Print this Article


ධර්ම ප්‍රචාරයට වගේම මාතෘභූමියේ ආරක්ෂාවටත් ශක්තියක් වුණා

ධර්ම ප්‍රචාරයට වගේම මාතෘභූමියේ ආරක්ෂාවටත් ශක්තියක් වුණා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක, විශ්වීය බෞද්ධ මහා සංඝ සම්මේලනයේ සභාපති, ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය පරවාහැර චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

පුංචි දරුවකු සිත තුළ පහළ වූ පැවිදිවීමේ ආසාව මල්පලදරා බහුශ්‍රැත පඬිරුවනක් වශයෙන් ලංකාවේ පමණක් නොව, යුරෝපයේ ද, ධර්මශාස්ත්‍රීය මෙන්ම සමාජ සුබසාධන කටයුතුයෙහිලා මහානීය සේවාවක නියැළෙන ඔබ වහන්සේගේ පැවිදි දිවිය පෝෂණය වූ ආකාරය සිහිපත් කරන්න අපේ හාමුදුරුවනේ,

මම ඉපදුණේ 1954 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ පරවාහැර කියන බොහොම සුන්දර ගැමි පරිසරයක. ජෝන් කර්නේලිස් සේදර හා වගාච්චිගේ හින්නිහාමිනේ යන මගේ සදාදරණීය මව්පියන් තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කළ නිසා නිරතුරුවම ආගමික පසුබිම මුසුවූ පරිසරයක ජීවත් වුණේ. ගුණ ගරුක මව්පියන්ගේ අනුදැනුම නිසාම පුංචි කාලයේ දීම ලෝවැඩ සඟරාව, වෙස්සන්තර ජාතකය, තුන් සූත්‍රය කට පාඩම් කළා. අක්ෂර ශික්ෂාව ලබාගත් නාඔටුන්න පාසල සමීපයෙන් නිතරම පිණ්ඩපාතය වැඩම කළ හාමුදුරුවන් වහන්සේලා දකින විට පැවිදිවීමට ආසාවක් ඇතිවුණා. මව්පිය ආශිර්වාදය මත ගිහි ඥාතිත්වයක් තිබුණ කඳුරුපොකුණේ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ දැනුම්වත් කිරීමත් සමඟ මාව විහාරස්ථානය වෙත කැඳවාගෙන පැවිදිවීමට ඇවැසි මූලික බණ දහම් පුරුදු පුහුණු කළා. අනතුරුව උන්වහන්සේගේ ආචාර්යත්වයෙන් පුරාකෘත පුණ්‍ය මහිමයට අනුව 1965 මාර්තු 10 වැනිදා පරවාහැර චන්දරතන යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්තා.

පැවිදිවීමට තිබූ ආසාව නිසාම ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු හොඳින් සිදුකරමින් උසස් අධ්‍යාපනයට යොමුවුණා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධිය ලබා ගැනීමත් සමඟ විදේශ ගතවීමට සිදු වුණා. කඳුරුපොකුණේ ධම්මරතන හිමි, මාවැල්ලේ සෝරත හිමි, වැයිහේනේ සුමන හිමි, යටලමත්තේ වංගීස හිමි, වේපතඉර සෝමාලෝක හිමි, ගෝණදෙණියේ හේමාලෝක හිමි ආදී බහුශ්‍රැත පඬිවරුන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන්නේ උන්වහන්සේලාගෙන් ලැබුණු ආලෝකය ආභාසය පැවිදි ජීවිතය සාර්ථකවීමට හේතුවුණ නිසයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ක්‍රියාකාරී අධ්‍යාපනය පමණක් නොව, සමිති සමාගම්වල ක්‍රියාකාරී නායකත්වයක් ලබා දෙමින් ලැබූ අත්දැකීම් මත මේ වන විට යුරෝපීය ධර්ම ප්‍රචාරක කටයුතු, විශ්වීය බෞද්ධ මහා සංඝ සම්මේලනයේ සභාපති ආදී වගකීම් දරමින් සිදුකරන සේවාවන් පිළිබඳ දැනුවත් කරන්න. හාමුදුරුවනේ

1981 වර්ෂයේ දී ප්‍රංශයට වැඩම කළාට පසුව පැරිස් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ගත්තා. මම ප්‍රංශයට වැඩම කරන විට සිංහල බෞද්ධ විහාරස්ථාන එකක්වත් තිබුණේ නැහැ. එම පසුබිම සකස් කර ගැනීමට කාම්බෝජ, වියට්නාම විහාරස්ථාන මට රැකවරණය දෙමින් බොහෝ උපකාර කළ බව මේ අවස්ථාවේ දී කෘතවේදී ව සිහිපත් කළ යුතුයි. 1989 වර්ෂයේ දී ආරම්භ කළ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විවෘත කිරීමට අතිපූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කළා. බුදුදහම සොයාගෙන එන යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් ධර්මය ඉගැන්වීම, භාවනා පුහුණුවීම, බෞද්ධ ග්‍රන්ථ 35 - 40 මුද්‍රණය කිරීම ආදී වශයෙන් ජාත්‍යන්තරව විශාල සේවාවක් සිදු කරනවා. පිරුවානා පොත්වහන්සේ ඇතුලුව වේරගොඩ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ රචිත බෞද්ධ ග්‍රන්ථ ද ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා.

වල්පොල රාහුල හාමුදුරුවන්ගෙන් ධර්ම ප්‍රචාරයට අවශ්‍ය අඩිතාලම ලැබුණා. උන්වහන්සේ සිදුකළ සුවිශේෂී සේවය පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතවේදීව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.

1994 වර්ෂයේ දී ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධව ආරම්භ කළ සෙක්සා පදනම ලංකාවේ අපහසුතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ක්‍රියාත්මක වෙනවා. 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රංශයට වැඩම කිරීම රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමක් වුණා.

ඒ වගේම දෙමළ ත්‍රස්තවාදීන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරමින්, බෞද්ධ විහාරස්ථාන විනාශ කරමින් පීඩාවට පත් කළ කාල පරිච්ඡේදයේ දී ජීවිත පරිත්‍යාගයෙන් විහාරස්ථාන රැකගත් හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ‘අපි වෙනුවෙන් අපි‘ සංකල්පය යටතේ රණවිරුවන්ට අතහිත දීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක්. “විරුදරු අත්වැල” හරහා රණවිරු සිසු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමට හැකිවුණා.

එමෙන්ම දෙමළ ත්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑව සිංහල ජනතාව ඝාතනය කළ අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් පාපැදි, වියළි ආහාර ලබාදෙමින් යුදවැදී සිටි රණවිරුවන්ටත්, ආබාධිත රණවිරුවන් නඟා සිටුවීමටත්, සංවිධාන හරහා මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර ලබාගෙන මාතෘභූමියට ශක්තියක් වුණා.

මිනුවන්ගොඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කළා. එය ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජීය සංවිධාන මඟින් 1994 වසරේ සිට ශිෂ්‍යත්ව වැඩසටහන් වෙනත් සමාජසේවා කටයුතුවල මූලස්ථානය වශයෙන් කටයුතු කරනවා.

දේශීය විදේශීය වශයෙන් ථෙරීය සම්ප්‍රදාය විනාශ කිරීමෙහිලා සිදුවෙමින් පවතින කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව විචාරාක්ෂියෙන් සමාජය දෙස බලන ව්‍යක්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේගේ අදහස් පළකිරීම ඉතා වැදගත්.

ආසියාතික බෞද්ධ රටවල් අතරින් ලෝකයට බුදුදහම ලබාදෙන මූලස්ථානය වුණේ අපේ මාතෘ භූමිය පමණයි. ත්‍රිපිටකය පොත්පත්වල ලියලා ආරක්ෂා කරගත්තා වගේම විදේශීය භාෂාවන්ගෙන් බුදුදහම ලෝකයට ලබා දෙන්නට ශක්තිය තිබෙන මහා විශාල භික්ෂුන්වහන්සේලා පිරිසක් බිහි කළා. වර්තමානයේ දීත් ලොව පුරාම බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්නේ අපේ මාතෘ භූමියෙන් පමණයි. වෙනත් රටවලින් එය සිදුවන්නේ නැහැ. බුදුදහමේ මුලස්ථානය ශ්‍රී ලංකාව නිසා අපේ රටට බුදුදහමින් ලැබුණු ගෞරවය කෙළෙසන්නට විදේශ මුදල් මත එන්.ජී.ඕ සංවිධාන හරහා බුදුදහම, බෞද්ධ සංස්කෘතිය, භික්ෂූත්වය අතුරුදහන් කිරීමට කුමන්ත්‍රණකාරී පිරිසක් කටයුතු කරනවා. අවුරුදු 30 ක යුද්ධයෙන් ලංකාව විනාශ කරන්නට බැරිවුණ නිසා බෞද්ධ සම්ප්‍රදායට අනුව නිත්‍යානුකූල පැවිද්ද ලබානොගත් සිවුරු පොරවා ගනිමින් භික්ෂූන් ලෙස පෙනී සිටින ඇතැම් දෙමළ ජාතික භික්ෂූන් විදේශීය රටවල සිට එම විනාශය සිදුකරනවා. එය ඉතාම භයානක ලෙස වර්තමානය තුළ ජයටම ක්‍රියාත්මක වීම කනගාටුදායක කරුණක්. අපිට හැකි ශක්තියෙන් එම කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. බුදුදහම වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් වෙලා තවදුරටත් කටයුතු කළ යුතුයි. ධර්ම ප්‍රචාරයට වගේම මාතෘ භූමියේ ආරක්ෂාවටත් ශක්තියක් වුණ බවට ප්‍රකාශ කළ යුතුයි.