Print this Article


 සිත්පිත් නැති කඩුව ඔබ වහන්සේගේ ගුණ හඳුනා ගත්තා

සිත්පිත් නැති කඩුව ඔබ වහන්සේගේ ගුණ හඳුනා ගත්තා

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ උසස් කුලවල උපන් තරුණයන් තිස් දෙනකු බුදුරජාණන් වහන්සේ සමීපයට සැදෑ සමයක පැමිණියා, රාත්‍රී ධර්ම දේශනා ශ්‍රවණයෙන් පසු පැවිදිවීමට සිත් පහළ වුණා.

යහළුවන් සියලු දෙනාම පැවිදිවීමට කැමැති බව බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා ලවා පැවිද්ද ලබා දුන්නා.

දිනක් තිස්දෙනා වහන්සේ එක් තැනකට එකතු වී බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන විදර්ශනා ධුරය පිරීමට නිදහස් වන ගැබකට පිවිසෙමු’යි කතිකා කර ගත්තා. දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දැක තමන් වහන්සේලාගේ අදහස ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මහත් සේ සතුටට පත් වී ගමන අනුමත කළා. උන්වහන්සේලාට අවශ්‍ය කමටහන් ද ලබා දුන්නා. කවර වන ලැහැබකට පිවිසෙන්නේ ද? සිවුපසය කෙසේ ලබා ගන්නේද? යනාදී තොරතුරු ද විමසා සිටියා. එය සිදුවන ආකාරය උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට පහදා දුන්නා. එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අනාගතයේ සිදුවන අයහපතක් දිවැසින් දැක දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ ද බැහැ දැක වැඩම කරන ලෙසට දන්වා සිටියා. තිස්දෙනා වහන්සේ පසුදින උදෑසන සැරියුත් මහරහතන් වහන්සේ වැඩවසන කුටියට වැඩම කර සියලු පුවත් දන්වා සිටියා. එවිට සැරියුත් මහ රහතන් වහන්සේ “බුදුරජාණන් වහන්සේ මේ මහණ පිරිස මා වෙත එවන ලද්දේ කිසියම් කටයුත්තක් අපේක්ෂාවෙන් ය. මේ පිරිස සමඟ යාමට මාගේ ශිෂ්‍යයකු ලබා දීම කළ යුතු යැයි සිතා සත් හැවිරිදි සංකිච්ච තෙරුන් වහන්සේ ගමනට සූදානම් කළා. එහේ තරුණ භික්ෂු පිරිස එය දැඩි සේ ප්‍රතික්ෂේප කළා. සත්හැවිරිදි පුංචි සාමණේර නමක් කැඳවාගෙන ගොස් තමන් වහන්සේලාගේ භාවනා කටයුතුවලට බාධා පැමිණෙන බව දන්වා සිටියා. එවිට සැරියුත් තෙරුන් වහන්සේ මෙලෙස ප්‍රකාශ කළා.

“පින්වත් මහණෙනි, මේ සත් හැවිරිදි පුංචි සංකිච්ච හාමුදුරුවෝ පැවිදි කිරීමට හිසකෙස් කපා අවසන් වන විට ම සිව්පිළිසිඹියා පත් අර්හත් භාවයට පත් තෙරුන් වහන්සේ නමක්.

ඒ නිසා පුංචි තෙරුන් වහන්සේ වැඩමවාගෙන යන ලෙස පවසා සිටියා. තෙරුන් වහන්සේලා සැරියුත් මහරහතන් වහන්සේට වන්දනා කර එය අනුමත කළා.

සංකිච්ච පුංචි තෙරුන් වහන්සේ සහ උපසපන් තිස්දෙනා වහන්සේ එකසිය විසි යොදුන් දුර ගෙවා ගෙන ගොස් සුන්දර ගමකට පැමිණියා. ඒ ගම් වැසියන් තෙරුන් වහන්සේලාට සිවුපසයෙන් ඇප උපස්ථාන කළා .

තෙරුන් වහන්සේලා විහාරයේ මධ්‍යයට එකතු වී දානය වැළඳීමටත්, හදිස්සි අවස්ථාවක දී එකතුවීමටත් කතිකා කර ගත්තා. ඒ සඳහා ගෙඩිය ගැසීම සිදු කළ යුතු බවට ද නියම කර ගත්තා. දිනක් එ ගම වසන එක්තරා දුප්පත් පවුලක පුද්ගලයෙක් තෙරුන් වහන්සේලා දන් වළඳන තැනට පැමිණ බලා සිටියා. තෙරුන් වහන්සේලා ඔහු සිටිනු දැක ඔහු අමතා තමන් වහන්සේලා වළඳන පිණ්ඩපාතයෙන් කොටසක් ඔහුට ද ලබා දුන්නා. හෙතෙම ප්‍රණීත ආහාරවලට ගිජුවී තෙරුන් වහන්සේලා සමීපයේ ම වාසය කිරීමට අවසර ඉල්ලා සිටියා. එදා පටන් ඔහු ආරාමයේ කටයුතු කරමින් සුව සේ දිවි ගත කළා. දවසක් ඔහුට මෙසේ සිතිවිල්ලක් පහළ වුණා.

මම දුවගේ ගෙදර බොහෝ කලකින් ගියේ නෑ. තෙරුන් වහන්සේලාගෙන් අවසර ඉල්ලුවහොත් යාමට ඉඩ ලබා දෙන්නේ නෑ. ඒ නිසා නො කියාම පැන යමි’යි සිතා රහසේ ම විහාරයෙන් පැන ගියා. ඔහු දියණියගේ ගෙදරට යා යුතුව තිබුණේ මහ කැලෑවක් මැදින් වැටී තිබුණු මාර්ගයකිනි. ඒ කැලෑවට පැමිණි සොර රංචුවක් සිටියා. ඔවුන් පැමිණි විගස කැලෑවට අධිපති දෙවියන්ට මිනිස් බිල්ලක් දීමට බාරවී සිටියා. දින හතක් ඇතුළත එය සිදු කරන බවට ද පොරොන්දු වී සිටියා. එහෙත් දින හයක් ගත වෙද්දී කිසිම පුද්ගලයෙක් ඒ මාර්ගයෙන් ගමන් කළේ නෑ. සත් වැනි දින මේ පැන යන පුරුෂයා හමුවුණා. ඔහු අල්ලාගෙන ගිනි ගොඩක් ගසා ඒ ගින්නට ඔහුගේ ලේ දමා යාගය පිදීමට සූදානම් වුණා. මහලු මිනිසා දැඩි සේ බියට පත් වුණා. ජීවිතයට ආශා කළ ඔහු තමන් දෙවියන්ගේ පූජාවකට සුදුසු පුද්ගලයකු නොවන බව පවසා සිටියා. දෙවියන්ගේ පූජාවට සුදුසු පුද්ගලයන් බොහෝ දෙනෙක් අසල ආරාමයක සිටින බවත් තමන්ට කැමැති අයකු අල්ලාගෙන විත් පූජාව කළ හැකි බවත් ප්‍රකාශ කළා. සොර නායකයා ඔහුගේ කතාව අසා ඔහුත් සමඟ ආරාමයට ගොස් ගෙඩිය ගසා භික්ෂූන් වහන්සේ පැමිණී විට ප්‍රධාන භික්ෂුවට ම තමන් පැමිණි කාරණය දන්වා සිටියා. එවේලෙහි ප්‍රධාන භික්ෂුව එයට ඉදිරිපත් වුණා. පසුව සෙසු භික්ෂූන් ද තමන් එයට උචිත බව පවසමින් ඉදිරිපත් වුණා. අවසානයේ දී සංකිච්ච තෙරුන් වහන්සේ ඒ සියලු දෙනා වහන්සේ ම වළකා ඉදිරිපත් වී මෙසේ ප්‍රකාශ කළා. පින්වත් සොයුරු හිමිවරුනි. මම අරහත් භාවය ලබා සිටින අයෙක් වෙමි.

ඔබ වහන්සේලා තවමත් අර්හත්භාවය සොයමින් ගමනේ යෙදී සිටිති. එබැවින් ඔබගේ ගමන වහා සාර්ථක කර ගන්න. මම මෙම ගැටලුව විසඳා දෙන්නෙමියි පවසා සොරුන් සමඟ පිටත් වී වනයට වැඩම කළා. සොර නායකයා විශාල ගිනි ගොඩන් ගසා ඒ ඉදිරිපිට සංකිච්ච තෙරුන් වහන්සේ හිඳුවා අත් පා බැඳ ඇස් දෙක ද බැඳ දමා තියුණු වූ මුවහත් වූ කඩුව ගෙන සාමණේරයන් වහන්සේගේ ගෙලට පහරක් එල්ල කළා. පළමු කඩුපහර බෙල්ලෙහි වැදී කඩුව නැමී ගියා. දෙවැනි වරටත් වැරෙන් පහරක් එල්ල කළා. එවර කඩුව තල්පතක් සේ කඩුමිට දක්වා හැකිළී ගියා. තෙවැනි වරත් කඩුවක් ගෙන පහර එල්ල කළා. එයත් එලෙස ම හැකිළී ගියා. සොර නායකයාත් සෙසු පිරිසත් පුදුමයට පත් වුණා. සිත්පිත් නැති කඩුව තෙරුන් වහන්සේගේ ගුණ හඳුනා ගත්තා. සිත් පිත් ඇති අප සියලු දෙනා තෙරුන් වහන්සේගේ ගුණ හඳුනා ගත්තේ නෑ. අපට සමාවුව මැනවැයි පවසමින් සොර නායකයා තෙරුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. සෙසු සොරුන් ද එලෙසම කළා. සොර නායකයා තෙරුන් වහන්සේ සමීපයේ පැවිදි වීමට කැමැත්ත ප්‍රකාශ කළා. සෙසු සොරුන් ද එක් එක්කෙනා බැගින් පැවිදි වීමට කැමැත්ත පළ කළා. මොහොතක් ගත වන විට සොරුන් පන්සිය දෙනාම පැවිදි වීමට කැමැති වුණා. සංකිච්ච තෙරුන් වහන්සේ පන්සිය දෙනාගේ ම හිස රැවුල් බා පැවිදි කරවා උපසපන් භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ආරාමයට වැඩම කොට සියලු පුවත් දන්වා බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළා.

බුදුරජාණන් වහන්සේ , යම් පුද්ගලයෙක් දුසිල්වත්ව අවුරුදු සියයක් ජීවත් වෙමින් සැප සම්පත් ලබනවාට වඩා, සිල්වත් ව ජීවත් වෙමින් ගත කරන එකම දවස උතුම් බව දේශනා කළා. සංකිච්ච රහතන් වහන්සේ ඇගයීමට ලක් කළා.