Print this Article


ඈත අතීතයක ශාසනික තොරතුරු කියන කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ පද්මාකාර සෑ රදුන්

ඈත අතීතයක ශාසනික තොරතුරු කියන කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ පද්මාකාර සෑ රදුන්

මුලතිව් තන්තිරිප්පු රක්‍ෂිතයේ කුරුඳුමලේ වැවට මැදිව ඇති උස්බිම් ප්‍රදේශයක ඓතිහාසික කුරුන්දාශෝක විහාරස්ථානය පිහිටා ඇත. මේ පුරාවිද්‍යා ස්ථානය මුල් ඓතිහාසික යුගයේ (ක්‍රි.ව. 1 සහ 2 යන සියවස්වල) ඉදිවූ ආරම්භක නටබුන් සහිත ස්ථානයකි. මහාවංශය මෙම ස්ථානය කුරුන්දක, කුරුන්ඥා පාසකල වශයෙන් ද, 1905 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාලන වාර්තාවේ කුරුන්දන්මලේ වශයෙන් ද හඳුන්වා ඇත. වර්තමානයේ කුරුඳුමලේ වශයෙන් හඳුන්වන මෙම විහාරස්ථානය කුරුන්ද, කුරුන්දුවෙලි යනුවෙන් ද හඳුන්වයි. වංශ කතාවලට අනුව ලංකාවේ ලියැවුණු අට්ඨ කතා අතර කුරුන්දි අට්ඨ කතා නම් සුවිශේෂි අට්ඨ කතා ග්‍රන්ථ රචනා කරන ලද්දේ මේ ස්ථානයේ බවට විශ්වාස කරනු ලැබේ. ඛල්ලාට නාග රජු විසින් (ක්‍රි.ව. 100-103) මේ විහාරය ගොඩනැඟු බවත්, පළවන අග්බෝ රජු (ක්‍රි.ව. 571-604) හා පළවැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) යන රජවරුන් කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහයන් දැක්වූ බව මහා වංශයේ සඳහන් වේ.

තව ද බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයේ දී මේ ස්ථානයට වැඩි බවට ජනප්‍රවාද පවතී. තුන්වැනි මිහිඳු රජුට අයත් ශිලා ලේඛනය පිළිබඳ 1905 පාලන වාර්තාවේ මේ පිළිබඳ සඳහන් වුව ද වර්තමානයේ එය සොයා ගැනීමට නොහැකි ය.

වනගත භූමියක පිහිටා ඇති මෙහි නටබුන් විහාරාරාම සංකීර්ණය කිලෝමීටරයකට වඩා සීමාවක් තුළ පැතිර ඇත. ඒ අතර පැරැණි ස්තූපයක් ඇතුළු ගොඩනැඟිලි රැසක් ද, පොකුණක් හා වට ප්‍රාකාරයක කොටස් ද, මූල් ඓතිහාසික යුගයට අයත් පෞරාණික කැටයම් සහිත සඳකඩ පහනක්, කොරවක් ගල් හා ගල් කණු මෙම භූමිය පුරා විසිරී ඇත.

මෙවන් ඓතිහාසික පසුබිමක් ඇති මෙම පුරාවිද්‍යා භූමියේ සුවිශේෂි සිදුවීමක් 2021 ජනවාරි මස 18 වැනි සඳු දින සුභ මොහොතින් සිදුවිය. එනම් මෙහි විනාශයට පත්වී ඇති චෛත්‍ය රාජයාණන්ගේ කැනිම් කටයුතු සිදු කිරීමයි. මෙසේ කුරුන්දි ව්‍යාපෘතිය සදහා මූල්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ බෞද්ධාලෝක පදනම මඟිිනි.

පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා පවසන්නේ කුරුන්දි පුරාවිද්‍යා රක්‍ෂිතයේ ඇති චෛත්‍යය ලංකාවෙන් දැනට හමු වී ඇති එකම පද්මාකාර චෛත්‍යය වන බවයි.ඒ වගේම කබොක් ගලින් නිර්මාණය කළ චෛත්‍යයක් ද මීට පෙර හමු වී නොමැති බවත් ය.