Print this Article


අනුරපුර යුගයේ රසිකත්වය සහ ශිෂ්ටත්වය

අනුරපුර යුගයේ රසිකත්වය සහ ශිෂ්ටත්වය

මහාවංසයේ හයවන පරිච්ඡේදයෙහි 47 ගාථාවට අනුව බුදුන් පිරිනිවන් වැඩි දා විජය ඇතුළු පිරිසගේ පැමිණීමෙන් දිවයිනේ මනුෂ්‍ය ජනාවාසකරණය ඇරඹිණි.

මේ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක නොමැති වීමෙන් ඇතැමෙක් මෙම මහාවංස මතය ප්‍රතික්ෂේප කරති. එහෙත් පැහැදිලිව ම ජනාවාසකරණය ක්‍රි.පූ. හය වන සියවසට පෙර ලංකාවේ සිදුව තිබුණි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය භාරතීය ආභාසයෙන් පෝෂණය ලද බවට නිශ්චය ලෙස ම ගත හැකි සාධකය සිංහල භාෂාව වෙයි. .

මෙසේ වෙනස් ලෙස වැඩීමට හෙවත් ස්වාධීන ව වැඩීමට හේතු වූයේ මෙහි විසූ පාරම්පරිකයන්ගේ බස සමඟ මිශ්‍ර වූ නිසා ය. දිවයිනේ වර්ධනය වූ මෙම භාෂාව සිංහල වූයේ කෙසේද යන්න දහවන සියවසෙහි රචිත ධම්පියා අටුවා ගැට පදයෙහි “දීපභාසාය” යන්නට දෙන අර්ථ කථනයෙන් පෙනේ.

“හෙළුබසින් යනු කිදොට ලැබෙයි යත් දීපවාසීන් හෙළුබැවින් ලැබේ. හෙළන යනු කිසෙහි යත්? සීහබාහු රජු සීහකු මරා සීහළ නම් වී, සෙසුවො එවුහු පිරිවර බැවින් සීහළ නම් වී.”

මේ අනුව ඉන්දු ආර්ය ගෝත්‍රිකයන්ගේ සම්බන්ධය හා ඒ ඔස්සේ ලද බුද්ධිමය දායාදයක් වශයෙන් සිංහලය වැඩෙන්නට ඇත. ඊට වැදගත් වන ප්‍රධාන කරුණු වන්නේ මිහිඳු හිමියන් විසින් ගෙනෙන ලද ත්‍රිපිටකාගත බුද්ධ වචන සම්බන්ධ අර්ථකතාවන් දීප භාෂාවෙන් තබන්නට තරම් සිංහලය පොහොසත් වීම යි.

මෙසේ සමාරම්භ ව අප රටේ ගලා ගිය ඓතිහාසික කාල පරිච්ඡේදය අනුරාධපුර යුගය යි. භාෂාවේදීන් සහ සාහිත්‍යවේදීන් එය ක්‍රි.පු. තුන්වන සියවසෙහි සිට එකොළොස්වන සියවස දක්වා අවුරුදු 1400 ක කාල පරිච්ඡේදයක් ලෙස ගනු ලැබූවත් අනුරාධපුර යුගයේ ඉතිහාසය ඊට බොහෝ ඈතට විහිදෙන බව ඉතා පැහැදිලි ය.

අනුරාධපුර යුගය නිර්මාණාත්මක අංශයෙන් ඉතා ප්‍රශස්ත දියුණුවක් ලබා තිබූ යුගයකි. වැව් අමුණු, ප්‍රතිමා, දාගැබ්, ගෘහ නිර්මාණ ආදිය ඒ බව අපට පසක් කරවයි. එවන් පසුබිමක සාහිත්‍යය දියුණුව නොපැවති යැයි කිව නොහැකි ය. ඉතිරි වූ එක ම සාහිත්‍යය සීගිරි ගී සමුච්චය යි.

උපමා අලංකාර භාවිතයෙහි දක්ෂ වූ අය ද මෙම කවියන් අතර විසූහ. භාෂාව ඉතා නිර්මාණශීලීව භාවිත කරලීමේ හැකියාවක් ඔවුන් සතුව පැවතීමෙන් පෙනෙන්නේ හෙළ බස ද හොඳින් වැඩී පැවති බවයි. එමෙන් ම ඇතැමකුගේ ගී විවේචනය කරමින් ලියැවුණු පද්‍ය ද හමු වන හෙයින් විචාරය පිළිබඳ අවබෝධයක් ද මෙකල ජනයාට පැවති බව පෙන්වයි.

යා ගී විරිත ඇතුළු විවිධ විරිත් රාශියක් ඔවුන් භාවිත කළ බව පෙනෙන අතර, කවිය පිළිබඳ හැදෑරීමක් ඔවුන් සතු වූ බව එයින් පෙනේ. කිසිවිටෙකත් පහත් අශ්ලීල අදහස් ඉදිරිපත් නොවීමෙන් පෙනෙන්නේ ඔවුන් උසස් වින්දන ශක්තියකින් යුතු වූ වගයි.

කාව්‍යකරණය පි‍්‍රය කළ කාව්‍යකරණයෙහි නිරත වූ ජනතාවක් තුළ පැවති ශිෂ්ටත්වය සමාජ ප්‍රගමනයට කවර තරම් හේතු වූවා ද යන්න මෙවැනි දීර්ඝ යුගයක බිහි වූ විශිෂ්ට නිර්මාණ ඔස්සේ අපට දැකිය හැකි ය.

අභිලේඛන අධ්‍යයනයේ දී ද මෙම ගී පෙළ අපට පෙන්වා දෙන්නේ විශිෂ්ට රසික පිරිසකගේ නිර්මාණාත්මක සාහිත්‍යකරණය නොවේ ද? පස්වන සියවසේ දී සීගිරි රාජධානිය ගොඩනඟා ගත් කාශ්‍යප රජතුමා වසර දහ අටක් එහි රජ කරමින් ඉතා ඉසුරුමත් නගරයක් නිර්මාණය කළේ ය. මෙම නිමැවුම නරඹන්නට පැමිණි පසුකාලීන ජනයා තම අත්දැකීම් ඉතා රසවත් ව ලියා තැබීමෙන් පෙනෙන්නේ ඔවුන් උසස් වින්දන ශක්තියකින් යුතු වූ වගයි. කාව්‍යකරණයට පි‍්‍රය කළ කාව්‍යකරණයෙහි නිරත වූ ජනතාවක් තුළ පැවැති ශිෂ්ටත්වය සමාජ ප්‍රගමනයට කවර තරම් හේතු වූවා ද යන්න මෙවැනි දීර්ඝ යුගයක බිහි වූ විශිෂ්ට නිර්මාණ ඔස්සේ අපට දැකිය හැකි ය.

අභිලේඛන අධ්‍යයනයේ දී ද මෙම ගී පෙළ අපට පෙන්වා දෙන්නේ විශිෂ්ට රසික පිරිසකගේ නිර්මාණාත්මක සාහිත්‍යකරණය නොවේ ද? පස්වන සියවසේ දී සීගිරි රාජධානිය ගොඩනඟා ගත් කාශ්‍යප රජතුමා වසර දහඅටක් එහි රජ කරමින් ඉතා ඉසුරුමත් නගරයක් නිර්මාණය කළේ ය. මෙම නිමැවුම නරඹන්නට පැමිණි පසුකාලීන ජනයා තම අත්දැකීම් ඉතා රසවත් ව ලියා තැබීමෙන් පෙනෙන්නේ ඔවුන් තුළ පැවති සෞන්දර්ය ඥානය යි.

එච්.සී.පී. බෙල් හා සෙනරත් පරණවිතාන වියතුන් අපට මෙම දායාදය උරුම කර දුන්හ.

සීගිරි ගීය පෙන්වා දෙන වැදගත් ම කරුණු රාශියකි. පද්‍යකරණයට අවශ්‍ය උපදෙස් අලංකාර පිළිබඳ අවබෝධයක් එකල පොදු ජනයාටත් පැවති බවත්, තමා විඳ ගත් අත්දැකීමක් මුක්තකයකට හෙවත් කේවල පද්‍යයකට නංවා ඉදිරිපත් කිරීමට ඔවුනට හැකියාවක් පැවති බවත් එකකි. එමෙන් ම සංදේශ වැනි සකු සාහිත්‍යය භාවිත කළ ජනයා මෙකල විසූ බවට සංදේශ ආකෘතියෙන් ලියැවුණු පද්‍යවලින් පෙනෙයි. එමෙන් ම ඉතා රසවත් පද්‍යයෙන් රචිත සෙල් ලිපි පවා මෙකල හමු වෙයි. කොස්ගමකන්ද, කිරින්ද සහ තිස්සමහාරාමයෙන් එවැනි ලිපි රාශියක් ම හමුව තිබෙයි.

එමෙන්ම හත් වන සියවසේ දී රජ කළ පළමු වන අග්‍රබෝධි රජ දවස දොළොස් මහා කවීන් විසූ බවට සාධක හමු වෙයි. සක්දාමල, අසක්දාමල, දැමියබැබිරිය, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පුරවඩු, සූරියබාහු, කසුබු තොට, අදපා එම කවීහු වෙති. මොවුන් අතරින් අසක්දා මල කවියා ‘අසක්දා කව‘ නමින් ජාතක කථාවක් පද්‍යයට නංවා තිබූ බව එහි පාඨ පසුකාලීන සිදත් සඟරාවට එක් වීමෙන් පෙනේ. එවැනි කාව්‍ය ග්‍රන්ථ රාශියක් මෙම කාලයෙහි

ලියැවෙන්නට ඇතිමුත් ඒවා අවිද්‍යමාන වෙයි.

පරමත්ථජෝතිකා අට්ඨකතාවට අනුව මාර්ගයක් අසල කුඹුරක ගෙවිලියන් විසින් ගයන ලද අනිත්‍ය ධර්මය ඇතුළත් හෙළ ගීයක් අසා සඟ හැට නමක් රහත් ව තිබෙයි. මෙය සත්‍ය පුරාවෘත්තයක් නම් ඇතැම් වෘත්තීන්හි දී පවා ගායනා කෙරුණු ගී ඉතා උසස් මට්ටමක පවතින්නට ඇතැයි සිතිය හැකි ය.

පොදු මහජනයා තුළ පවා පද්‍යය පිළිබඳ ව පැවති අවබෝධය කවර තරම් ද යන්නට මෙය ඉතා හොඳ නිදසුනකි.

කුමාරදාස නම් රජෙකු රාත්‍රියෙහි සංචාරයේ දී එක්තරා ගෙයක බිත්තියක කවි දෙ පදයක් ලියා ගොස් ඇති අතර කාලිදාස නම් රජෙකු එය සම්පූර්ණ කොට ඊළඟ දෙපදය ද ලියූ බවට ඇති පුවත ද රජවරුන් පවා කාව්‍යකරණයෙහි නියැළී සිටි බවට සාක්ෂියකි.

කිත්සිරිමෙවන් රජ සමයේ හේමමාලා, දන්ත දෙදෙනා දළදා වැඩමවීමෙන් පසු දළදාවේ ඉතිහාසය වර්ණනා කරමින් “දළදා කව“ නමින් කාව්‍යයක් කළ බවට ඇතැම් මූලාශ්‍ර තොරතුරු පවතින අතර, පුරාණ මයුර සංදේශයත්, බමර සංදේශයත්, කුසදාකව නම් කාව්‍යයත් මෙකල පැවති බවට පසුකාලීන ව ශේෂ වූ ඇතැම් ග්‍රන්ථවලින් පෙනෙයි. දණ්ඩීන්ගේ කාව්‍යා දර්ශය, සියබස්ලකර ලෙස පරිවර්තනය වීමෙන් ම පෙනෙන්නේ කවිය පිළිබඳ ශාස්ත්‍රීය උනන්දුවක් මෙකල ජනයා තුළ පැවති බවයි.

මේ සියලු කරුණු කාරණා අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර සමයෙහි ජනයා තුළ පැවති රසිකත්වය යි. රසිකත්වය මිනිසා ශිෂ්ට කරයි. යන්න ප්‍රබල සත්‍යයකි. ඒ අනුව පද්‍යය කෙරෙහි නැඹුරු වූ එකල වැසියෝ ශිෂ්ටත්වයෙන් ඉතා උසස් තැනක සිටි පිරිසක් වූහ. මෙයින් වර්තමානයට ගත හැකි ආදර්ශය වන්නේ රසිකත්වය දියුණු කරලීමෙන් මිනිසා ශිෂ්ටත්වයට පත් කළ හැකි බවයි.