Print this Article


බුද්ධංගල ආනන්ද මා හිමිපාණන් වහන්සේ

බුද්ධංගල ආනන්ද මා හිමිපාණන් වහන්සේ

බුද්ධංගල ආරණ්‍ය සේනාසනවාසීව වැඩ සිටි ගෞරවාර්හ බුද්ධංගල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගිය දෙසැම්බර් මස 28 දින අපවත් වී වදාළහ. කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙසින් මෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු ලෙස නමක් දිනාගත් ආනන්ද වීරසේකර නමින් හැඳීන් වූ සිසුවා පසුව ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී රට රැක ගැන්මේ සේවයේ නිරත විය. 1988/1989 වසරවල ඇරැඹි භීෂණයෙන් නොමඟ ගිය තරුණ පිරිස් පුනරුත්ථාපනය පිණිස පුනරුත්ථාපන කොමසාරිස් ධුරය හොබවන කල ආනන්ද වීරසේකරයෝ බ්‍රිගේඩියර් තනතුර හෙබවූහ. එකල ඔහුගේ මූලිකත්වයෙන් පුනරුත්ථාපනය කළ තරුණ පිරිස දසදහස් ගණනකි. මේජර් ජෙනරාල් ධුරයට උසස් වූ ආනන්ද වීරසේකරයන් 2007 වසරේ දී යුද හමුදාවෙන් ඉවත් වූ පසුව සම්බුදු සසුන කෙරෙහි අවධානය යොමු කරන ලදී.

ඒ අනුව බුද්ධංගල ආනන්ද නමින් පැවිදි දිවියට පත් විය. එතැන් සිට මෙරට හා විදෙස් රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණු බුද්ධංගල ආනන්ද හිමියෝ කිසිදු විටක කලබලකාරී හෝ ඉක්මන් ක්‍රියාවන් කෙරෙහි යොමු නොවූ හිමි නමක් සේ කටයුතු කළහ. භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයෙන් පිළිබිඹු විය යුතු උත්තම මානුෂීය ගුණාංග පමණක් උන් වහන්සේ කෙරෙන් පිළිබිඹු විය.

බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දී පැවිදි දිවියට පත් වීමෙන් ද උන් වහන්සේ අපේක්ෂා කෙළේ පැවිදි දිවිය නිහඬව වුව ද අවබෝධයෙන් යුතු ව ගත කිරීම ය. උන්වහන්සේ විචිත්‍ර ධර්මකථිකයාණන් වහන්සේ නමක මෙන්ම ධර්ම ග්‍රන්ථ කර්තෘවරයාණන් වහන්සේ නමක ද වූහ.

උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කොට ගනිත්වා යි ප්‍රාර්ථනා කරමු.

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන් වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොහොයුරාණන් ය‍.