකු අතින් කරකවා දිගු මිටක් ඇති අවියකින් දමා ගැසූ බවත් , ඒ අවිය ඇගේ සිරුරෙහි වැදී තල් කොළයක් මෙන් නැවී බිම පතිත වූ බවත් අටුවාවෙහි දැක්වේ.

ඒ ධ්‍යාන බලයකින් නොව ඒ මව තුළ පැවති පුත්‍ර ස්නේහය මිශි‍්‍රත මෛත්‍රී සිත නිසා ය.

තුවටං චිත්තං සමාධියති යන්නෙන් මෛත්‍රියෙන් වසන්නාගේ සිත ඉතා ඉක්මනින් සමාධිගත වන බව පෙන්වා දෙයි. ද්වේශයෙන්, වෛරයෙන් නොකැළඹුණු සිතක් ඇතිවීම ඊට හේතුවයි.

මෙත් වඩන්නාගේ මුහුණ පියකරු වන බව මුඛවණ්ණෝ විප්පසීදති යනුවෙන් දැක්වේ. වෛරී සිතින් වසන්නාගේ මුහුණෙන් පවා එම දුර්ගුණ ප්‍රකට වන හෙයින් මුහුණෙහි අඳුරු ගතියක් ඇතිවීම ස්වභාවික ය. එහෙත් මෙත් වඩන්නාගේ සිතෙහි පවතින සතුට, සැහැල්ලු බව නිසාම මුහුණෙහි දීප්තියක් ඇති වේ.

අසම්මුළ්හෝ කාලං කරොති යන ආනිශංසයට අනුව මෛත්‍රියෙන් වසන්නාට නොමුළා වූ සිහියෙන් මරණයට පත්වීමට හැකි වන්නේ ය. නොමුළා වූ සිහියෙන්, සැනසුමෙන් මරණයට පත් වන්නන් ඇත්තේ ලොව කෙතරම් අල්පව ද? කෙතරම් පින් කළත් මරණයට පත්වන්නේ මුළා වූ සිහියෙන් නම්, පරලොව ජීවිතය අවදානම් තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි ය. එබැවින් නොමුළා වූ සිහියෙන් අපගේ මරණය ළඟා කර ගැනීමට නම් මෛත්‍රී සහගත ව විසීමට උනන්දු විය යුතු ය.

මෙත්තානිසංස සූත්‍රයට අනුව මෙත් වැඩීමේ එකොළොස් වන ආනිශංසය ලෙස දැක්වෙන්නේ උත්තරීං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලොකුපගෝ හොති යන්නයි. එනම් රහත්විය නොහැකි වී නම්, නිදා පිබිදියාක් මෙන් බ්‍රහ්ම ලෝකයෙහි උත්පත්තිය ලබන බවයි.

මෙම ආනිශංස දෙස බැලීමේ දී අප මේ වනතුරුත් ප්‍රමාද වී ඇත්දැයි සමහර විට ඔබට සිතෙනු ඇත. අන්‍යයන් කෙරෙහි වෛරී සිත් උපදවා ගෙන ඔවුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරමින් මෙතෙක් අපගේ ජීවිතය ගත කර ඇත්නම් එය මොනතරම් අපරාධයක් දැයි ඔබට ම වැටහෙනු ඇත. ජාති, ආගම්, කුල භේදයන්ගෙන් තොරව මගේ, අපේ හෝ පිටස්තර භේදයකින් තොරව උස් මිටි භේදයකින් තොරව මෙත් සිත ක්‍රියාත්මක කළ හැකි නම්, අපට සැනසුම් සහගත දිවියක් ගත කිරීමට මඟ පෑදෙනු ඇත. එය මෙලොව දිවියේ සතුට සැනසුම පිණිසත්, සංසාරගත දිවියේ සැනසුම පිණිසත් පමණක් නොව මෙත් සිත ප්‍රගුණ කිරීමෙන් සසර ගමන නවතා නිවන් සාක්ෂාත් කිරීම පිණිසත් ඉවහල් වන බව සිතට ගෙන ආරම්භ වන නව වර්ෂයේ සිට මෛත්‍රී විහරණයෙන් විසීමට දැඩි ලෙස අදිටන් කර ගනිමු.