Print this Article


මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරය

මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරය

මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වර්තමාන ශ්‍රී ලංකාවේ අගනුවර කේන්ද්‍රස්ථානය කරගත් මහා සංඝ සභාව වෙයි.

එම සංඝ සභාව ගණාචාර්ය බෙන්තර අත්ථදස්සි මාහිමිපාණන් වහන්සේ, කොළඹ නව කෝරළයේ ප්‍රධාන නායක ධුරය දරමින් මහත් කීර්ති ඇතිව පහත රට සංඝයාට නායක ව වැඩ සිටි කෝට්ටේ රාජ මහා විහාරාධිපති මලිගස්පේ ධර්මකීර්ති ශ්‍රී මංගලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අරුගොඩ ඉන්ද්‍රසරාරාමයේ වැඩ විසූ පානදුරේ සුමංගල මාහිමි, පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ වැඩ සිටි පැපිලියානේ සීලවංස මාහිමි, රත්මලානේ පරමධම්ම චේතිය විද්‍යාස්ථානාධිපති සාර්වභෞම පණ්ඩිත වලානේ සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා සමඟ එක්ව පහත රට උපසම්පදාව ඇති කිරීම සඳහා රාජ්‍ය වර්ෂ 1855 ආරම්භ කරන ලද සංඝ සභාවකි. එම වර්ෂයේ පොසොන් මාසයේ දී කෝට්ටේ රාජ මහා විහාරයට රැස් වූ පෙර කී මහා ස්ථවිරයන් වහන්සේලා පස් දෙනා ප්‍රමුඛ මහ තෙරුන් වහන්සේලා විසින් ‘කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම’ නමින් සංඝ සභාවක් පිහිටුවා ගන්නා ලදී.

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ, උන්වහන්සේ පැන් සැනසුණු බව සලකන කැලණි ගඟෙහි උපසම්පදා විනය කර්ම සිදු කිරීමට එහි දී තීරණය විය. ඒ සඳහා සැදැහැවත් මුල්හිරියාවේ ලේකම් මහත්මා විසින් කැලණි ගඟ සමීපයෙහි භූමිභාගයක් ද, මලිගස්පේ නාහිමියන්ට පුජා කරන ලදී. රොබර්ට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ අනුමතය ද නිසි පරිදි ලැබුණු අතර, එම භූමියෙහි සංඝාවාස ආදිය ඉදිකොට රාජ්‍ය වර්ෂ 1856 ජුනි 22 දින කල්‍යාණි නදියෙහි ඉදිකළ උදකුක්ඛේප සීමාවේ දී එම ඓතිහාසික උපසම්පදා විනය කර්මය සිදුකරන ලදී. මේ ස්ථානය වූ කලි රාජ්‍ය වර්ෂ 1476 දී සවන භුවනෙකබාහු රජු වීදාගම මාහිමිපාණන් ඇතුළු සිංහල සංඝයා ලවා බුරුම සාමණේරවරුන් උපසම්පදා කිරීමට තනන ලද උදකුක්ඛේප සීමාව තිබූ නදී ප්‍රදේශය බව බුරුමයේ පිහිටුවා ඇති කල්‍යාණි ශිලාලේඛනයෙන් හා සාසන වංශයෙන් පෙනී යයි.

එතැන් පටන් වර්ෂ තිස් හතක කාලය තුළ කල්‍යාණි නදියෙහි සම්මත කළ උදකුක්ඛේප සීමාවක තැන වූ තාවකාලික මණ්ඩපය ම උපසම්පදා විනය කර්මය සිදුකළ උපෝසථාගාරය විය. රාජ්‍ය වර්ෂ 1856 සිට 1893 දක්වා සාමණේරවරුන් 364 නමක් එහිදී උපසම්පත්තියේ පිහිටුවා ඇත.

ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මුල් උපසම්පදා විනය කර්මයෙන් වසර 37 කට පසුව කල්‍යාණි නදියෙහි උපසම්පදා විනය කර්මය සිදුකරන අවස්ථාවල දී මුහුණපාන විවිධ අපහසුතා සලකා බලා රාජ්‍ය වර්ෂ 1893 මැයි මස 30 වැනි දා ජයවර්ධනපුර කෝට්ටේ රාජ මහා විහාරයට රැස් වූ සංඝ සභාව කෝට්ටේ රාජමහා විහාරස්ථ පෞරාණික බද්ධසීමාවේ දී උපසම්පදා විනය කර්මය සිදුකිරීමට තීරණය කළ බව සංඝ සභාවේ සම්මත පොතෙහි සටහන් කර තිබේ. එහි ලා ප්‍රමුඛව කටයුතු සිදුකරන ලද්දේ බෙන්තර වනවාස විහාරාධිපති පොතුවිල ශ්‍රී ඉන්දජොති මහාස්ථවිර, ගණේගොඩැල්ලේ විහාරාධිපති මුල්ලේරියාවේ ආනන්ද මහා ස්ථවිර, පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති බද්දේගම සරණංකර මහා ස්ථවිර, කොට්ටාවේ විහාරාධිපති බෝගොඩ ධම්මකිත්ති මහා ස්ථවිර, නාවල විහාරාධිපති නාවල සිද්ධත්ථ මහා ස්ථවිර යන ගණදෙටු මහ තෙරවරුන් වහන්සේලා ය. එම තීරණයට අකමැති වූ පිරිස කල්‍යාණි නදියෙහි ම උපසම්පදාව කරනු කැමැත්තෙන් ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවෙන් වෙන් වී ගියහ. ඒ අනුව කෝට්ටේ රාජමහා විහාරය මධ්‍යස්ථානය කොට පවත්වාගෙන එන කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම සංඝ සභාවෙන් වෙන් වී මුල්ලේරියාවේ ශ්‍රීනිවාස මහා ස්ථවිරයන් වහන්සේ ඇතුළු පිරිස ගල්වානේ විහාරයේ දී මුල් වතාවට 1894 අප්‍රේල් 29 දින රැස්වී අභිනව සංඝ සභාවක් පිහිටුවා ගත්හ.

1894 වර්ෂයේ පටන් මතුවට උපසම්පදා විනය කර්ම සිදුකිරීමට තීරණය කළ කෝට්ටේ රාජ මහා විහාරස්ථ බද්ධසීමාව වූකලි සවන පරාක්‍රමබාහු රජුගේ කාලය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති ඓතිහාසික සීමාවකි. සය වන පරාක්‍රමබාහු රජතුමා, බුරුමයේ පගාන් නුවරින් ලක්දිව සැපත් සද්ධම්ම ජෝතිපාල නම් උගත් තෙර නමගේ උපදෙස් අනුව ජයවර්ධනපුරයේ සීමාවක් බැඳවීය. ඒ බව උන්වහන්සේ විසින් ම ලියන ලද කච්චායන සුත්තනිද්දේසයේ සමාප්ති ගාථාවල දැක්වේ. මහාවංසයේ 89 වන පරිච්ඡේදයේ 16 වන ගාථාවේ දැක්වෙන පරිදි පරාක්‍රමබාහු රජතුමා ජයවර්ධනපුරයේ රජ බවට පත්ව රත්නත්‍රය විෂයයෙහි උදාර පූජා කරන්නට පටන් ගත්තේ ය. ඒ අනුව තථාගතයන් වහන්සේගේ දළදා වහන්සේ වෙනුවෙන් මන්දිරයක් ඉදිකර පූජා පැවැත්වීය. අට්ඨකතා සහිත ත්‍රිපිටකය ලියවා ඒ සඳහා පහසුකම් සැපයී ය. තම මෑණියන් වූ සුනේත්‍රා මහා දේවිය වෙනුවෙන් පැපිලියානේ පිරිවෙණක් කරවීය. සංඝයා වෙනුවෙන් සංඝාරාම කරවීය. ඒ සංඝාරාම අතර රජ මැදුරට ආසන්නයෙන් ම පිහිටා තිබුණේ වර්තමාන කෝට්ටේ රාජමහා විහාරය යි.

පෙර කී සීමාවේ තිබූ උපෝසථාගාරය 1557 න් පසු දුර්දශාවකට මුහුණ පෑවේ ය. පෘතුගීසීන්ගේ උපක්‍රමවලින් ධර්මපාල කුමරු දොන් ජුවන් නමින් 1557 දී ක්‍රිස්තියානින් වෙතින් බෞතිස්ම ලබා රජකමට පත් වූ පසු දළදා මන්දිරය හා කෝට්ටේ රාජමහා විහාරය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ක්‍රිස්තියානින්ට පවරාදීම ඊට හේතුවයි.

11 පිටුවෙන් ...

පෘතුගීසීන්ට පසු ලංකාවේ පාලනය ඉංගී‍්‍රසීන්ට අයත්ව තිබූ සමයෙහි රාජ්‍ය වර්ෂ 1753 දී සියමෙන් මෙරටට පැමිණි උපාලි මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ අතිරේක දශවාර්ගික භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලත් වැව ඉන්දසර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසාන ශිෂ්‍යවරයා වූ බෝධිමලුවේ පරිසුද්ධ මහ තෙරුන් වහන්සේ ශිෂ්‍ය ගාලු දිසාවේ පරගොඩ විහාරයේ වැඩ සිටි පිලානේ බුද්ධරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ රාජ්‍ය වර්ෂ 1813 දී මහත් පරිශ්‍රමයෙන් කෝට්ටේ රාජමහා විහාරයට පැමිණ එහි කටුකොහොල් හරවා යථාවත් කළහ.

තත්කාලීන ඉංගී‍්‍රසි ආණ්ඩුවේ සහයෝගය ද ඇතිව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කළ පිලානේ බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේ පෙර පරාක්‍රමබාහු රජ සමයේ පටන් පැවැත එන සීමාවෙහි 1858 දී අභිනවයෙන් සීමා මන්දිරයක් තනා කොළඹ පළාතේ ප්‍රධාන නායක ස්ථවිරයන් වහන්සේ ලෙස උපෝසථ පවාරණාදි විනයකර්ම විධි වූ පරිදි පැවැත්වූහ.

ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව රාජ්‍ය වර්ෂ 1855 දී කෝට්ටේ රාජ මහා විහාරයේ දී අරම්භ වීමෙන් පසු අභිනව සංඝ සභාවේ උපෝසථ පවාරණා දී විනයකර්ම සිදු කිරීම සඳහා පෙර පටන් පැවත ආ උපෝසථාගාරය ම ‘සිරි මංගල උපෝසථාගාරය’ නමින් භාවිතයට ගැණින. ව්‍යවහාර වර්ෂ 1858 දී තත්කාලීන ගෘහ නිර්මාණ ශිල්පය අනුව එකල කෝට්ටේ රාජ මහා විහාරාධිපතිත්වය හා කොළඹ නව කෝරළයේ ප්‍රධාන නායක පදවිය ඉසිලූ අතිගරු මලිගස්පේ ධර්ම කීර්ති ශ්‍රී මංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් එම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරය ඉදි කෙරිණි.

මහා සංඝ සභාව රාජ්‍ය වර්ෂ 1893 මැයි මස 30 වෙනි දා කෝට්ටේ රාජ මහා විහාරයට රැස්ව කරන ලද සාකච්ඡාවේ තීරණය කළ මෙම සිරි මංගල උපෝසථාගාරයේ දී රාජ්‍ය වර්ෂ 1894 මැයි මස 21 දින උපසම්පදා විනය කර්මය සිදු කරන ලදී. මෙම උපෝසථාගාරය නැවත රාජ්‍ය වර්ෂ 1963 දී ප්‍රතිසංස්කරණයට භාජනය විය.

රාජ්‍ය වර්ෂ 1956 දී එළඹුණු දෙදහස් පන්සිය වන සම්බුද්ධ ජයන්තිය හා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ ශත සංවත්සරය නිමිති කොට ඇති වූ ප්‍රබෝධය ඇතිව ඉපැරැණි උපෝසථාගාරය ප්‍රතිසංස්කරණය කොට 1964 ජුලි මස 11 දින තත්කාලීන ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ විලියම් ගොපල්ලව මැතිතුමා විසින් රාජ්‍ය උත්සවශ්‍රීයෙන් විවෘත කෙරිණ.

වසර පනස් හයකින් පසු එම උපෝසථාගාරය 2021 වර්ෂයේ දී ප්‍රතිනිර්මාණය කෙරිණ.

වර්තමානයේ දී අපගේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ උතුම් මහා නායක ධුරය හොබවන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරීණ සාහිත්‍යසූරි, ආචාර්ය, ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක අතිගරු ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාරාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිරි මංගල උපෝසථාගාරය ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කෙරිණ. ඒ සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ක්‍රියා කළේ මහා සංඝ සභාවේ උතුම් අනුනායක ධුරයක් හා මහා ලේඛකාධිකාරී ධුරය හොබවන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති, අරියවංශාලංකාර ශ්‍රී ඥානේශ්වර ධර්මකීර්ති ශ්‍රී ලංකානන්ද අග්ග මහා පණ්ඩිත අතිගරු කොටපිටියේ රාහුල අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

සිරි මංගල උපෝසථාගාරය ප්‍රතිනිර්මාණය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දී සියලු කෘත්‍ය විධානයන්හි තත්පරවූයේ අපගේ මාතෘ භූමිය මුහුණ පා සිට තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කරලීමෙහි ලා තත්කාලීන ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය හෙබවූ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, රාජ්‍ය ආරක්ෂක ලේකම් ධුරධාරීව මහා ශක්තියක් වෙමින් අනල්ප කටයුතු සමුදායක් ඉටුකළ, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ය. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව පිළිබඳව එතුමන්ගේ ශ්‍රද්ධාධ්‍යාශය ම මෙහිලා එතුමන් ව මෙහෙය වීය.

ඒ අනුව අතිගෞරවනීය මහා නායක මාහිමිපාණන් වහන්සේ සහ ලේඛකාධිකාරී අනු නාහිමිපාණන් වහන්සේ ජනාධිපතිතුමන් සමඟ කරන ලද සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය වර්ෂ 2020 ඔක්තෝබර් මස 29 වැනි දින පටන් පැරැණි උපෝසථාගාරයේ ඉවත් කළ යුතු කොටස් ඉවත් කරමින් ප්‍රතිනිර්මාණ කටයුතු ආරම්භ විය.

ස්වකීය රාජකාරියේ සීමාව ඉක්මවා පැනනැඟුණු ශ්‍රද්ධා සිතිවිලිවලින් මෙහෙයවන ලද සිතින් මහත් උද්‍යෝගයෙන් කටයුතු කරන නාවික හමුදාවේ කාර්ය මණ්ඩලය පැරැණි ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණයෙහි කලාත්මක ලක්ෂණ සහිත ව තවත් සියවස් ගණනාවක් ශක්තිමත් ව පවතිනු පිණිස ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ගනිමින් එය නිමහම් කිරීමට අවශ්‍ය පූර්ණ මාර්ගෝපදේශය අතිගරු ලේඛකාධිකාරී අනු නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් ලබමින් නාවික හමුදා නිර්මාණශිල්පී කාර්ය මණ්ඩලය සඳකඩපහණ, මුරගල්, පියගැට, මළුපෙත්, ප්‍රාකාර, පමුඛය සහිත ආරුක්කු තොරන්, ද්වාර, කවාට ආදියෙන් සමුපේත මාලාකර්ම, ලතාකර්ම, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන චතුර්පර්ෂද් සිතුවමින් සැරසුණු වියනින් හා බිත්තීන්ගෙන් සමලංකෘත, ද්වාරපාලක රූප සහිත මකර තොරණින් යුත් ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාව මධ්‍යයේ සමාධි මුද්‍රාවෙන් වැඩ සිටින සර්වඥ ධාතු නිදහිත බුදුපිළිම වහන්සේ සහිත දර්ශනීය වූත්, ප්‍රෞඪවූත් උපෝසථාගාරය සමසකින් ප්‍රති නිර්මාණය කළහ.

2021 මැයි මස 14 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ස්වකීය අත්සන පිහිටුවා දෙස් විදෙස්හි පැතිරුණු ඥානකීර්ති ඇති අතිසම්භාවිත විද්වත් මහ තෙරවරුන්ගෙන් සුසැදි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභායත්ත ගරුතර මහා සංඝරත්නයේ උපසම්පදාදි විනය කර්ම මැනවින් පවත්වනු පිණිස ගරුලඝුභාණ්ඩ සහිතව චතුර්දිශාවාසී මහා සංඝරත්නය උදෙසා සන්නස්පත්‍රයකින් පූජා කොට විවෘත කරන ලදී.